Pages

Thursday, May 30, 2013

බුද්ධ පුත්‍රයාගේ ජීවිත හරණය, මිලිටරි මැදිහත්වීම සහ බොදුනුවන්ගේ අඳුරු අනාගතය

වහා නියෝගයක් ලබාගෙන කොළඹින් පිටුවහල් කළ බෝවත්තේ හිමියන්ගේ දේහය එවැනිම නියෝගයක් ලබාගෙන උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය අවසන් කළේ නියමිත දිනයටද කලිනි. 
මෙකී සිදුවීම් දෙස නිරීක්ෂණාත්මක ඇසකින් බැලූ විට ලියුම්කරුට පෙනී ගිය කරුණක් නම් ආරක්ෂක අංශ මගින් දැඩිව ග්‍රහණය ගනු ලැබූ ලංකාවේ පළමු ආදාහන පූජෝත්සවය එය බවය.ලියුම්කරු අසා දැක තිබෙන ආකාරයට අධිකරණ තීන්දු ලබා ගන්නේ දරුණු ගණයේ අපරාධකාරයකු මියගිය පසු ඔහුගේ අවසන් කටයුතු කිරීමටය. එහෙයින් බෝවත්තේ හිමියන් දරුණු අපරාධකරුවන්ගේ ලැයිස්තුවක නම තිබුණු චරිතයක්ද යන විචිකිච්ඡාවද ඔහුට ඇති වූයේ වරක් දෙවරක් නොවේ. ප්‍රභාකරන් නමැති අංක එකේ අපරාධකාරයාගේ මළසිරුර රටට දැක ගැනීමට හැකි වුවද ඔහුගේ දේහයට කළ දෙයක් අප නොදන්නේ අනවශ්‍ය ප්‍රශ්න ඇති වීම වළක්වා ගැනීමට ආරක්ෂක අංශ මගින් ඊට කළ යුත්ත කළ බැවිනි.
බෝවත්තේ හිමියන්ගේ අපවත් වීම මුල් කරගෙන රටේ කලබලකාරී ගැටුම්කාරී ස්වභාවයක් ඇති වීමට ඉඩ තිබුණු හෙයින් උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය ඉක්මන් කිරීමට ආරක්ෂක අංශ ප්‍රයත්න දැරුවා විය හැකිය. රටේ යම් ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවීම වැළැක්වීමට ආරක්ෂක අංශවලට යුතුකමක් තිබෙන බවට සැකයක් නොමැත.
එහෙත් එවැනි ආකාරයේ ගැටුම් ඇතිවීමට ඉඩ තිබුණේ ඒ හිමියන්ගේ ගිනි තබාගැනීමේ සිද්ධිය සැලවූ සැණිනි. එවැනි තැනකට බෞද්ධයන් යොමු  නොවූයේ ඉන්දරතන හිමියන්ගේ ජීවිත හරණයෙන් බෞද්ධයන්ගේ ආධ්‍යාත්මයට යම් ගැඹුරු බලපෑමක් ඇති වූ හෙයිනි. එහෙයින් බෞද්ධයෝ සංවේගයට පත්වූහ. කෝප නොවූහ. යම් ප්‍රකෝපකාරී අරමුණක් වෙනුවෙන් සියදිවි නසා ගන්නේ නම් එහි අනෙක් පැත්ත වීමට බොහෝ දුරට ඉඩ තිබුණි.
උන්වහන්සේ ආත්ම හරණයට පෙර ඉදිරිපත් කළ ලිපියෙහි වූයේ සාධාරණ ඉල්ලීම් කිහිපයකි. එසේම ආත්ම හරණයට පළමුව ඉන්දරතන හිමියෝ දළදා හිමියන් වැඳ පුදා ගනිමින් එම ලිපිය භාර කළහ. ගින්නෙන් දැවි දැවී උන්වහන්සේ අවධාරණය කළේද තමන් වහන්සේගේ ඉල්ලීම්ය. ඉන්දරතන හිමියන්ගේ දේහය බොරැල්‍ලේ ජයරත්න මල් ශාලාවට ගෙන ආ විට යම් කලබලකාරී තත්ත්වයක් ඇතිවූයේ සිංහල බෞද්ධ සංවිධාන කීපයක් මගින් ඉදිරිපත් කරනු ලැබූ සාධාරණ ඉල්ලීමක් නොතකා ‍පොලීසිය හොර පාරෙන් දේහය පැන්නූ හෙයිනි.
දේහය කොළඹින් රත්නපුරේට ගෙන යාමේ උසාවි නියෝගයක් අතේ තබාගෙනම ‍පොලීසිය වංචාකාරී ලෙස හැසිරුණේය. යථාර්ථය පැහැදිලි කර දේහය රැගෙන යාමට ඉඩකඩ තිබුණි. බෞද්ධ සංවිධාන ඉල්ලුවේ පැය තුනක පමණ කාලයක් දේහය කොළඹ තබාගෙන අවසන් ගෞරව දැක්වීමට ඉඩදී එය රැගෙන යන ලෙසය. එහෙත් ඒ ඉල්ලීම නොතකා හැරීම නිසා යම් නොසන්සුන් තත්ත්වයක් ඇතිවිය. ‍පොලීසිය හා හාමුදුරුවන් අතර ගැටුමක් ඇති වූ බව කුණු පුවත්වලින් හෝ ජනප්‍රිය වීමට කැමැති එක්තරා පුවත්පතක් වාර්තා කළද එය අමූලික මුසාවාදයකි. එවැනි කිසිදු ගැටුමක් ඇති නොවීය. ආවේගශීලී තරුණයකු ලියුම්කරු සමග පැවැසුවේ ස්වාමීන් වහන්සේගේ දේහය කොළඹ ස්ථානයක පැය 3ක් හෝ තබාගෙන අවසන් ගෞරවය දැක්වීමට ඉඩ දුන්නේ නම් බොරැල්ල ජයරත්න මල් ශාලාවේ සිට කොල්ලුපිටිය මංසන්දියට විරෝධාත්මක ගමනක් ඒමට සිදුනොවන බවය. අනෙක් කරුණ නම් එතැනට පැමිණ සිටි සිංහල බෞද්ධ සංවිධාන මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යවා ඒ වෙනුවට පත්කර ගත හැකි බෞද්ධ හිතවාදී නායකයකු හෝ කණ්ඩායමක් නොමැති බව මැනවින් දනී. ජ.වි.පෙ. හෝ එ.ජා.ප.ය පත්කර ගැනීමෙන් සිංහල බෞද්ධයාට අමුතු සෙතක් නොවන බවද එම සංවිධාන නියමුවෝ දනිති. 
මේ අතර බෝවත්තේ ඉන්දරතන හිමියන්ගේ ක්‍රියාව පිළිබඳ විවිධ විනිශ්චයන් මේ වනවිට ඉදිරිපත් වී තිබේ. සමහරු එය බුදු දහමට පටහැනි ප්‍රාණ ඝාතයක් යැයි කියති. එසේම භික්ෂුවට අයෝග්‍ය  වැඩක් යැයි තවත් සමහර දැඩි වාචික විනයවාදීහු එය හෙළා දකිති. මෙම ලිපිය ලිවීමට සුළු වේලාවකට පෙර ලියුම්කරුට හමු වූ බොදු උවැසියක් පැවැසුවේ බෝවත්තේ හිමියන් පන්සිල් පද පහවත් නොදන්නා බවත් ගවයන් ආදී සතුන් සිටින්නේ අපගේ ආහාරය පිණිස බවත්ය. ලියුම්කරු ඊට වඩා යමක් ඒ ගැන කතා නොකළේ ආණ්ඩුවට කෝකටත් තෛලයක් සේ පිහිටවන සුද්ධ වන්තයකු බෝවත්තේ හිමියන් ජීවිතය පූජා කළේ හරකුන්ටදැයි අසා තිබුණු හෙයිනි.
තවත් තැනෙක ප්‍රශ්න කර තිබුණේ බුදුරජාණන් වහන්සේ චුන්ද සූකරිකයාගේ ඌරු සංහාරයට එරෙහිව ක්‍රියා මාර්ගයක් නොගැනීමය.  බුදුන් වහන්සේ කල බෞද්ධ රාජ්‍යයක් හෝ බහුතර බෞද්ධ ප්‍රජාවක් නොවීය. එහෙයින් මස් කඩවලට එරෙහිව රාජ්‍ය මට්ටමින් ක්‍රියා මාර්ග ගැනීමේ පසුබිමක් නොවීය. එහෙත් භාරතය බෞද්ධ රාජ්‍යයක් කළ ධර්මාශෝක රජතුමා සත්ව ඝාතනය සපුරා තහනම් කළ බව හෝ එය රජතුමා අනුභව කරමින් සිටිය මුවමස් කෑල්ල පවා කෑම නතර කළ බව මේ ඊනියා සුද්ධ වන්තයෝ නොදනිති.
ලියුම්කරු දන්නා තරමට කවුරු අමතක කළත් මේ රට සිංහල බෞද්ධ රාජ්‍යයකි. සිංහල බෞද්ධ රාජ්‍ය සකස් විය යුත්තේ බෞද්ධ මූලධර්ම පදනම් කරගනිමිනි. එපමණක් නොව මෙහි නිවැසි බොහෝ බෞද්ධයෝද, හින්දු බැතිමත්මතුන්ද, මධ්‍යස්ථ නිර්මාංශකයෝද ගව මස් නොබුදිති. එහි අර්ථය බහුතරය ගව මස් අනුභව නොකරන බවය. එහෙයින් ගවයා මැරීම මෙරට තහනම් කරන්න යැයි ඉල්ලීමක් කිරීමට ඒ බහුතරයට ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් ඇත.
ගව ඝාතනය නතර කිරීම ඉන්දරතන හිමියන්ගේ එක් ඉල්ලීමක් පමණි. උන්වහන්සේ තවත් ඉල්ලීම් 4ක් ඉදිරිපත් කළ බව බොහෝ අය අමතක කරති. අද මෙරට බෞද්ධයාගේ දුගී කම සහ වෙනත් අසරණකම් උපයෝගී කරගෙන බෞද්ධයන් ක්‍රිස්තියානි කරණයට හා මුස්ලිම් කරණයට ලක් කිරීමේ සදාචාර විරහිත ව්‍යාපෘති හා කුමන්ත්‍රණ ක්‍රියාත්මක වන බවද රහසක් නොවේ. පුවත්පතක දැන්වීම් අතිරේකය සතිපතා නිරීක්ෂණය කරන්නෙකුට ඈත ගම්වල බෞද්ධයන් පවුල් පිටින් මුස්ලිම් ආගමට හරවා ගන්නා ආකාරය දැකිය හැකිය. අලි මදිවාට කොටි කිව්වා සේ ක්‍රිස්තියානි පල්ලි කල්ලි මදිවාට මුස්ලිම් පල්ලි කල්ලි බෞද්ධ සමාජය ආක්‍රමණය කරමින් සිටී.
ජෙඩා නුවර පදනම් කරගත් ඉස්ලාම් පර්යේෂණ, ආගමික විධාන දේශන හා මඟපෙන්වීම පිළිබඳ ආයතනයේ සභාපති කාර්යාලය (Presidency of Islamic Research, Religious Ruling, Preaching and Guidancel) 1991 වර්ෂයේදී ඉස්ලාමයට ලෝකයේ විවිධාකාර රටවලින් හරවා ගත්තවුන්ගේ සංඛ්‍යා ‍ලේඛනයක් නිකුත් කළ අතර 1992.10.26 ජෙඩා නුවර ඇරබි නිවුස් නමැති පත්‍රයේ පළවූ එහි වාර්තාව මෙසේය.

පිලිපීන - 1046
ශ්‍රී ලංකා - 162
ඉන්දියානු - 120
තායි - 38
ඇමරිකන් - 23
ඊජිප්තු - 11
බ්‍රිතාන්‍ය - 10
එරිත්‍රියා  - 10
ප්‍රංශය - 05
ලෙබනන් - 05
කොරියා - 03
බංග්ලාදේශය - 03
ඕස්ට්‍රේලියාව - 03
එතියෝපියා - 02
අයර්ලන්තය - 01
ඩොමිනිකන් රාජ්‍යය - 01
කැනඩා - 01
සැම්බියා - 01
ජර්මනිය - 01
මැ‍ලේසියා - 01
කෙන්යා - 01

අපේ කුඩා රට මේ ලැයිස්තුවේ දෙවැනි තැනට පත්වී තිබෙන ආකාරය ඔබට දැකගත හැකිය.
ඒ 1991දීය. දැන් ලංකාව ලැයිස්තුවේ මුල් තැනට පත් වී තිබෙන බවට සැකයක් නොමැත. ක්‍රිස්තියානි මූලධර්මවාදී කණ්ඩායම් මගින් ඩැහැ ගන්නා ප්‍රමාණය අප්‍රකටය.
ඉන්දරතන හිමියෝ ගව ඝාතනයට සේම ආගමික ආක්‍රමණයද එරෙහිව සටන් කළහ. ඒවා ගැන ප්‍රබල හඬක් නැගූහ. එහෙත් බලධාරීන් ඒවාට දෙන විසඳුමක් නැත. ඒ හිමියන් ජීවිත හරණය කරන තැනට පත්වූයේ බෞද්ධ සමාජයේ ප්‍රශ්න විසඳා ගැනීමේ නිශ්චිත වැඩපිළිවෙළක් නොමැති වීමේ විපාකයක් හැටියට බව උන්වහන්සේට එරෙහිව සදාචාර විනිශ්චයන් ඉදිරිපත් කරන අය අමතක කරති. අහස පරයා දාගැබ්, බුදු පිළිම, මහා විහාර මන්දිර හැදුවාට බෞද්ධ සමාජයේ ප්‍රශ්න විසඳෙන්නේ නැත. යටත් විජිත යුගවලදී බෞද්ධයාට වූ අයිතිවාසිකම් කඩවීම් වලට සරිලන විසඳුමක් තවම ලැබි නැත. 
එදා බ්‍රිතාන්‍යයෝ උඩරට සිංහලයාගේ ඉඩම් පැහැරගෙන තේ වවා ඒවායේ ඉන්දියානු දෙමළ ජනයා පදිංචි කළහ.

දැන් ඒ වතුකරයේ හිස් ඉඩම්වල සිංහල පවුල් පදිංචි කිරීමට සූදානම් වන විට වතුකරයේ දෙමළ නායකයෝ අවි අමෝරා ගනිති.
1956 සිට 2013 දක්වා සිංහල බෞද්ධයා වෙනුවෙන් කොමිෂන් සභා පත් කරති. එහෙත් සැබෑ අර්බුදය විසදුණේ නැත. 71 සහ 88 - 89 අවි අතට ගත්තේද සිංහල බෞද්ධ පවුල්වල තරුණ තරුණියන් බවද අමතක නොකළ යුතුය. සිංහල බෞද්ධ පිරිස් එවැනි ව්‍යාපාරවලට හසු වූයේ ඔවුන්ගේ ප්‍රශ්නවලට විසඳුම් නොලැබුණු හෙයිනි. සිංහල බෞද්ධයාගේ ප්‍රධාන ජීවන මාර්ගය ගොවිතැනය. එහෙත් අද ගොවිතැන සිංහල බෞද්ධයාට මළ ගමක් වී තිබේ. බෝවත්තේ හිමි ඒ නොවිසඳුණු සිංහල බෞද්ධ අර්බුදය අතරින් මතු වූ චරිතයකි. මෙලොව නිදොස් කෙනෙක් නොමැත. සමහරු ඒ හිමියන් ජීවිත හරණය කළ පසු විවිධ වැරදි ලැයිස්තු ඉදිරිපත් කරති. උන්වහන්සේ කහවත්තේ ඝාතන රැල්ලට සහ හොර හරක් ජාවාරමට එරෙහි වීම නිසා දේශපාලනඥයන්ගේ උදහසට ලක් වූ බව ඔවුහු අමතක කරති. 
එසේම මේ රටේ අපූරු ‍පොලීසියට වැරදි මතක් වන්නේ උන්වහන්සේ අපවත් වූ පසුවය.
බෝවත්තේ හිමියන්ගේ සහෝදරයෙක් කොටින්ට එරෙහිව ඉදිරි ආරක්ෂක වළල්‍ලේදී ජීවිත පූජා කළේය. ඒ ගැන කිසිවෙක් හෝ කතා නොකරයි. උන්වහන්සේ පැවැත එන්නේ එවැනි රටට දැයට හිතැති පවුලකිනි.
එසේම බෝවත්තේ හිමියන් අනුකරණය කරමින් අනෙක් ස්වාමීන් වහන්සේලා කළ යුත්තේ ජීවිත හරණය කිරීම නොව සිංහල බෞද්ධ සමාජයේත් සමස්ත රටේත් ප්‍රශ්න විසඳා ගැනීම සඳහා එක හඬක් නැගීමය. සියලු භේද අමතක කර මහා සංඝයා හැටියට අවදි වීමය.
බෝවත්තේ හිමියන්ගේ ජීවිත හරණයෙන් ලැබෙන සංඥාව එයයි. ආණ්ඩුවද සිංහල බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරයක් ආරම්භ කර බුදු සසුන සිංහලයාත් රැක ගැනීමට වහා 
වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුය. එසේ නැතිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති තිබුණු පමණින් බුදු සසුනත් රැකෙන්නේ නැත. එසේම ආණ්ඩුවට කඩේ ගිය පමණින් බුදු සසුන රැකෙන්නේ නැත.
ඇති හැකි සිංහල බෞද්ධ ධනපතියෝද ආදායමක් තිබෙන විහාරස්ථානද දුගී බෞද්ධයන්ගේ සමස්ත සංවර්ධනය සඳහා ධනය, කාලය, ශ්‍රමය වැය කළ යුතුය. එසේම බෝවත්තේ හිමි අඟහරු ලෝකයෙන් පැමිණ ජීවිත හරණ නොකළ බව උන්වහන්සේට වෙන්කර පහර දෙන සුපරිශුද්ධ, අතිශුද්ධ, සුධවල, සුචිත්‍ර, ශික්ෂා ගරුක සුද්ධවන්තයෝ වටහාගත යුත්තෝය. 

බුද්ධ පුත්‍රයාගේ ජීවිත හරණය සුද්ධ වන්තයන්ගේ හස්ත දෝවනය
වරුණ අබේසේකර - රතු පෑන - 
http://lakbima.lk/index.php?option=com_content&view=article&id=10694:2013-05-29-18-08-20&catid=73:2013-05-17-07-39-41&Itemid=97

සබැඳි ලිපි -[බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන්ගේ දේහය කහ පැහැ චිතකයේදී ගිනි දැල්වලින් වෙලා ගත්තේය...http://denethharinna.blogspot.com/2013/05/blog-post_2445.html
බෝසත් මඟ යමින් පරාර්ථය වෙනුවෙන් තම දිවි දන් දුන් මහා යති විරුවාණෝ... බෝවත්තේ ඉන්ද්‍රසාර බුදු පුතුණ්ට අමා මහ නිවන්සුව අත්වේවා!
http://denethharinna.blogspot.com/2013/05/blog-post_2954.html

ඉන්ද්‍රරත්න යතිවිරු අවසන් බුහුමන් ගුණකථනhttp://denethharinna.blogspot.com/2013/05/blog-post_5397.html
බොදු උරුමය වෙනුවෙන් සහ ගව ඝාතනය වැළකුම වෙනුවෙන් පාලකයන්ගෙන් නිසි පිළිතුරක් නොලැබුණු තැන උන්වහන්සේ දිවි පූජා කළා - ඥාණසාර හිමි
http://denethharinna.blogspot.com/2013/05/blog-post_2889.html
ජීවිත පරිත්‍යාගය අවතක්‌සේරු කිරීමට බැහැ - ජාතික සංඝ සම්මේලනය
http://denethharinna.blogspot.com/2013/05/blog-post_3858.html
ඉන්ද්‍රරතන හිමිගේ අරමුණු වෙනුවෙන් ජීවිතය දෙන්න තවත් භික්‍ෂූන් සූදානම් - SR
http://denethharinna.blogspot.com/2013/05/sr.html

භික්ෂූන්ට පහරදී ඉන්ද්‍රසාර යතිවිරුවාණන්ගේ ශ්‍රි දේහය බලහත්කාරයෙන් කහවත්තට
http://denethharinna.blogspot.com/2013/05/blog-post_6989.html
ඉන්ද්‍රරතන හිමිගේ දේහය රත්නපුරයට ගෙනයන හැඩ… මල් ශාලාව ඉදිරිපිට විරෝධතාhttp://denethharinna.blogspot.com/2013/05/blog-post_26.htmlඉන්ද්‍රරතන හිමිගේ දේහය ඉල්ලන භික්ෂූන්ට සලකන්නට කැරළි මර්ධන ඒකකය සූදානම්http://denethharinna.blogspot.com/2013/05/blog-post_1562.html
]

0 comments: