Pages

Monday, May 27, 2013

සේරුවිල-සෝමාවතිය යා කරන නව මාර්ගය විවෘත වූ මොහොත

ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීමත් ලලාට ධාතුන් වහන්සේ තැන්පත් කොට තිබෙන සේරුවිල චෛත්‍යයේ හා දකුණු දළදා වහන්සේ තැන්පත් කර තිබෙන බුදුරැස්‌ විහිදෙන සෝමාවතී චෛත්‍ය යාකෙරෙමින් ඉදිකරන ලද නව මාර්ගය (26 දා) ඊයේ ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදී. මෙයට සමගාමීව රුපියල් කෝටි 70 ක වියදමින් මහවැලි ගඟ හරහා ඉදිකරන ලද නව කන්දකාඩු පාලමද විවෘත කරන ලදී.

මෙම නව මාර්ගය ඉදිකිරීමට පෙර පොළොන්නරුව හබරණ කන්තලේ හරහා කිලෝමීටර් 200 පමණ දුරකින් තිබූ මෙම පූජා නගර දෙක කිලෝමීටර් 54 තරම් කෙටි දුරකට සීමාවී ඇත.

සේරුවිල ලෝක උරුම නගරයක්‌ ලෙසින් නම් කිරීමත් සමඟ හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතාගේ මැදිහත්වී මත මෙම පූජනීය ස්‌ථාන දෙක යා කෙරෙමින් මාර්ගයක්‌ ඉදිකිරීමට කටයුතු ආරම්භ කෙරුණ බැවින් මෙම මාර්ගය සරත් එන්. සිල්වා මාවත ලෙසින් නම් කර තිබේ. සේරුවිල රාජමහා විහාරාධිපති පූජ්‍ය සේරුවිල සරණකීර්ති නාහිමියන්ගේ අනුශාසනා පරිදි සේරුවිල ප්‍රාදේශීය ලේකම් අනුරුද්ධ පියදාස මහතා විසින් විශේෂ රථ පෙරහැරක්‌ සේරුවිල සිට සෝමාවතියට සූදානම් කර තිබිණි. එහිදී විශේෂ බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක්‌ද මෙම නව මාර්ගය ඔස්‌සේ වඩමා ගෙන ගොස්‌ සෝමවතී සෑ රදුන් අභියස තැන්පත් කරන ලදී. කන්දකාඩු, ත්‍රිකෝණ මඩු, මාවිල්ආරු ආදී මහවැලි පිටාර ජල ගැලුම් ප්‍රදේශ හරහා වැටී ඇති මෙම මාර්ගය විල්ලු සහිත රමණීය ස්‌වභාවික පරිසර පද්ධතිsයක්‌ ඇති ප්‍රදේශයක්‌ බැවින් සංචාරකයන්ට වඩාත් වැදගත් වනු ඇත. මෙම අවස්‌ථාවට අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන හිටපු අග විනිසුරු සරත් එන්. සිල්වා, නැගෙනහිර ආණ්‌ඩුකාර මොහාන් විඡේවික්‍රම, නැගෙනහිර මහ ඇමැති නජිබ් ඒ. මජිඩ්, නියෝජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත්, සේරුවිල ප්‍රාදේශීය සභා සභාපති නන්දන විඡේසිංහ මහතා ඇතුළු විශාල පිරිසක්‌ සහභාගි වූහ.

සේරුවිල - සුගත් විඡේකුමාර
http://www.divaina.com/2013/05/27/news13.html

0 comments: