Pages

Friday, May 24, 2013

බුදුහාමුදුරුවෝ ශ්‍රේෂ්ඨතම අවිහිංසාවාදියාණෝයි

බුදුන්වහන්සේ අබෞද්ධයකු බෞද්ධ කිරීමේ දී පොරොන්දු පහකට බඳවා ගත් හ. එයට පඤ්චශීලය යෑයි කියනු ලැබේ. ඒ පඤ්චශීලයේ පළමු පොරොන්දුව හෝ ගිවිසුම "පණ ඇති සතකු නො මරණ බවට පොරොන්දු වෙමි" යනු යි. මෙයින් පෙනෙන්නේ බෞද්ධයකු වීමේ දී මූලික වශයෙන් තිබිය යුතු ගුණය අවිහිංසාවාදී බවය යනුයි. බුදුන්වහන්සේ හැම ක්‍රමයක ම හිංසාව හෙළා දැක්‌කා හ. මිනිසුන්ට පමණක්‌ නො ව සියලු සතුනට ම මෛත්‍රිය දක්‌වන ලෙස නියම කළ හ.

සබ්බේ තසන්ති දණ්‌ඩස්‌ස - සබ්බේ භායන්ති මව්වුනො

අත්තානං උපමං කත්වා - න හනෙයH න ඝාතයෙ

"සියලු දෙන ම දඬුවමට භයවෙත්, සියල්ලෝ ම මරණයට බිය වෙත්. ඒ නිසා තමාත් දඬුවමට හා මරණයට බිය බැවින් තමා ම උපමා කොට සිතා අනුන් නො නැසිය යුතුය. නො මැරිය යුතු ය."

සම්බෙ තසන්ති දණ්‌ඩස්‌ස - සම්බෙසං ජීවිතං පියං

අත්තානං උපමං කත්වා - න භනෙයH න ඝාතයෙ

"සියලු දෙන ම දඬුවමට තැති ගනිත්, සියල්ලන්ට ම ජීවිතය ප්‍රියය. ඒ නිසා තමා උපමා කොට සිතා අනුන් නො නැසිය යුතු ය".

බුදුන්වහන්සේ හා මහාවීර හැර අනික්‌ ශාස්‌තෘවරු තිරිසන් සතුන්ට කරුණාව නො දැක්‌වූහ. තිරිසන් සතුන් මරා මස්‌ පිණිස අනුභව කිරීමට අනුබල දුන් හ. එබැවින් තිරිසන් සතුන් ගේ ගෞරවයට අනික්‌ ශාස්‌තෘවරු ලක්‌ නො වෙති. මහාවීර අවිහිංසාව පිළිබඳ ව සීමාව ඉක්‌මවී ය. ඔහු ගේ පරම ධර්මය අවිහිංසාවයි. ඔහු ජලයට පවා පණ ඇතැයි සලකයි. ජලය මැඬ ගෙන ඔරු පාරු ආදී යාත්‍රාවලින් යැම පවා පාපයක්‌ කොට සලකයි. ආශ්වාස ප්‍රශ්වාස කිරීමේ දී පවා කුඩා ප්‍රාණීන් මැරෙන බැවින් මුඛවාඩමක්‌ පාවිච්චි කරන ලෙස නියම කරයි. බුදුරදුන් අනුදැන වදාළ ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය පවා නොපිළිගනී. මේ නිසා කිසි ම ජෛන ආගමිකයෙක්‌ මස්‌ මාළු අනුභව නො කරයි. මේ සීමාන්තික අවිහිංසාවාදය නිසා ජෛන ආගම ඇදහීම දුෂ්කර එකක්‌ විය. ඉන්දියාවෙන් පිටතට එය පැතිර ගියේ නැත. ගොවිකම් කිරීමේ දී පවා සතුන් මැරෙන බැවින් ජෛනයෝ වෙළෙ¹ම හැර ගොවිකම් ආදී වෙන කර්මාන්තවල නො යෙදෙති.

බුදුන් වහන්සේගේ අනුශාසනය මධ්‍යම ප්‍රතිපදාව බැවින් උන්වහන්සේ සීමාන්ත අත්හළහ. එබැවින් ම උන්වහන්සේ ගේ අනුශාසනය ලෝකයේ ඕනෑම රටක ඕනෑම වැසියකුට පිළිපැදිය හැකි තරමට මධ්‍යස්‌ථය. උන්වහන්සේ සතුරු මිතුරු, ලොකු කුඩා, අඳුනන නාඳුනන, දුටු නුදුටු හැම සතකුගේ ම ජීවිතය ප්‍රාණය, ඒ සතාට ප්‍රිය බව සැලකූහ. මෛත්‍රී කිරීමේ දී හැම තරාතිරමක ම, හැම සතකුම, අඩංගු වනු සඳහා(-

අපාදකේහි මෙ මෙත්තං - මෙත්තං ද්විපාදකෙහි මෙ.

චතුප්පදෙහි මෙ මෙත්තං - මෙත්තං බහුප්පදේහි මෙ

"මා ගේ මෛත්‍රිය පා නැති, නයි පිඹුරු - පොළොං ආදී දීර්ඝ ජාතීන් හා ය. මා ගේ මෛත්‍රිය දෙපා ඇත්තන් හා ය. මා ගේ මෛත්‍රිය සිවුපා ඇත්තන් හා ය. මා ගේ මෛත්‍රිය පත්තෑ, කංකුඬු ආදි බොහෝ පා ඇත්තන් හා ය".

සබ්බේ සත්තා සබ්බේ පාණා - සබ්බේ භූතා ච කේවලා

සබ්බේ භද්‍රdනි පස්‌සන්තු - මා කඤ්වි පාපමාගමා

"හැම සත්ත්වයෝ ද, හැම ප්‍රාණීහු ද, හැම භූතයෝ ද යන මේ හැම දෙන ම යහපතක්‌ ම දකිනවා· මොවුන් කෙරෙන් කිසිවකු කරාත් දුකක්‌ නො පැමිණේවා·"

යනුවෙන් බුදුන් වහන්සේ හැම කෙනෙකුට ම මෙත් වඩන ලෙස උගැන්වූ හ. උන්වහන්සේ ගේ දේශනාවෙහි අනුන්ට හිංසා පීඩා හා පාඩු අලාභ සිදුවන විදියේ තබා එවැන්නක්‌ සිදු වීමට තුඩු දෙන විදියේ වචනයක්‌ හෝ අදහසක්‌ අඩංගු වී නැත. කකචූපම සූත්‍රයෙන් බුදුහු මෙසේ වදාරති( "උභතො දණ්‌ඩකෙන පි චෙ භික්‌ඛවේ කකවෙන චෝරා ඔචරකා අŒග මඩ්න නී ඔකංකෙය්යුං, තත්‍රා පි යො මනො පදූසෙයH, න මෙ සො තෙන සාසනකරො. තත්‍රාපි වො භික්‌ඛවෙ එවං සික්‌ තබ්බං න චෙව නොචිත්තං විපරිණතං භවිස්‌සති, න ච පාපිකං වාචං නිච්ඡාරෙස්‌සාම, හිතානුකම්පිච විහරිස්‌සාම, මෙත්තචිත්තා න දොසන්තරා තඤ්ච පුග්ගලං මෙත්තාසහගතෙන චෙතසා එරිත්වා විහරස්‌සාම, තදාරම්මණංච සබ්බාවන්තං ලොකං මෙත්තා සහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අඛ්‍යාපජ ජෙන එරිත්වා විහරිස්‌සාමාති, එවංහි වො භික්‌ඛවෙ සික්‌තබ්බං".

"මහණෙනි, ඉදින් දරුණු හොරුන් අවුත් දෙපැත්තෙ දඬු ඇති මහකියතින් ශරීරයේ කොටස්‌ කෑලි කෑලිවලට කපද්දී යමෙක්‌ ඒ හොරුන් කෙරෙහි හිත අමනාප කර ගත්තොත්, දූෂිත හිතක්‌, තරහ හිතක්‌ ඇති කර ගත්තොත් හෙතෙමේ මගේ අනුශාසනය කරන්නෙක්‌ නො වේ. පිළිපදින්නෙක්‌ නො වේ. මහණෙනි, එබඳු අවස්‌ථාවක දී වුවත් තොප විසින් මෙසේ සිතිය යුතු යි. අපේ හිත වෙනස්‌ වන්නේ නැත, මොවුන්ට තද වචන නො කියන්නෙමු, හිතානුකම්පී ව, තරහ නො වී මෛත්‍රිය පතුරුවමු. ඒ මෙත් සිතට අරමුණු වූ සියලු ලෝකයා කෙරෙහි මහත් වූ, අප්‍රමාණ වූ, වෛර නැති මෛත්‍රිය පතුරුවා වසන්නෙමුයි කියා යි. මහණෙනි, හතුරක කෙරෙහි වුවත් මෙසේ සිතන්නට පුරුදු විය යුතු යි".

(කකචූපම සූත්‍රය - මඡ්Cධිම නිකාය)

"තමන් ගේ සිරුර කෑලිකෑලිවලට කපන හතුරා කෙරෙහිත් මෛත්‍රිය නො වඩා තරහ හිතක්‌ ඇති කර ගත්තොත් ඔහු බුදුරදුන් ගේ අවවාද පිළිපදින්නෙක්‌ නො වේය. බුදුරදුන් අනුගමනය කරන්නෙක්‌ නො වේ යෑ" යි බුදුහු පවසති. මෙය මෙසේ නම් හිංසාව ගැන කුමන කතා ද? මොන ම කරුණක්‌ නිසා වත්, මොන ම කෙනෙකුට වත් හිංසාවක්‌, පීඩාවක්‌ කිරීමට බුදුන් වහන්සේ ගේ ධර්මයෙන් බෞද්ධයෙකුට ඉඩක්‌ නැත. එබැවින් සැබෑ අවිහිංසාවාදියා බුදුන් වහන්සේ ය. සැබෑ සිතින් බුදුන් වහන්සේ අදහන සැබෑ බෞද්ධයන් අතර හිංසාවක්‌, පීඩාවක්‌, ප්‍රාණඝාතයක්‌, කලහයක්‌, ආරවුලක්‌, අමනාපයක්‌, ගහ බැණ ගැනීමක්‌, ලේ හැලීමක්‌ ඇති වන්නට මොන ම ඉඩක්‌වත් නැත. යම් පිරිසක්‌ අතර මේවා සිදු වෙතොත් එහි තේරුම ඔවුන් හැබෑ බෞද්ධයන් නො වන බව යි. මෛත්‍රියේ මූර්තිය වූ බුදුන් වහන්සේ අවිංහිසාවාදයේ ද මූර්ති යයි.

බුදුන්වහන්සේ ගේ අවිහිංසා ප්‍රතිපත්තිය ආසියාතිකයන් තුළ කොතරම් දුරට බලපැවැත්වූයේ දැ යි කියතොත් ජාතීන් අතර හා රටවල් අතර යුද්ධ කිරීම බොහෝ දුරට අඩු විය. යුද්ධ කොට ජයගෙන යුද්ධ කිරීම සදහට ම නැවැත්වූ ධර්මාශෝක වැනි අවිංහිසාවාදී මහාඅධිරාජයෙක්‌ පහළ විය. සිරිසඟබෝ වැනි ධාර්මික රජවරු ඇති වූහ. මහත්මා ගාන්ධි, ජවහර්ලාල් නේරු වැනි අවිහිංසාවාදී ලෝක ප්‍රසිද්ධ ජනනායකයෝ පහළ වූහ. පෙරදිග, අපරදිග යන දෙදිගෙන් ඉතා ම වැඩියෙන් ප්‍රාණඝාතය හෙවත් සතුන් මැරීම කෙරෙන්නේ අපරදිග ය. සතුන් මැරීම තබා මස්‌ මාංශවත් අනුභව නො කරණ ඉතා ම වැඩි පිරිසක්‌ සිටින්නේ පෙරදිග ය. කුරා කුහුඹියකුට වත් හිංසාවක්‌ නොකොට සියලු සත්ත්වයෝ නිදුක්‌ වෙත්වා· යි අවංක කරුණාවෙන් ප්‍රාර්ථනා කරන්නන් ඉතා ම වැඩි පිරිසක්‌ සිටින්නේ පෙරදිග ය. මෙයට හේතුව අවුරුදු 2500 කට පසුත් බුදුන් වහන්සේ ගේ අවිහිංසා ධර්මය පෙරදිග මිනිස්‌ සමාජයේ සිත් තුළ බල පැවැත්වීම යි. බෞද්ධ සිතුම් පැතුම් ජන ජීවනයට කැවී තිබීමයි.

රාජකීය පණ්‌ඩිත වෙලේගම්මැද්දේ
විමලජෝති නාහිමි
http://www.divaina.com/2013/05/24/feature04.html

1 comments:

Amila Chathuranga said...

ඒ වුනාට දැන් අපිට රූපවාහිනි වලින් හෙම වීර බෞද්ධ හාමුදුරුවරු ගහගන්න දර්ශන දකින්න ලැබෙනවා නේ...ඒ ඇයි?