Pages

Thursday, May 23, 2013

13 වන සංශෝධනයේ පොලිස්‌ බලතල ක්‍රියාත්මක කිරීම තුළින් රටට සිදු වන විනාශය ගැන ඇතැම් උද්ඝෝෂකයන්ට නොපෙනීම රටේ අභාග්‍යයක්‌ - අර්ල් ගුණසේකර

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 13 වන සංශෝධනයේ ඇති ඉඩම් හා පොලිස්‌ බලතල මේ රටේ සිටින අන්තවාදී බෙදුම්වාදීන් අතට පත් වුවහොත් රටට සිදුවන විනාශය අද සුළු දෙයටත් වර්ජන උද්ඝෝෂණ කරන පිරිසට නොපෙනීම රටේ අභාග්‍යයක්‌ බව වැවිලි කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය අර්ල් ගුණසේකර මහතා සඳහන් කරයි.

ගම්පොල රතනඝර විහාරස්‌ථානයේ පැවැති දෙමහල් ගොඩනැඟිල්ලේ දෙවන අදියරට මුල් ගල තැබීම හා ශ්‍රී ධර්මරශ්මි දහම් පාසලේ ත්‍යාග ප්‍රදානෝත්සවයට සහභාගීවෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මේ රටේ අද ක්‍රියාත්මක වන සෑම පළාත් සභාවකම මේ 13 සංශෝධනය අනුව ඉඩම් හා පොලිස්‌ බලතල ලැබී තිබුණත් ඒවා ක්‍රියාත්මක නොකිරීම නිසා ගැටලුවක්‌ මතු වූයේ නැහැ.

නමුත් බෙදුම්වාදී ත්‍රස්‌තවාදී මතයක්‌ තිබෙන උතුරු පළාතේ කණ්‌ඩායමකට පළාත් සභා බලතල ලැබුණොත් අනිවාර්යයෙන්ම මේවා ක්‍රියාත්මක කිරීම තුළින් මේ රටට යළිත් මහ විනාශයක්‌ ළඟා වෙනවා.

එය රණවිරුවන් ශරීරයේ අංග අහිමිකර ගනිමින් ජීවිත පරිත්‍යාග කරමින් අපේ ආර්ථිකය විනාශ කර ගනිමින් රට වසර 30 ක්‌ ආපස්‌සට යමින් ලබාගත් ජයග්‍රහණය කිසිදු ලේ සෙලවීමක්‌ මහන්සියක්‌ නොමැතිව බලය ඉල්ලන අයට බන්දේසියක තබා ලබාදීමක්‌ වෙනවා. මින් අවසානයේ වෙන්නේ ජාතික සමගියක්‌ නොව ජාතික විනාශයක්‌ පමණයි.

ඒ නිසා මෙම බලතල ඉවත්කළ යුතු දේවල්. එවැනි සංශෝධන කරන්න පාර්ලිමේන්තුවට ගේන වෙලාවක අපි දිවි හිමියෙන් මේවට සහයෝගය දීලා අත්දෙකම උස්‌සනවා.

අද ඉන්න විපක්‍ෂයේ පක්‍ෂවලට මෙවැනි අනතුරු පේන්නේ නැහැ. මෙරට බැරෑරුම් තත්ත්වයකට පත්වන දේවල් නෙමේ මේ අයට පේන්නේ. මේ සුළු සුළු දේවල් විතරයි.

මෙහිදී අනුශාසනාවක්‌ කළ ගම්පොල උඩපළාත ප්‍රධාන සංඝනායක උඩපළාත ශාසනාරක්‍ෂක බල මණ්‌ඩලයේ ලේඛකාධිකාරී බෝවල ධම්ම නාහිමි.

ඉස්‌සර වෙසක්‌ උත්සවය කියන්නේ ගම්පොල නගරයේ සෑම හන්දියකම බීලා ඔළුබක්‌කෝ නටන නගරයක්‌. නමුත් අපේ මැදිහත්වීම නිසා අද ඒ තත්ත්වය නෑ. අද ඕනෑම වෙලාවක ඕනෑම රෑක කාන්තාවකට තනිවම පාරේ බැහැලා යන්න පුළුවන් තත්ත්වයක්‌ අපි උදාකරලා දීලා තියෙනවා.

මෙම අවස්‌ථාව සඳහා ගම්පොල සුමනජෝති විද්‍යායතන නියෝජ්‍ය පරිවේණාධිපති උඩගම ධම්මිස්‌සර නාහිමි, මධ්‍යම පළාත් සභා සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය පරිවාස හා ළමාරක්‍ෂණ සේවා අමාත්‍ය අධිනීතිඥ සුනිල් කේ. අමරතුංග, උඩපළාත ප්‍රා. ලේ. නිමල් බාලසූරිය, නාගරික මන්ත්‍රීවරුන් වන සමන්ත අනුර කුමාර, තරංග විට්‌ටච්චි, දර්ශන නයනතරංග යන මහත්වරු ඇතුළු විශාල පිරිසක්‌ සහභාගී වී සිටියහ.

13 වන සංශෝධනයෙන් රටට සිදු වන විනාශය ගැන ඇතැම් උද්ඝෝෂකයන්ට නොපෙනීම රටේ අභාග්‍යයක්‌ - වැවිලි කර්මාන්ත නියෝජ්‍ය ඇමැති අර්ල් ගුණසේකර සුරංග දිල්හාන් ගම්පොල
http://www.divaina.com/2013/05/23/provin03.html

0 comments: