Pages

Friday, May 24, 2013

බුදු දහම තරම් පීඩාවට ලක්‌වූ දර්ශනයක්‌ ලොව කිසි බිමෙක, කිසි විටක පහළ වී නැත - දිවයින කතුවැකිය

අද රැයෙහි නැගෙන පුන් සඳ අන් පුන් පොහෝ සඳ හා සමාන ය. එහෙත් අද නැගෙන පුන් සඳ අපට කියන කතාව අවුරුද්දේ සෙසු පුන් පොහෝ දිනවල නැඟුණ සඳ කියන කතාවට වෙනස්‌ ය. අද නැගෙන පුන් සඳ අපට කියන්නේ කරුණාව සහ මෛත්‍රිය පිළිබඳ කතාවයි. ආමිස පූජාව මෙන්ම ප්‍රතිපත්ති පූජාව පිළිබඳ කතාවයි. භාග්‍යවත් ගෞතමයාණන් වහන්සේගේ තෙමඟුල පිළිබඳ කතාවයි. මේ කතාව වසර දෙදහස්‌ පන්සියයකටත් වැඩි කලක්‌ තිස්‌සේ කියනු ලැබ කෝටි ප්‍රකෝටි ජනයා විසින් අසන ලද කතාවකි. බුදු තෙමඟුල යනු යහපත් ඇරඹුම, යහපත් පැවැත්ම සහ යහපත් ලෙස අත්හැරීම පිළිබඳ ව එතෙක්‌ මෙතෙක්‌ මනුෂ්‍ය වර්ගයා විසින් අසන ලද හොඳම කතාව ය. මෙයට අටසිය වසරකට පමණ පෙර මේ රට ථෙරවාදී බුදු දහමේ මස්‌ථකයෙහි පැවතියේ කෙසේ ද යත් බුරුමය, කාම්බෝජය යන රටවලට පිරිසිදු නිර්මල බුදු දහම ගෙන යන ලද්දේ මෙරටිනි. වසර එක්‌දහස්‌ දෙසිය ගණන්වලදී කාම්බෝජයේ රජ වූ හත්වැනි ජයවර්මන් රජු මහායාන බෞද්ධයකු ලෙස සිය ජීවිතය පටන් ගත් නමුදු පසුව ථෙරවාදී බුදුදහම ගැන පැහැදී සිය පුත්‍රයා ශ්‍රී ලංකාවට එවනු ලැබේ. ඔහු මෙහි පැවිදිව, පසුව උපසම්පදාව ද ලැබ වසර දහයක්‌ මෙහිම ගත කර ධර්ම ග්‍රන්ථ රැසක්‌ ද රැගෙන සිය මවු රට බලා ගමන් ආරම්භ කරනු ලැබේ. එහෙත් ඉන් වසර හය හත්සියයකට පසු, විදේශීය ආක්‍රමණවල ප්‍රතිඵලයක්‌ වශයෙන් මේ රටේ භික්‍ෂු ශාසනය පරිහානියට පත්වීම නිසා බුරුමයට ගොස්‌ නිර්මල ථෙරවාදී බුදුදහම රැගෙන විත්, දිගු කලක්‌ තිස්‌සේ ගණින්නාන්සෙලා හැටියට කටයුතු කළ දුශ්ශීල භික්‍ෂුන් සිවුරු හරවා, නව සඟ පරපුරක්‌ ස්‌ථාපනය කර උපසම්පදා කිරීමට අපට සිදු වෙයි. මේ රටේ බුදු දහමේ ඉතිහාසය දන්නා හැම බොදුනුවකුටම අද පායන පුන් සඳ දැක්‌මෙන් වසර දෙදහස්‌ පන්සියයක්‌ පැරණි ඒ කතන්දර සිහිපත් කරගත හැකිය.

බුදු දහම තරම් පීඩාවට ලක්‌වූ දර්ශනයක්‌ ලොව කිසි බිමෙක, කිසි විටක පහළ වී නැත. මුලින් ම අපේ ආගමට හානි කළෝ සොලීහුය. උන් මෙහි කඩා පැන බෞද්ධ භික්‍ෂුන් වහන්සේලා වැඩ විසූ විහාරාරාම ගිනි තබා, නිධන් වස්‌තු කොල්ලකා භික්‍ෂුන් වහන්සේලා ඝාතනය කළහ. මුහුදු බඩ තීරයේ ජනගහනයෙන් වැඩි පිරිසක්‌ බලහත්කාරයෙන් සිය සමයට හරවා ගන්නා ලදී. එයට එකඟ නොවූ බොදුනුවන්ට දස වධ දී මරණ ලදී. රටදැය සමයට මුල්තැන යයි කල්පනා කළෝ මරණය සතුටින් පිළිගත්හ. පණ තිබේ නම් කොහොමත් එක යෑයි කල්පනා කළෝ මිථ්‍යා දෘෂ්ටීන් පිළිගත්හ. ඉංග්‍රීරිසින් කඳු රට අල්ලා ගත් පසු යළිත් වරක්‌ බෞද්ධ සංහාරය ඇරඹිණ. එහෙත් පෘතුගිසීන් හා ලන්දේසින්ගෙන් පාඩමක්‌ ගෙන සිටි ඉංග්‍රීසිහු එය කරන්නේ එළිපිට නොවේ. ඔවුහු මුලින්ම පන්සල සමග මිතුරු වෙති. අනතුරුව ඒ තුළට කි¹ බසිති. ඊළඟට එය මරා දමති. ඉංග්‍රීසින්ගේ බෞද්ධ සංහාරය ඔවුන් හැඳි ගෑරුප්පුවලින් කෑම කෑ පරිදි ඉතාම පිළිවෙළට කෙරුණකි. ඔවුහු සිංහලයන්ට ඉංග්‍රීසි උගන්වා එම බස සමග ලොකු සබඳකමක්‌ ඇති කිතු දහමට ඉබේටම ඇතුළු වීමට සිංහලයන්ට මග විවර කළහ. විලි වසා ගැනීමට කොළ අතු පමණක්‌ ඇති තැන ඉන් එහා යමක්‌ අඳින්නට නොහැක. තමන්ට උරුම ජාතික ආගම නැති තැන බලෙන් පැටවුණු ආගමක්‌ වැලඳ ගන්නට ඔවුනට සිදු විය.

මේ උතුම් වෙසක්‌ පෝ දිනයේදී දහම් කරුණු සාකච්ඡා නොකර අපේ ආගමට වූ විපත ගැන කීම අපේ පාඨකයන් සාධාරණ කෝණයකින් දකිනු ඇති බව අපගේ විශ්වාසයයි. පන්සිල්, අටසිල්, දස සිල් ගැන හැමදාමත් කතා කෙරෙයි. එහෙත් බුදු දහම පද්මයක්‌ මෙන් යළි පුබුදුවාලිය හැකි, පුබුදුවාලිය යුතු වස්‌තුවක්‌ බව කල්පනා නොකෙරෙයි. අපගේ මේ වචන පෙළ ඒ කල්පනාවට දොර විවර කිරීමක්‌ වේවා!

වෙසක්‌ සඳ! - දිවයින කතුවැකිය
http://www.divaina.com/2013/05/24/editor.html

3 comments:

Anonymous said...

Itamath watina lipiyak.

Anonymous said...

Apage itihasaya wada wadath apage mathu parapurata dayada kala yutui.

Amila Chathuranga said...

සාසනය රැකේවා ...ඒත් මිනිස්සුන්ගේ මනස නම් සංවර්දනේ වෙන පාටක් නැහැ..