Pages

Monday, October 28, 2013

පැකර්, ආණ්‌ඩුව සහ කැසිනෝ

රටේ ජනතාවට පසුගිය දිනවල සියලු ප්‍රශ්න අමතක කර සිතන්නට තිබූ අර්බුදයක්‌ විය. ඒ කොළඹ තැනෙන්නට නියමිතව තිබෙන්නේ හෝටල් ද - කැසිනෝ හල්ද යන්නයි. ඒ තරමට පරස්‌පර ප්‍රකාශයන් ඊට මුල්ව කටයුතු කරන පිරිසගෙන් ප්‍රකාශයට පත්විණි.

කොටින්ම ආණ්‌ඩුව මේ සම්බන්ධයෙන් ගෙන ගිය ක්‍රියා පිළිවෙතද සැක සංකා මතුකරවන්නක්‌ විය. විශේෂයෙන් කැසිනෝ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද දිනයේ විපක්‍ෂයට එය ලබාදීමට පවා ආණ්‌ඩුව කටයුතු කළේ නැත.

මේ සම්බන්ධයෙන් මතුව ආ විරෝධතාවයේදී, ආණ්‌ඩුව එය සාධාරණීකරණය කිරීමට සඳහන් කළ කාරණා කිහිපයක්‌ විය. එයින් ප්‍රමුඛතම කාරණය වූයේ, මේ හැදෙන්නේ කැසිනෝ නොව හෝටල් සංකීර්ණයක්‌ බවයි. එහෙත් ඒ තුළ බලපත්‍ර ඇති අයකුට කැසිනෝහල් පවත්වාගෙන යාමේ බාධාවක්‌ නොමැති බවයි. මුලින්ම ඩී. ආර්. විඡේවර්ධන මාවතේ කැසිනෝ (හෝටල් සංකීර්ණය?) ඉදිකිරීමට නියමිතව සිටියේ ලොව ප්‍රකට සූදුකරුවකු වන ඡේම්ස්‌ පැකර්ය. ප්‍රමුඛ පෙළේ කැසිනෝ ව්‍යාපාර ගණනාවකට ඔහු හිමිකම් කියන අතර එවැනිම ව්‍යාපාර ගණනාවක කොටස්‌ කරුවෙකුද වෙයි. පැකර් මේ රටට පැමිණෙන විට " හෝටල් සංකීර්ණයක" හිමිකරුවකු පමණක්‌ වූ අතර, එම හෝටල් සංකීර්ණයේ කැසිනෝ ව්‍යාපාරය ආරම්භ කිරීමට නියමිතව සිටියේ මෙරට "කැසිනෝ "සඳහා බලපත්‍ර ලාභියකු බව කියන රවී විඡේරත්නය.

කෙසේ හෝ රවීගේ බලපත්‍ර කතාව කොම්පඤ්ඤ වීදියේ ඉදිකිරීමට නියමිත කැසිනෝ? (හෝටල් සංකීර්ණයට?) බලපාන්නේ කවරාකාරයටද යන්න විමසා බැලිය යුත්තකි.

මෙතරම් කැසිනෝ විරෝධයක්‌ පැන නැගෙන්නේ කවර හේතුවක්‌ නිසා දැයි යන්න ආණ්‌ඩුව මේ වනතෙක්‌ සොයා බැලූ වගක්‌ හෝ පෙනෙන්නට නැත. ආණ්‌ඩුවේ ඕනෑම දෙයකට " හොඳයි" කියන්නවත් විපක්‍ෂයටත්, කඩාකප්පල්කාරී දේශෙද්‍රdaහීන්ට දුවන්න ගහන්නට බලා සිටින ඇමැති රංචුවක්‌ නිතර දෙවේලේ මාධ්‍යවලට ප්‍රකාශ නිතුත් කරන්නේ, මෙය ඉතා හොඳ ආයෝජන ක්‍රියාවලියක්‌ පමණක්‌ බවය.

විශේෂයෙන්, මේ ගැන ඇත්තම කියන්නට ආණ්‌ඩුව බියවන්නේ ඇයි.? තමන් මෙතෙක්‌ රටට පෙන්වූ දේශප්‍රේමිත්වය, සංස්‌කෘතික උරුමය රැකීමේ ක්‍රියාවලිය අවප්‍රමාණ වේ යෑයි සැකය නිසාද යන්න පැහැදිලි පසුබිමක්‌ නැත. "කැසිනෝ" ගැන වැඩි වශයෙන්ම බොරු කීවේ ආයෝජන ප්‍රවර්ධන ඇමැති ලක්‍ෂ්මන් යාපා අබේවර්ධනය. කැසිනෝ හොඳ යෑයි කියන ආණ්‌ඩුවත් ලක්‌ෂ්මන් යාපා ඇමැතිවරයාත් ඊට හේතු දක්‌වන සෙසු ඇමැති නඩයත් එසේ "හොඳ" යෑයි කියන්නට සාධනීය හේතු ඉදිරිපත් කරන්නට පෙරට එන්නේ නැත. නිරන්තරයෙන් ඒ සියලු දෙනා කියන්නේ මෙය හෝටල් ව්‍යාපෘතියක්‌ පමණක්‌ බවය. ලක්‍ෂ්මන් යාපා ඇමැතිවරයා පවසන ආකාරයට ආණ්‌ඩුව කිසි විටෙකත් කැසිනෝ සූදුවකට බලපත්‍ර නිකුත් කරන්නේ නැත. අමාත්‍යවරයා ඡේම්ස්‌ පැකර් පිළිගන්නේ හෝටල් ව්‍යාපෘතියක්‌ සඳහාය. එහෙත් සුපිරි කාමර, සම්මන්ත්‍රණ ශාලා සහිත "උපායමාර්ගික සංවර්ධන ව්‍යාපාරයක්‌ ලෙස මේ ගෙන එන්නට තැත් කරන්නේ කැසිනෝමය. හෙළ උරුමය පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල ද එය අර්ථ දක්‌වන්නේ උපාය මාර්ගික අයිසින් තවරාගෙන එන කැසිනෝ යනුවෙනි.

කැසිනෝ නරක නැත කියන්නට කැසකවන බොහෝ දෙනෙක්‌ගේ ජප මන්තරය තුළ "සිංගප්පූරුව" ගැන නිරන්තරයෙන් සඳහන් වන්නේය. සිංගප්පූරුව කැසිනෝ නියමාකාරයෙන් පවත්වාගෙන යන්නේය, එය දැඩි නීති රීති පද්ධතියකට යටත්ව සිදුවන්නේය යන්නය. එහෙත් මුල් වටයේදී එරට හිටපු අගමැති ලී ක්‌වාන් යූ කැසිනෝ ප්‍රතික්‌ෂේප කළ අයෙකි. පසුකාලීනව එය ආරම්භ කිරීම කවරක්‌ වුවද ලී ක්‌වාන් යුගේ ප්‍රතිපත්ති අනුව රටේ ආර්ථික සංවර්ධනය උදෙසා "කැසිනෝ" අවශ්‍ය නොවේ යෑයි යන ප්‍රතිපත්තියක ඔහු සිsටි බවට සැකයක්‌ නැත. මේ රටේ කැසිනෝ සඳහා විරෝධය දක්‌වන වැඩි දෙනෙක්‌ ඊට විරුද්ධ වන්නේ එය යහපත් ආයෝජනයක්‌ බවට පරිවර්තනය කර ගැනීමේ නොහැකියාව නිසාම නොවේ. දේශප්‍රේමය, සංස්‌කෘතිය, සිංහලකම, බෞද්ධකම ඉහළින්ම ආරක්‍ෂා වේ යෑයි සලකන පසුබිමක ස්‌ත්‍රී දූෂණ, මංකොල්ලකෑම්, ගණිකා ව්‍යාප්තිය, විවිධ කාම අපරාධ, මත්ද්‍රව්‍ය භාවිතය වැනි දේ ගැන ඇඟකිලිපොලා යන "නිව්ස්‌" පිටු ගණන් පළ වන මොහොතක "කැසිනෝ" පටන් ගත්තොත් කොතැනින් නතරවේද යන්න තේරුම් ගත නොහැකි නිසාය. කැසිනෝ සංස්‌කෘතිය තුළ අපේ රටේ අදටත් ගණිකා වෘත්තිය (විදෙස්‌ ගණිකාවන් රුසියානු, චීන, තායි), මත්ද්‍රව්‍ය භාවිතය, ලේ වැගිරෙන ගැටුම්, මිනීමැරුම් බහුලය. එය එසේ නොවේ යෑයි කියන්නට හැක්‌කේ "පිටරටත් ගොස්‌ කැසිනෝ ගැසුවා" යෑයි කිව හැකි දේශපාලන නඩයකට පමණි. 

මේ රටේ ජනතාවගෙන් බහුතරයක්‌ අතීත කාලයක, රේස්‌ කොළයට පවා විරෝධය දැක්‌වූ බව නොරහසකි. එහෙව් "දේශප්‍රේමී" ජනතාවක්‌ නිහඬව මේ අර්බුදය තෝරා බේරා ගන්නට නොහැකිව සිටියදී, ඊට එරෙහිව පළමු හඬ අවදි කළේ දඹර අමිල හිමිය. ඉන්පසුව කැසිනෝවලට බදු සහන නිකුත් කිරීමේ ගැසට්‌ පත්‍රයට එරෙහිව සර්ව ආගමික සමුළුවේ අදහස ප්‍රකාශ කිරීමේ මාධ්‍ය හමුවක්‌ ද පැවැත්විණි. මෙම මාධ්‍ය හමුවේදී සියලුම ආගමික නායකයෝ කොළඹ නගරය කේන්ද්‍රකර ගනිමින් කැසිනෝ හල් ඉදිකිරීමට විරුද්ධ වන බව පැවසූහ.

පසුගියදා පාර්ලිමේන්තුවේදී සුපිsරි හෝටල් දෙක ඉදිකිරීමට යෝජිත ගැසට්‌ පත්‍ර දෙක පාර්ලිමේන්තු, න්‍යාය පත්‍රයෙන් ද ඉල්ලා අස්‌ කර ගැනීමට ලක්‍ෂ්මන් යාපා ඇමැතිවරයා කටයුතු කළේ මේ කතාබහ ඉස්‌මතු වන මොහොතකය. එහෙත් ජාතික හෙළ උරුමයේ නීති උපදේශක, පළාත් සභා අමාත්‍ය උදය ගම්මන්පිල පවසන්නේ ගැසට්‌ පත්‍ර ඉවත්කර ගත්තද නෛතිකව ඒ සඳහා ඇති අනතුරුදායක තත්ත්වය පහව ගොස්‌ නැති බවයි. 2007 ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනතේ විධිවිධාන යටතේ මේ සඳහා ගැසට්‌ නිවේදන ලබන දෙසැම්බර් මස 23 වැනිදාට පෙර යළිත් ඉදිරිපත් කිරීමට නීතියෙන් ඉඩකඩ ඇති බවද හෙතෙම කියන්නේය. එමෙන්ම ඔහු වැදගත් කාරණයක්‌ අවධාරණය කරන්නේය.

"ඡේම්ස්‌ පැකර්" ජාත්‍යන්තරව රටට බලපෑම් කරමින් රටේ තීන්දු තීරණ වෙනස්‌ කිරීමට තරම් පුද්ගලයෙක්‌ නිසා ඒ ගැන අවධානය යොමු කළ යුතුයි."

රටේ බොහෝ දෙනෙක්‌ "කැසිනෝ" සඳහා විරුද්ධ වෙන හේතුවත් ඒ "අනතුරම" බව යළි යළිත් සිහිපත් කරමු.

උදේශ සංජීව ගමගේ 
http://www.divaina.com/2013/10/27/feature12.html

0 comments: