Pages

Thursday, May 23, 2013

13 අහෝසි කරන පනතක්‌ පාර්ලිමේන්තුවට ගෙන එනවා - චම්පික

පළාත් සභා ක්‍රමය ඇතුළත් 13 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය අහෝසි කරන පනතක්‌ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක්‌ ලෙස මේ සතියේදී අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවට ගෙන ඒමට කටයුතු කරන බව ඇමැති පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

දහතුන්වැනි සංශෝධනය සහ පළාත් සභා පනත ගෙන ඒම සම්ප්‍රදායට හා පාර්ලිමේන්තු ක්‍රමයට විරුද්ධ බව ද ඒ මහතා සඳහන් කරයි.

1970 දී සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනිය එදා තුනෙන් දෙකක බලය ඇතිව එජාපයේ සහාය ද ලබාගෙන ජනරජ ව්‍යවස්‌ථාව සම්මත කර දැවැන්ත ව්‍යවස්‌ථා විප්ලවයක්‌ කළ බවත් 1978 දී ඡේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාත් තුනෙන් දෙකක බලය ලබාගෙන ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ සිදුකළ බවත් රණවක ඇමැතිවරයා පසුගියදා කොළඹදී පැවති පළාත් සභා ක්‍රමය සම්බන්ධයෙන් වූ සමුළුවකදී පැවසීය.

නමුත් 2010 දී බලයට පැමිණි ජනාධිපතිතුමාට එජාපයෙන් පැමිණි පිරිසක්‌ සමඟ තුනෙන් දෙකක බලයක්‌ ලැබුණත් රටට අවශ්‍ය ව්‍යවස්‌ථා වෙනස සිදුකිරීමට නොහැකි වූ බවත් ඒ ඓතිහාසික වරද දැන්වත් නිවැරැදි කළ යුතු බවත් හෙතෙම කීය.

ජාතික හෙළ උරුමය ලෙස ඉදිරියේදී එල්ල වන ඕනෑම අභියෝගයකට මුහුණ දී 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයත් පළාත් සභා ක්‍රමයත් අහෝසි කිරීම සඳහා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක්‌ ලෙස මෙම පනත අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවට ගෙන එන බවත් පක්‍ෂ පාට භේදයකින් තොරව රට වෙනුවෙන් සිතා සියලු දේශපාලන පක්‍ෂවල සහාය ලබාදෙන ලෙසත් එහිදී ඉල්ලා සිටියේය.

රනිල් ධර්මසේන
http://www.divaina.com/2013/05/22/news02.html

0 comments: