Pages

Monday, May 13, 2013

අනුරපුර පූජා භූමියේදී දුර්ලභ ගණයේ පිංකම් මාලාවක්‌

ජයශ්‍රී මහා බෝ සමිඳුන් වෙත වටිනා මැණික්‌ ගල් එබ්බවූ රන් සහ රිදී පළඳනා දෙකක්‌ ස්‌වර්ණමාලී මහා සෑරදුන් වෙත බුද්ධ ප්‍රතිමා හයදහසක්‌, අටපිරිකර දස දහසක්‌ සහ කෝටි සංඛ්‍යාත සුවඳ මල්වර්ග පූජා කිරීමේ දුර්ලභ ගණයේ පිංකම් මාලාවක්‌ පෙරේදා (11දා) දහස්‌ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ සාධු හඬ මධ්‍යයේ පැවැත්විණි.

 අනුරාධපුර අටමස්‌ථානාධිපති, උතුරු මධ්‍යම දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස, ස්‌වර්ණමාලි චෛත්‍යාරාමාධිකාරි, නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පල්ලේගම හේමරතන යන නාහිමිවරුන්ගේ අනුශාසනා මත කොළඹ 07, ශ්‍රී සම්බෝධි විහාරාධිපති සහ බෞද්ධයා මාධ්‍ය ජාලයේ සභාපති දරණාගම කුසලධම්ම නාහිමියන්ගේ සංකල්පයක්‌ සහ මෙහෙයවීමෙන් විශේෂඥ වෛද්‍ය කමානී මායාදුන්න මහත්මිය ඇතුළු ශ්‍රී සම්බෝධි විහාරස්‌ථ සැදැහැති දායක දායිකාවන් විසින් සංවිධානය කළ මෙම දුර්ලභ පිංකම් මාලාව සියම් මහා නිකායේ අස්‌ගිරි විහාර පාර්ශ්වයේ මහානායක අග්ගමහා පණ්‌ඩිත අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්‌ත නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙරට ආරක්‍ෂා කිරීමට දිවිහිමියෙන් කැපවූ පෙර රජදරුවන් වන වීර දුටුගැමුණු, මහා විජයබා, වළගම්බා සහ මහ පැරකුම් ආදී රජවරුන් තරුණ වියෙහිදී තම සියලු සැප සම්පත් අතැර අනගාරික ජීවිතයට පත්ව ගමින් ගමට නගරයෙන් නගරයට ගමන් කරමින් දුසිරිතෙන් සහ මත්පැනින් ජනතාව බේරාගැනීමට අපරිමිත සේවාවක්‌ සිදුකරමින් බුද්ධගයාව බේරාගෙන සමස්‌ත ලෝකවාසීනට වන්දනා කිරීමට කටයුතු සළසා දුන් මතු බුදුවන ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන් ඇතුළු ජාති මාමක ෙත්‍රෙයිනිකායික මහා සංඝරත්නයට සියලු දෙනාට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ යන මහත්වරුන් මෙන්ම සියලු රණවිරුවන් ඇතුළු ලෝකවාසී ජනතාවට ආශිර්වාද කිරීම මෙම පිංකම් මාලාව පැවැත්වීමේ අරමුණ විය.

සම්බෝධි විහාරස්‌ථානය සහ බෞද්ධයා නාලිකාව මගින් දිවයිනේ පූජනීය ස්‌ථානයක්‌ මුල්කර ගනිමින් සංවිධානය කරනු ලබන පිංකම් මාලාවේ සහ ප්‍රජා සත්කාර සේවාවේ එක්‌ ව්‍යාපෘතියක්‌ ලෙස මෙය පැවැත්විණි.

ස්‌වර්ණමාලී මහ සෑයේ පේසා වළලු වටා කෝටි සංඛ්‍යාත ප්‍රමාණයක්‌ සුවඳ මල් අතුරා දස දහසකට අධික අටපිරිකර සහ හයදහසක්‌ පමණ වූ බුද්ධ ප්‍රතිමා ඇතුළු පරිශ්කාර පූජාව සහිත මහා ස්‌වර්ණමාලී අසදෘශ වන්දනාව පැවැත්විණි.

එම පූජාව ආරම්භ වීමත් සමඟ හෙළිකොප්ටර් යානයකින් උඩුගුවනේ සිට ස්‌වර්ණමාලී මහ සෑරදුන් වෙත සුවඳ මලින් පුෂ්පෝපහාර දක්‌වන ලදී.

මේ අතර ශ්‍රී සම්බෝධි විහාරස්‌ථානය සහ බෞද්ධයා නාලිකාව මගින් ආරම්භ කොට තිබෙන දරු දිරි ව්‍යාපෘතිය යටතේ දරුවන් තිදෙනකුට වැඩියෙන් සිටින සිංහල බෞද්ධ පවුල් නගා සිටුවීමේ වැඩපිළිවෙළට සමගාමීව ක්‍රියාත්මක මූල්‍යාධාර පිරිනැමීමේ වැඩසටහනක්‌ද මෙහිදී සිදුවිය.

ඒ අනුව අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයෙන් තෝරාගත් දිළිඳු පවුල් තුන් සියයකට රුපියල් පන්දහසක්‌ බැගින් මුදල් පරිත්‍යාග කිරීම සිදුකෙරිණි.

මෙම අවස්‌ථාවට ශ්‍යාමෝපාලී මහා නිකායේ මල්වතු විහාර පාර්ශ්වයේ අනුනායක රාජකීය පණ්‌ඩිත තිබ්බටුකුඹුරේ විමලධම්ම, අනුරාධපුර අටමස්‌ථානාධිපති, උතුරු මධ්‍යම දෙදිසාවේ ප්‍රධාන සංඝනායක පල්ලේගම සිරිනිවාස, ස්‌වර්ණමාලී චෛත්‍යාරාමාධිකාරි නුවරකලාවියේ ප්‍රධාන සංඝනායක පල්ලේගම හේමරතන, ශ්‍රී ලංකා භික්‍ෂු විශ්වවිද්‍යාලයේ මහෝපාධ්‍ය (උපකුලපති) වයඹ පළාතේ ප්‍රධාන සංඝනායක අග්ගමහා පණ්‌ඩිත මහාචාර්ය පූජ්‍ය තුඹුල්ලේ සීලක්‌ඛන්ධ, කෝට්‌ටේ ශ්‍රී නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත ශ්‍රී සම්බෝධි විහාරාධිපති දරණාගම කුසලධම්ම යන නාහිමිවරුන් ප්‍රධාන ෙත්‍රෙයිනිකායික මහා සංඝරත්නය, උතුරු මැද පළාත් ආණ්‌ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ, ඌව පළාත් ආණ්‌ඩුකාර වි.ජ.මු. ලොකු බණ්‌ඩාර, උතුරු මැද පළාත් ප්‍රධාන ඇමැති එස්‌. එම්. රංජිත් සමරකෝන්, ආර්ථික සංවර්ධන කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එස්‌. එම්. චන්ද්‍රසේන, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සත්‍යා හෙට්‌ටිගේ සහ නාවික හමුදාපති ජයනාත් කොළඹගේ යන මහත්වරුන් ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක්‌ සහභාගී වූහ.

අනුරාධපුර විශේෂ - පර්සි කුරුනේරු
http://www.divaina.com/2013/05/13/news03.html

0 comments: