Pages

Wednesday, May 29, 2013

ශ්‍රීපාදස්‌ථානයට ලැබෙන ආධාරවලින් ජනතාවට හා කෝවිල්වලට පරිත්‍යාග කරනවා - ශ්‍රීපාදස්‌ථානාධිපති හිමි

ලොවට පහළ වූ ගෞතම බුදුන් වහන්සේ එක කුලයකට, එක ජාතියකට, එක ආගමකට, එක ගමකට පිහිට වීමට පහළ වූ කෙනෙක්‌ නොව තුන් ලෝකාග්‍ර වූ, සකල ලෝකවාසීන්ට සෙත සැලසීම සඳහා පහළ වූ ශාස්‌තෲන් වහන්සේ නමක්‌ බව ශ්‍රීපාදස්‌ථානාධිපති සබරගමු පළාතේ ප්‍රධාන සංඝනායක හා පැල්මඩුල්ල රජමහා විහාරාධිපති බෙංගමුවේ ශ්‍රී රතනපාල ධම්මදින්න නායක හිමියෝ පැවැසූහ.

ශ්‍රීපාදස්‌ථානාධිපති හිමියෝ එසේ පැවසුවේ වාර්ෂික ශ්‍රී පාද වන්දනාවාරය (2012/ 2013) නිමාවට පත් කරමින් ඊට සමගාමීව නල්ලතන්නිය පොලිස්‌ ස්‌ථානය ඉදිරිපිටදී ඉකුත් 26 වැනි දින පස්‌වරුවේ ප්‍රදේශයේ පාසල් හා දහම් පාසල් ළමයින් සඳහා රෙදිපිළි, පොත්පත්, වියළි ආහාර හා මුදල් ත්‍යාග බෙදාදීමේ විශේෂ උත්සවයේදී අනුශාසනාවක්‌ කරමිනි.

නුවරඑළිය, රත්නපුර දිස්‌ත්‍රික්‌කවල මහ දිසාපතිවරුන්ගේ හා ආරක්‍ෂක අංශයේ උසස්‌ නිලධාරින්ගේ සහභාගිත්වයෙන් පැවැති මෙම උත්සවයේදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ශ්‍රීපාදස්‌ථානාධිපති නායක හිමියෝ මෙසේ ද කීහ.

අද මෙතැනට රැස්‌වී සිටින සියලුම දරුවෝ ලංකාව නමැති මාතාවගේ එකම පවුලේ දරුවෝ. මොවුන් විවිධ භාෂාවන් කතා කළාට විවිධ ආගම් ඇදහුවාට එකම පවුලක අයයි. එය ගෞතම බුදුන් වහන්සේගේ උතුම් ධර්මයේ සඳහන් වෙනවා. බුදුන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කර සමන් ගිරෙහි උන්වහන්සේගේ පාද ලාංඡනය සටහන් කර මුළු ලොවට සකල ලෝකවාසීන්ට සෙත සැලසීම තුළින් එය පැහැදිලි වෙනවා. ලක්‌ දෙරණම උන්වහන්සේගේ ධර්මයෙන් පහන් සංවේගයට පත් වුණා.

ශ්‍රීපාදස්‌ථානයට අධිගෘහිත ශ්‍රී සුමන සමන් දෙවියන් මාර්ගඵල ලාභී දෙවිකෙනෙක්‌. උන්වහන්සේ මතු බුදුවීමට පෙරුම් පුරන උත්තමයෙක්‌. මෙම චීවරය දරන බුදුන් වහන්සේගේ ශ්‍රාවකයන් මෙන්ම සංඝයා වහන්සේලා වන අප එකම පිරිසකට එකම ආගමකට, ජාතියකට නායකත්වයක්‌ දරන අය කියා සිතන්න එපා. ගෞතම බුදුන් වහන්සේගේ ධර්මයේ, එසේ සඳහන් වන්නේ නෑ. උන්වහන්සේ දේශනා කළේ සකල ලෝකවාසීන්ට එක හා සමානව ධර්මය දේශනා කරන ලෙසයි. ජාතිවාදය පැතිරි ගිය කාලයක තමයි අපි ජීවත් වුණේ. භික්‍ෂුන් වහන්සේ ජාති, කුල, ආගම්වාදීන් නොවෙයි. එසේ සිතන්න එපා. අපි සියලුම දෙනා මනුස්‌ස ජාතීන් ලෙසයි සිතන්නේ.

මා ශ්‍රීපාද ස්‌ථානයේ භාරකාරත්වයට පත් වී වසර දෙකයි. මගේ සිතේ නිතරම තිබුණ්‌ සැමට සෙත සැලසීමේ අරමුණයි. එය පියවරෙන් පියවර ක්‍රියාත්මක කරනවා. ගුණ දහම් වලින් පෝසත්, යහපත්, සිතුම් පැතුම් වලින් පෝසත් නිරොගී සම්පන්න පරපුරක්‌ අපි බිහිකළ යුතුයි. එයයි රටකට අත්‍යාවශ්‍ය. අද අපි මේ ප්‍රදේශයේ දහම් පාසල් ළමයින්ට, ගුරුවරුන්ට. දමිළ දරුවන්ට වගේම ප්‍රදේශයේ පදංචි පිරිසට සුළු ආධාරයක්‌ ලබා දෙනවා. ශ්‍රීපාද ස්‌ථානයට නොයෙක්‌ පූජෝපහාර ලැබෙනවා. එසේ ලැබෙන දේවලින් මෙවර ප්‍රදේශයේ අයට හා හින්දු කෝවිල්වලට සුළු පරිත්‍යාගයක්‌ කරනවා. යහපත් සිතුවිලිවලින් සත්‍යවාදීව කරන උපකාර ධර්මානුකූලයි. අපි අසුභවාදීන් හෝ මිථ්‍යාදෘෂ්ටිකයන් නොවිය යුතුයි."

නල්ලතන්නිය - ශ්‍රී පාද මාර්ගයෙන් මෙවර ශ්‍රී පාද වන්දනාවේ පැමිණ ශ්‍රීපාදස්‌ථානය බලා ගමන් කරමින් සිටියදී හදිසියේ මියගිය වන්දනාකරුවන් දෙදෙනෙකුගේ පවුලේ ඥාතීන් වෙනුවෙන් මෙහිදී ශ්‍රීපාදස්‌ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නායක හිමියන් විසින් මුදල් පරිත්‍යාගයක්‌ සිදු කිරීම විශේෂ සිද්ධියකි. තවද නල්ලතන්නිය - ශ්‍රීපාද මාර්ගයේ ශ්‍රීපාද වන්දනා වාර අවාර කාලයේ විවෘතව තබන එකම විහාරස්‌ථානය වන කල්පවෘක්‍ෂ මහා විහාරයේ විහාරාධිපති, දෙහිපේ නන්ද හිමියන්ට ශ්‍රීපාද ස්‌ථානාධිපති හිමියන් විසින් විශේෂ තිළිණයක්‌ ප්‍රදානය කරන ලදී.

නල්ලතන්නිය ශ්‍රීපාද මාර්ගයෙන් නල්ලතන්නියේ සිට ශ්‍රීපාද පත්මය දක්‌වා බර ඔසවාගෙන යන කම්කරුවන් ඇගයීමට ලක්‌කරමින් ඔවුන්ට වියළි ආහාර හා මුදල් පරිත්‍යාග කිරීම මෙහිදී සිදු කළේය. අඹගමුව ශාසනාරCසක බල මණ්‌ඩලයේ තෝරාගත් දහම් පාසල් කීපයක ළමයින් 100 කට, ගුරුවරුන්ට සුදු රෙදි හා මූල්‍ය ආධාර ලබා දීම මෙන්ම නල්ලතන්නිය හා මරේ යන ග්‍රාම නිලධාරි වයස්‌ දෙකේ දෙමළ පාසල් 07 ක සිසු සිසුවියන් 1500 දෙනකුට මෙදින සුදු රෙදි, පොත්පත් හා මුදල් ආධාර ලබාදීම විශේෂත්වයකි.

නල්ලතන්නිය ප්‍රදේශයේ පදිංචි සිංහල, දෙමළ තෝරාගත් පවුල් 500 ක සාමාජිකයන් සඳහා වියළි ආහාර බෙදාදීම මෙදින ශ්‍රීපාදස්‌ථානාධිපති නායක හිමියන් විසින් සිදු කරන ලදී.

ශ්‍රීපාදස්‌ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නායක හිමියන්ගේ විශේෂ ඉල්ලීමක්‌ අනුව මෙහිදී ප්‍රදේශයේ විද්යුත් හා මුද්‍රිත මාධ්‍යවේදීන් හයදෙනකුට ශ්‍රීපාද ස්‌ථානය වෙත ඔවුන් කළ සේවය ඇගයීමකට ලක්‌ කරමින් ත්‍යාග ප්‍රදානයක්‌ ද සිදු කළේය.

මෙහිදී නුවරඑළිය දිස්‌ත්‍රික්‌ ලේකම් ඩී. ජී. ජී. කුමාරසිරි මහතා ද කතා කළේය. මෙම අවස්‌ථාවට අඹගමුව ප්‍රාදේශීය ලේකම් එච්. එම්. සී හේරත්, අඹගමුව ප්‍රාදේශීය සභා සභාපති දිනේෂ් වෙල්ලෙයන්, හැටන් කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරි සමන් රත්නායක, සහකාර පොලිස්‌ අධිකාරි ûû ප්‍රේමලාල් යන මහත්වරුන් හා පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම්තුමිය ද සහභාගි වූහ.

මස්‌කෙළිය - ගාමිණී බණ්‌ඩාර ඉලංගන්තිලක
http://www.divaina.com/2013/05/29/news22.html

1 comments:

Anonymous said...

කෝවිල්???

මේ පූසාරි කෙනෙක්ද??? කෝවිල් හදන්න ආධාර කරන්නේ ඇයි ඔය දුෂ්කර පංසල් එහෙම දැන් නැතුවාම වෙන්න ඇති නේද???