Pages

Thursday, May 30, 2013

බරපතළ ප්‍රශ්නයකට මුහුණ පා තියෙන සිංහල ජාතිය මේ රටේ වඳවෙන ජාතියක්‌ වෙලා - මැදගොඩ අභයතිස්‌ස හිමි

බරපතළ ප්‍රශ්නයකට සිංහල ජාතිය මුහුණ පා තිබෙන යුගයක්‌ තවත් වසර තිහක්‌ හතළිහක්‌ යන කොට ඔබට එය තේරෙයි. සිංහල ජාතිය මේ රටේ වඳවෙන ජාතියක්‌ බවට පත්වෙලා තිබෙනවා යෑයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හා පැපිලියාන සුනේත්‍රාදේවි පිරිවෙනේ පරිවෙනාධිපති පූජ්‍ය මැදගොඩ අභයතිස්‌ස නාහිමි මාතරදී පැවැසූහ.

මාතර සමාධි ප්‍රජා සංවර්ධන පදනමේ දහතුන් වැනි ශිෂ්‍ය කණ්‌ඩායමේ සිසුන් දහසක්‌ වෙනුවෙන් සහතික පත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවය අමතමිනි. මාතර දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතාගේ ආරාධනාවෙන් උන්වහන්සේ මෙම උත්සවයට සහභාගී වූහ.

උන්වහන්සේ මෙසේද කීහ.

මේ කතාව කිව්වට සමහරු කියයි මම ජාතිවාදී කතාවක්‌ කරනවා කියලා. එහෙම නැහැ. මම කියන ගාන හදලා බලන්න සිංහල මිනිස්‌සු තව කොපමණ කාලයක්‌ද මේ රටේ ජීවත් වෙන්නේ කියලා.

මෙම වතාවේ ජන සංගණනය එක්‌ක ගත්තාම අපට දැක ගන්නට ලැබුණා සිංහල මිනිස්‌සු එක්‌කෝටි තිස්‌ ලක්‍ෂයක්‌ මේ රටේ ඉන්නවා කියලා. එක්‌කෝටි තිස්‌ ලක්‍ෂයෙන් සියයට හැටක්‌ ඒ කියන්නේ ලක්‍ෂ 80 ක්‌ ඉන්නේ වයස අවුරුදු 40 පැනපු අය. කාන්තාවෝ ගත්තොත් දරුවන් නහදන සහ නොහැදෙන අය ලෝක ධර්මතාවය මත තව වසර 40 ක්‌ ඇතුළත ලක්‍ෂ 80 ක්‌ මියයා යුතුයි. ඉතුරුවන්නේ ලක්‍ෂ පනහයි. මෙම ලක්‍ෂ පනහ අතරේ සිටින අවුරුදු 39 කෙනෙක්‌ට තවත් වසර 40 කින් අවුරුදු හැත්තෑනවයක්‌ වෙනවා. මෙම ලක්‍ෂ පනහෙන් භාගයක්‌ ඉන්නේ පිරිමි කියලා හිතුවොත් කාන්තාවන් ඉන්නේ ලක්‍ෂ 25 යි. ඒ ලක්‍ෂ විසිපහෙනුත් ලක්‍ෂ පහක්‌ විතර මේ වන විට වඳ සැත්කම් කරගෙන. රටේ නීතිය මත වයස අවුරුදු 26 ක්‌ ඉහළ විවාහක කාන්තාවන්ට එල්. ආර්. ටී. සැත්කම කරන්න පුලුවන්. ඒ කියන්නේ ලක්‍ෂ විස්‌සයි කාන්තාවන් ඉන්නේ.

කාන්තාවන් ලක්‍ෂ විස්‌සෙනුත් ලක්‍ෂ දහයක්‌ ඉන්නේ අවුරුදු 20 ට අඩු අය ඒ කියන්නේ විස්‌සට වැඩි අය ඉන්නේ ලක්‍ෂ දහයයි. එක්‌කෝටි තිස්‌ ලක්‍ෂයක්‌ සිංහල මිනිසුන්ගෙන් ලක්‍ෂ දහයයි දරුවන් හදන්න පුලුවන් මට්‌ටමේ සිටින කාන්තාවන් ඉන්නේ. ඔය ලක්‍ෂ දහයෙන් කී දෙනෙකුටද දරුවෝ ලැබෙන්නේ. දරුවන් හදා ගන්න දවසට කාන්තාවන් කීදෙනෙක්‌ චැනල් කරනවද? ඒත් දරුවන් නැහැ. එතකොට දරු ඵලදාව තිබෙන අය ඉන්නේ ලක්‍ෂ 8 යි. ඒ විදියට ගත්තම වසර හතළිහක්‌ තුළ ලක්‍ෂ අසූවක්‌ මැරෙන්න ඉන්නවා. එතකොට එක කාන්තාවක්‌ දරුවන් දහයක්‌ බිහිකළොත් පමණයි යන්තම් සිංහල ජාතිය දැන් සිටින ගාන පවත්වාගෙන යන්න පුලුවන් වෙන්නේ.

ලක්‍ෂ අටක්‌ දරුවන් හදන්න පුලුවන් කියන යථාර්ථයක්‌ එක්‌ක හෙට දවසේ ලක්‍ෂ අසූවක්‌ මැරෙනකොට ලක්‍ෂ පනහක්‌ නාකිවෙලා ඉන්න කොට එක්‌කෙනා දරුමල්ලන් පස්‌දෙනා ගානේ හැදුවත් ලක්‍ෂ හතළිහයි හදන්න පුලුවන් වන්නේ. ඒ කියන්නේ මියගිය ලක්‍ෂ අසූවෙනුත් භාගයයි උපදින්නේ. මේ නිසා සිංහල ජාතියට ඉදිරියේදී විශාල ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා. මෙය වහාම තේරුම්ගත යුතුයි.

මාතර - චන්ද්‍රදාස කොඩිතුවක්‌කු

0 comments: