Pages

Friday, May 31, 2013

'ශ‍්‍රී ලංකා හමුදාව අක‍්‍රමණය කලේ දෙමළ නිජබිමයි' TNA ප්‍රකාශය හෙළා දකිනවා - JNP

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මාවෙයි සේනාධිරාජා මහතා විසින් යාපනයේ පැවැති මාධ්‍ය හමුවකදී එල්. ටී. ටී. ඊ. සංවිධානය දෙමළ ජනතාව වෙනුවෙන් විමුක්ති අරගලයක් දියත් කළ බවත් ශ‍්‍රී ලංකා රජයේ හමුදා තම නිජබිම ආක‍්‍රමණය කරමින් එම විමුක්ති සංවිධානයත් එකී විමුක්ති අරගලයත් විනාශ කළ බවටත් කල ප‍්‍රකාශය සම්බන්ධයෙන් ජාතික  නිදහස් පෙරමුණ සිය විරෝධය පල කරයි.

ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරනි ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප‍්‍රකාශක මොහොමඞ් මුසම්මිල් මහතා මෙසේද පවසයි.

එල්. ටී. ටී. ඊ. සංවිධානයේ අනේකවිධ පීඩා මැද දිවි ගෙවූ උතුරේ ලක්‍ෂ සංඛ්‍යාත දෙමළ ජනතාවට මානුෂික මෙහෙයුමක් මගින් නිදහස ලබා දුන්නේ මෙරට ත‍්‍රිවිධ හමුදාව බව, ඉහත කී අන්දමේ ද්වේෂ සහගත ප‍්‍රකාශ කරන මාවෙයි සේනාධිරාජලාට අමතක වූවාට කෘතගුණ දත් උතුරේ දෙමළ ජනතාව කිසිදා අමතක නොකරන බව අපට විශ්වාසය. එසේම මාවෙයි සේනාධිරාජා මෙහිදී පවසා ඇත්තේ තම පක්‍ෂය ඇතුළු දෙමළ ජාතික සන්ධානයට අයත් දේශපාලන පක්‍ෂ පසුගිය වකවානුව තුළ එල්. ටී. ටී. ඊ. සංවිධානය සමග අවබෝධයකින් සහ සහයෝගයෙන් කටයුතු කළ බවය.

ඒ අනුව එල්. ටී. ටී. ඊ. යේ මිනීමරු බෙදුම්වාදී ත‍්‍රස්තවාදය දෙමළ ජාතික සන්ධානයේ පූර්ණ අවබෝධය හා ආශිර්වාදය මත පෙරට ආ බව මාවෙයි සේනාධිරාජලා අද ප‍්‍රසිද්ධියේ පිළිගනිති. එසේම ඔවුන් අදද මෙසේ  බෙදුම්වාදී ත‍්‍රස්තවාදයට උඩගෙඩි දීම කනගාටුදායකය.

දෙමළ හා මුස්ලිම් ජනතාව වෙසෙන තම නිජබිමේ අනවශ්‍ය ලෙස හමුදා කඳවුරු පිහිටුවමින් තම ජනතාවගේ අයිතිවාසිකම් පැහැර ගැනීමට රජය කටයුතු කරන බවත් ඒ සඳහා චීනයේ සහයෝගය ලැබෙන බවත් මෙම මාධ්‍ය හමුවේදී සේනාධිරාජා මහතා පවසා ඇත.

චීනයද ඈඳා ගනිමින් මෙවැනි ප‍්‍රකාශ කිරීමට සේනාධිරාජලා කටයුතු කරන විට පෙනී යන්නේ ඔවුන් මෙසේ කටයුතු කරන්නේ, මෙරට එදා මෙන්ම අදත් බෙදා වෙන් කිරීමට අවශ්‍ය බටහිර අධිරාජ්‍යවාදයේ සහ ඉන්දියාවේ උවමනාවට බවය.

මේ මොහොතේ මාවෙයි සේනාධිරාජලාගේ බෙදුම්වාදී උවමනාවත් බටහිර අධිරාජ්‍යවාදයේ හා ඉන්දියාවේ බෙදුම්වාදී උවමනාවත් සමපාත වී ඇත. මෙවැනි පටු ජාතිවාදී ප‍්‍රකාශ, මෙරට ජාතික සමගිය වෙනුවෙන් කැප වී සිටින සිංහල, දෙමළ හා මුස්ලිම් සියලූ ජනයා විසින් දැඩි සේ ප‍්‍රතික්‍ෂෙප කළ යුතු බවද සඳහන් කරනු කැමැත්තෙමු.

May 31, 2013 at 4:54 pm | lanka C news

0 comments: