Pages

Friday, May 24, 2013

පන්සල් වල ඉඩම් කතෝලික, හින්දු, මුස්‌ලිම් ආගමික සිද්ධස්‌ථාන ඉදිකර ගැනීමට දුන්නා. අනෙකුත් ආගම්වලට හිරිහැර කරන්න බෞද්ධයන් අන්තගාමීන් නොවේ - ජනපති

සියම් මහා නිකායේ උපසම්පදා සමරු උත්සවය

අන්‍යාගමිකයන්ට හිරිහැර කරන තරම් අප රටේ බෞද්ධයන් අන්තගාමීන් නොවේ - ජනාධිපති මහින්ද රාජපක්‍ෂ
අපේ සහජීවනය බිඳ දමන්න එන්. ජී. ඕ. සංවිධාන බොරු මත පතුරුවා හරින නමුත් ශ්‍රී ලංකාවේ ශාසනය පිරිහීම වළක්‌වා ගන්න ජනාධිපතිවරයාට හැකියාව තිබෙනවා - මල්වතු මහ නාහිමියෝ කියති

අපේ රටේ පවතින ආගමික සහජීවනය බිඳ දැමීමේ අරමුණ ඇතිව ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන, බෞද්ධයන් අනෙකුත් ආගම්වලට හිරිහැර කරන බව කියන නමුත් අපේ රටේ බෞද්ධයන් එවැන්නක්‌ කිරීමට තරම් අන්තවාදීන් ලෙස කිසිදාක ක්‍රියාකර නැතැයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ශ්‍රී ලංකාවේ සියම් උපසම්පදාවට වසර 260 ක්‌ පිරීම නිමිතිකොට පැවැති සමරු උත්සවයේදී ප්‍රකාශ කළේය.

අන්‍යාගමික සිද්ධස්‌ථාන ඉදිකර ගැනීමට විහාරස්‌ථාන සතු ඉඩම් ලබාදී තිබීමෙන්ම බෞද්ධයන් අනෙක්‌ ආගම් සමග කොතරම් සහජීවනයෙන් කටයුතු කර තිබේද යන්න පැහැදිලි වේ යෑයිද ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.

මල්වතු පාර්ශ්වයේ අතිපූජ්‍ය මහනායක තිබ්බටුවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල ස්‌වාමින්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිට මහ මළුවේදී සමරු උත්සවය පැවැත්විණි. සමරු උත්සවය පෙරේදා (22 දා) පස්‌වරුවේ පැවැත්විණි.

විහාරස්‌ථාන සතු ඉඩම්වල කතෝලික, හින්දු, මුස්‌ලිම් ආගමික සිද්ධස්‌ථාන ඉදිකර ගැනීමට පහසුකම් සැපයූයේ ඒ සඳහා මුදල් ලබාගෙන නොවන බවද ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා තවදුරටත් පැවසීය.

අපේ රටේ ආගමික ගැටුම් නැහැ. වෙනත් රටවල මෙන් ආගමික ගැටුම් ඇතිවීමට බෞද්ධයන් ඉඩ සලසන්නේ නැතැයි පැවසූ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මේ රටේ බෞද්ධයන් තව තවත් ශක්‌තිමත් විය යුතු බවත් බෞද්ධයන් බිඳ වැටුණහොත් ආගමික සහජීවනයත් බිඳ වැටෙන බවත් පැවසීය.

බුද්ධ ශාසනයේ පැවැත්ම ශක්‌තිමත් කිරීම සඳහා විහාර දේවාලගම් පනතට යම් යම් සංශෝධන ඇතිකරන ලෙස මහා සංඝරත්නය කළ ඉල්ලීම අනුව කලට ගැළපෙන පරිදි පනත සංශෝධනය කර අනුමැතිය ලබාදීමට රජය කටයුතු කර තිබෙන බවද විහාර දේවාලගම් පනතට ලබාදුන් පිළිගැනීම මෙන්ම ඒ ඒ නිකායන් සඳහා අවශ්‍ය කතිකාව වෙනුවෙන්ද අවශ්‍ය නීතිමය පිළිගැනීම ලබාදීමට රජය සූදානම් බවද මල්වතු අස්‌ගිරි මහා විහාර නියෝජනය කරන මහා සංඝරත්නය සහ බෞද්ධ සංවිධාන නියෝජිත පිරිස්‌ ඇතුළු විශාල පිරිසක්‌ සහභාගි වුණු සමරු රැස්‌වීම අමතමින් ජනාධිපතිවරයා පැවසීය.

තායිලන්තයෙන් ශ්‍රී ලංකාවට උපසම්පදාව ලැබී 260 වසරක්‌ පිරීම සමරන්න මෙම අවස්‌ථාවට සහභාගි වීමට ලැබීම ලොකු සතුටක්‌. මෙම අවස්‌ථාව විශාල ඓතිහාසික වටිනාකමක්‌ ඇති අවස්‌ථාවක්‌. මෙම අවස්‌ථාව දෙවැනි වන්නේ නම් ඒ මිහිඳු මහ රහතන් වහන්සේ අපේ රටට බුදු දහම රැගෙන ආ ඓතිහාසික දිනයට පමණකි. සම්බුද්ධ ශාසනය මේ රටේ ස්‌ථාපිත වීමට නම් මේ රටේ කෙනෙකුම සසුනට ඇතුළත් විය යුතු බව එදා මිහිඳු මහ රහතන් වහන්සේ අවධාරණය කළා.

විවිධ බලපෑම් නිසා අපේ රටේ උපසම්පදාව නැතිවී ගියා. පසුව කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා සහ වැලිවිට සරණංකර ස්‌වාමීන් වහන්සේගේ මැදිහත්වීමෙන් තායිලන්තයෙන් නැවතත් අපේ රටට උපසම්පදාව ලබා ගැනීමට හැකිවුණා. 1751 වර්ෂයේදී එලෙස උපසම්පදාව ලබාගත් කොබ්බෑකඩුව නමින් ස්‌වාමීන් වහන්සේ නමක්‌ ද සිටියා. තිබ්බටුවාවේ ස්‌වාමීන් වහන්සේ නමක්‌ ද එම අවස්‌ථාවේ උපසම්පදාව ලබා මහා නායක පදවියට පත්වුණා. අවුරුදු 260 කට පසුව එම ඓතිහාසික අවස්‌ථාව මල්වතු පාර්ශ්වයේ මහා නායක පදවිය දරමින් තිබ්බටුවාවේ පරපුරේ ස්‌වාමීන්ද්‍රයන්වහන්සේ නමක්‌ මූලාසනය දරමින් සිටීම වැදගත් අවස්‌ථාවක්‌. දැන් කොබ්බෑකඩු පරපුරෙන් මහණ වන්නේ නැහැ.

උන්වහන්සේලා නිසයි ශාසනය ස්‌ථාපිත වී ඉදිරියට ගියේ. අපේ යමක්‌ ඉදිරියට පවත්වාගෙන යැමට නම් අපේකම හඳුනා ගත් කෙනෙකුට ඒ සුදුසු තැන ලබා දිය යුතුයි. ගසට පොත්තත් පොත්තට ගසත් මෙන් ශාසනයත් සඟ පරපුරත් ආරක්‍ෂා වුණේ ගිහි පැවිදි සම්බන්ධතාවය නිසයි. කහ සිවුර නිසා 260 වසරක්‌ මේ ගිහි පැවිදි සම්බන්ධතාවය නිසයි. කාසාය වස්‌ත්‍රය නිසයි. මහා සඟරුවන අපට පමණක්‌ නොව මුළු ලොවටම අයිතියි කියා මා විශ්වාස කරනවා. මහ සංඝ රත්නය අපට පමණක්‌ නොව මුළු ලෝකයටම සේවය කරන පිරිසක්‌. එම සේවය ඉටුකිරීම පිණිස අපේ භාෂාව පමණක්‌ නොව අන් භාෂාවන් ද උගෙන ගතහොත් මුළු ලෝකයේම සසුන බබළවන්ට පුළුවන්කම තිබෙනවා.

තායිලන්තයේ උපසම්පදාව නැතිවී ගිය අවස්‌ථාවක අපේ රටෙන් කෝට්‌ටේ යුගයේදී උපසම්පදාව ගෙන ගියා මෙන්ම අපේ රටේ උපසම්පදාව නැතිවී ගිය අවස්‌ථාවේ තායිලන්තයෙන් අපට උපසම්පදාව ලබා ගැනීමට හැකි වුණා. ඒ සම්බන්ධතාව අද දක්‌වාම පවත්වාගෙන එනවා. ලෝකයේ රටවල් සමග බොහෝ විට සබඳතා පවත්වාගෙන යන්නේ ආර්ථික දියුණුව සඳහායි. නමුත් බෞද්ධ රටවල් සමග සබඳතා පවත්වන්නේ පරාර්ථය සඳහායි. පරාර්ථය සඳහා පවත්වාගෙන යන සබඳතා ආගමික සබඳතා බැවින් ඒ සබඳතා වඩා ප්‍රබලයි. බෞද්ධ රටවල් සමග එක්‌සත්ව පවත්වාගෙන යන සබඳතා එම රටවල් මුහුණපාන අභියෝගවලට ශක්‌තියක්‌ ලබා දෙනවා. ජිනීවාවලදී තායිලන්තය අප සමග සිටියේ ඒ හැඟීම නිසයි. ඇතැම් පාර්ශ්වයන් අපේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ බුදු දහමට ප්‍රමුඛස්‌ථානය නොදිය යුතු බවත් කියනවා.

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන් ලබාදී තිබෙන තත්ත්වය අනුව බුදු දහමේ ආරක්‍ෂාව සහ පෝෂණය සිදුවිය යුතුය. ඒ නිසයි විහාර දේවාලගම් පනත කාලයට ගැලපෙන පරිදි සකස්‌වීමට කෙරෙන ඉල්ලීමට සහාය ලබා දෙන්නේ. ඒ ඒ නිකායයන්ට අදාළ වන පරිදි සකස්‌ වන කථිකාවත්වලට සහාය දැක්‌වීමට රජය සූදානම්. එලෙස පූජා භූමි සංරක්‌ෂණය සඳහා රජය විධි විධාන මේ වන විට සකස්‌ කර තිබේ.

මේ අතර මේ රටේ අනෙක්‌ ආගම්වලට අප ගරු කරනවා. අප කවදාවත් අන්තගාමී වී නැහැ. අනෙක්‌ ආගම් සමග සහජීවනය පවත්වාගෙන යනවා. අපේ රටේ වෙනත් රටවල වගේ ආගමික ගැටුම් නැහැ.

සංඝයා වහන්සේ 37,000 ක්‌ මේ රටේ වැඩසිටිනවා. පන්සල් 11,000 ක්‌ තිබෙනවා. සමහර පන්සල් වැසී ගොස්‌ තිබෙනවා. භික්‌ෂූන් වහන්සේ නැතිකමින් එසේ වී තිබෙනවා. ඊට හේතු තිබෙනවා. මහණ කිරීමට තරම් පවුල්වල දරුවන් දැන් නැහැ. පවුල්වල අද සිටින්නේ දරුවන් එක්‌කෙනයි දෙන්නයි. වැඩි පුර දරුවන් සිටින පවුල්වලින් එදා මහණ කළා යෑයිද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවැසීය.

අගමැති දි. මු. ජයරත්න මහතා අදහස්‌ දක්‌වමින්, මෙම මොහොත ශ්‍රී ලංකාවට කරුණු දෙකක්‌ නිසා ඉතා වැදගත් අවස්‌ථාවක්‌ බව කීවේය. සියම් උප සම්පදාවට වසර 260 ක්‌ පිරීමත් වසර 30 ක්‌ තිස්‌සේ පැවති ත්‍රස්‌තවාදය ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා සහ රණවිරුවන් එක්‌වී මුලිනුපුටා දමා වසර හතරක්‌ පිරීම එම වැදගත් කරුණු දෙක යෑයිද අග්‍රාමාත්‍යවරයා පැවැසීය.

උත්සව අවස්‌ථාවේ මුලසුන දරමින් සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ අති පූජ්‍ය මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ අනුශාසනයක්‌ කරමින් වැලිවිට අසරණ සරණ සරණංකර හිමිපාණන් වහන්සේ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ සහායද ලබා ගනිමින් ශ්‍රී ලංකාවේ නැවත උපසම්පදාව ස්‌ථාපිත කිරීමෙන් ශ්‍රී ලංකාවේ සම්බුද්ධ ශාසනයට නව ජීවයක්‌ ලබාදුන් බව පැවසූහ.

තවදුරටත් අදහස්‌ දැක්‌වූ අතිපූජ්‍ය මහ නායක ස්‌වාමින්ද්‍රයන් වහන්සේ, වර්තමානයේ ශ්‍රී ලංකාවේ ශාසනය තරමක්‌ දුරට පිරිහී යන බවක්‌ දක්‌නට තිබෙන බව පැවසූහ. එම ශාසනික පිරිහීම වළක්‌වා ගැනීම ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාට පුළුවන්කම තිබෙන බවද මහානායක ස්‌වාමීන්ද්‍රයන් aවහන්සේ පැවසූහ.

සංඝයා වහන්සේ උපැවිදිවීම ශීඝ්‍රයෙන් ඉහළ යමින් තිබෙන බව පැවසූ මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ තමන් වහන්සේ මහානායක පදවියට පත්වීමෙන් පසුව ලද අත්දැකීම් අනුව මල්වතු පාර්ශ්වයේ භික්‌ෂූන් වහන්සේ දහසකට වැඩි සංඛ්‍යාවක්‌ සිවුරු හැර ගිය බවද පැවැසූහ.

සිවුරු හැර යාමට හේතුව සොයා බලා එය වළක්‌වා ගැනීමට අවශ්‍ය පියර ගත යුතු බවද අවධානය කළහ.

අස්‌ගිරි පාර්ශ්වය වෙනුවෙන් අස්‌ගිරි මහා විහාරකාරක මහා සංඝ සභාවේ මහා ලේඛකාධිකාරි පණ්‌ඩිත ආනමඩුවේ ශ්‍රී අත්ථදස්‌සි නායක ස්‌වාමින්ද්‍රයන් වහන්සේ සහ ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති පොල්දෙ- මහතාද අදහස්‌ දැක්‌වූහ.

දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දැල, මධ්‍යම පළාත් ආණ්‌ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, මහනුවර පුරපති මහින්ද රත්වත්තේ යන මහත්වරුද මහනුවර මහා දිසාපති ගාමිණී සෙනෙවිරත්න යන මහත්වරු සහ දේශපාලනයෙහි නිරත නියෝජිත පිරිසක්‌ මෙන්ම රාජ්‍ය නිලධාරීහුද මෙම අවස්‌ථාවට සහභාගි වූහ.

සම්බුද්ධ ශාසනය උදෙසා සිදු කළ අද්විතීය සේවය වෙනුවෙන් මල්වතු පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක ස්‌වාමින්ද්‍රයන් වහන්සේ ඇතුළු සංඝ පීතෲන් වහන්සේ වෙත ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා සමරු තිළිණ පිළිගැන්වීය.

සිරිල් විමලසුරේන්ද්‍ර
http://www.divaina.com/2013/05/24/news14.html

ප.ලි.

0 comments: