Pages

Tuesday, May 28, 2013

'13 වන ව්‍යවස්‌ථා සංශෝධනය අහෝසි කිරීම' - පනතට සහාය නොදෙන හැමෝටම වගකියන්න සිදුවේවි - ගම්මන්පිල

ප්‍රශ්නය - 13 වන ව්‍යවස්‌ථා සංශෝධනය අහෝසි කිරීම සඳහා පුද්ගලික මන්ත්‍රී යෝජනාවක්‌ ගෙන ඒමට ප්‍රධාන හේතුව.

පිළිතුර - ජාතික හෙළ උරුමය ආරම්භයේ සිටම 13 වන සංශෝධනයට එරෙහිව කටයුතු කළා. අපි මෙම සංශෝධනයට දේශපාලන හා නෛතික වශයෙන් විරුද්ධයි. මේ පළාත් සභා ඉන්දියාව ලංකාව මත බලෙන් පැටවුවා. ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කළේ ලංකාව දණ ගස්‌සලයි. දෙවනුව මෙය නීති විරෝධීයි. ජනතාවගේ අනුමැතියකින් තොරවයි පළාත් සභා පිහිටුවූයේ. පළාත් සභාවල ඇති ඉඩම් බලතල, පොලිස්‌ බලතල, පළාත් සභා කිහිපයක්‌ ඒකාබද්ධවී එක්‌ පළාත් සභාවක්‌ පිහිටුවීමට ඇති බලතල හා පළාත් සභා විෂයයක්‌ මධ්‍යම ආණ්‌ඩුවට ගැනීමේදී සියලු පළාත් සභාවල අනුමැතිය ලබා ගැනීම යන කාරණා 4 ඉතා බියකරුයි.

විශේෂයෙන්ම උතුරු පළාත් සභාව නැවත පිහිටුවීමට පෙර ඉහත කරුණු හතර ඉවත් කිරීමට හෝ අවම වශයෙන් කටයුතු කළ යුතුයි.

ප්‍රශ්නය - නමුත් ජනාධිපති බලතල හා මෑතකදී සම්මත කරගත් විවිධ නීති නිසා පළාත් සභාවල බලතල ක්‍රියාත්මක කළ නොහැකි බව සමහරු චෝදනා කරනවා.

පිළිතුර - එම කාරණය තරයේ ප්‍රතික්‌ෂේප කරනවා. මම ව්‍යවස්‌ථාව ගැඹුරින් අධ්‍යයනය කළා. පොලිස්‌ බලතල කිසිම තැනක කප්පාදු කර නැහැ. මහ ඇමැතිවරු එය ක්‍රියාත්මක කළේ නැහැ. ඉඩම් බලතල පළාත් සභාවට ලබාදී නැහැ. ඉඩම් කෙටි කාලීනව පළාත් සභා විසින් බදු දුන්නොත් ආපසු ගන්නේ කොහොමද?

මේවා කොටියා පූසා ලෙස පෙන්වන, කොටියා ශක්‌තිමත් කරන අය කියන කතා.

ප්‍රශ්නය - අනුර ප්‍රියදර්ශන යාපා ඇමැතිවරයා පසුගියදා ප්‍රකාශ කර තිබුණා පුද්ගලික මන්ත්‍රී යෝජනා ඕනෑම අයෙකුට ගෙන ආ හැකියි ඒවා ගොඩ ගැසී ඇති බව.

පිළිතුර - අපි ගෙනෙන මෙම යෝජනාව ආණ්‌ඩුවේ මතය නොවෙයි. අපේ මතයයි. ආණ්‌ඩුව මේ වෙලාවේ ජාත්‍යන්තරව හා ජාතික වශයෙන් මේ පිළිබඳව දැඩි පීඩනයකට ලක්‌ වී සිටින නිසා ආණ්‌ඩුවට මෙවැනි යෝජනා ගෙන එන්න අසීරුයි. අපි ආණ්‌ඩුවේ හා විපක්‌ෂයේ සහාය ලබා ගැනීමටයි මෙම යෝජනාව ගෙන එන්නේ. මේකට තුනෙන් දෙකක බලය ගන්න බැරි වුණොත් ආණ්‌ඩුවේ මෙතෙක්‌ බලය පෙන්වූ තුනෙන් දෙකේ බලයත් හෑල්ලු වෙනවා. පළාත් සභාවල තිබෙන මේ විසකුරු ප්‍රතිපාදන ඉවත් කළ යුතුයි. ආණ්‌ඩුව මුහුණ දී ඇති දුෂ්කර තත්ත්වය තේරුම් අරගෙනයි අපි මේ යෝජනාව ගෙන එන්නේ.

අපි ජනාධිපතිතුමාගෙන් හා විපක්‌ෂ නායක තුමාගෙන් ඉල්ලා සිටියා මන්ත්‍රීවරුන්ට මේ පනත් කෙටුම්පත ගැන නිදහසේ ඡන්දය පාවිච්චි කරන්න ඉඩ දෙන්න කියලා.

කතානායකතුමා හැරුණු විට ආණ්‌ඩුවට ඡන්ද 161 ක්‌ තිබෙනවා. එයින් සුළු ජනකොටස්‌වල 18 දෙනයි, වාමාංශික පක්‌ෂවල 05 දෙනයි ඉවත් කළ විට පනතට ඡන්ද 138 ක්‌ තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සංධානයේ 06 දෙනා දැනටමත් අපේ ස්‌ථාවරයේ සිටින බව පේනවා. ඒවගේම එක්‌සත් ජාතික පක්‌ෂයේ 11 දෙනෙකු ඡන්දය නිදහස්‌ව පවත්වන්න ඉඩ දුන්නොත් යෝජනාවට පක්‌ෂව ඡන්දය දෙන බව පුද්ගලිකවම අපට දැනුම් දී තිබෙනවා. එවිට අවශ්‍ය තුනෙන් දෙකක බලය ලැබෙනවා.

මේ යෝජනාව පුද්ගලික මන්ත්‍රී යෝජනාවක්‌ ලෙස සලකා ඉවත දමා දැනට ඇති බලතල සහිතවම උතුරු පළාත් සභාව පිහිටුවුවහොත් එම ප්‍රදේශවල යළිත් ලේ විලක්‌ බවට පත්වන බව කිව යුතුයි. ඒ වගේම උතුරේ සිංහල හා මුස්‌ලිම් ජනකොටස්‌ ගැන කතා කර වැඩක්‌ නැහැ. පළාත් සභාව පිහිටුවීමෙන් පසුව සිදුවන සෑම දෙයකටම පනතට සහාය නොදෙන මන්ත්‍රීවරු වග කිව යුතුයි.

වර්ධරාජා පෙරුමාල් හිටපු මහ ඇමැතිවරයා උතුරේ 1989 මාර්තු මාසයේ ස්‌වේච්ඡා පුරවැසි බළකායක්‌ නමින් වෙනම පොලිස්‌ හමුදාවක්‌ පිහිටවූයේ මේ පොලිස්‌ බලතලවලින්. ඉන් පසුව ඔහු වෙනම ඊළමක්‌ පිහිටුවන්න මෙම බළකායත් යොදා ගත්තා.

දිවි නැගුම පනත සම්මත කර ගැනීමට යන විට අපි දැක්‌කා මධ්‍යම ආණ්‌ඩුවට සිදුවීමට ගිය ඉරණම. උතුරු පළාත් සභාව පිහිටුවූ පසුව මෙවැනි යෝජනාවකදී කුමක්‌වේදැයි හිතන්නවත් බැහැ. සියලු පළාත් සභාවල එකඟතාව නැතිනම් මධ්‍යම ආණ්‌ඩුවට තුනෙන් දෙකක බලයක්‌ තිබුණත් කිසිම පළාත් විෂයයක්‌ පවරා ගන්න බැහැ. මේ අයුරින්ම කටයුතු කළොත් පාර්ලිමේන්තුව අකර්මන්‍ය වී රටත් අකර්මන්‍ය වෙනවා. පළාත් සභා ආහෝසි කිරීම ප්‍රශස්‌තම ක්‍රියාවක්‌ ලෙස ජාතික හෙළ උරුමය දකිනවා.

පළාත් සභාවල ඇති විසකුරු බලතල ඉවත් කිරීමට එසේ නැතිනම් ඉඩම් හා පොලිස්‌ බලතල කප්පාදු කිරීම, පළාත් ඒකාබද්ධ වී එක පළාත් සභාවක්‌ පිහිටුවීමේ බලතල අහෝසි කිරීම හා පළාත් විෂයක්‌ පවරා ගැනීමේදී සියලු පළාත්වල කැමැත්ත ලබා ගැනීම යන නීතිය අහෝසි කර බහුතර පළාත් සභාවල අනුමැතිය සහිතව යන්න යොදා ගැනීම සිදු කළ යුතුයි.

ප්‍රශ්නය - මෙම පුද්ගලික මන්ත්‍රී යෝජනාව කවදාද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ.

පිළිතුර - දැනට සිංහල හා ඉංගී්‍රසි පරිවර්තන කර අවසන්. දෙමළ පරිවර්තනයද අවසන් වීමෙන් පසුව හෙට පාර්ලිමේන්තු මහ ලේකම්ට භාරදීමට බලාපොරොත්තු වෙනවා.

ප්‍රශ්නය - මේ සම්බන්ධයෙන් වෙනත් පක්‌ෂ සමග සාකච්ඡා කළාද?

පිළිතුර - පනත් කෙටුම්පත භාරදීමෙන් පසුව ද්‍රවිඩ ජාතික සංධානය ඇතුළු සියලුම දේශපාලන පක්‌ෂ හමුවී මේ සංශෝධනය අහෝසි කිරීමේ වැදගත්කම පිළිබඳව දැනුවත් කරනවා.

ප්‍රශ්නය - පළාත් ඉඩම් හා පොලිස්‌ බලතල අහෝසි කිරීමට ආණ්‌ඩුව සූදානම් වන බවට රාවයක්‌ පවතිනවා.

පිළිතුර - එලෙස යෝජනාවක්‌ ආවොත් අපේ පූර්ණ එකඟතාව ඊට තිබෙනවා.

සාකච්ඡා කළේ :  රනිල් ධර්මසේන
http://www.divaina.com/2013/05/28/feature01.html

0 comments: