Pages

Saturday, October 19, 2013

නොබෙල් ත්‍යාගයට පුටින් සුදුසුයි - බි‍්‍රතාන්‍ය සාමි මන්ත‍්‍රී

බි‍්‍රතාන්‍ය සාමි මන්ත‍්‍රී මණ්ඩලයේ සාමාජිකයකු වන පීටර් ටෘස්කොට් සාමිවරයා විසින් නොබෙල් සාම ත්‍යාගය සඳහා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ නම යෝජනා කර තිබේ.

ඔහු පවසා ඇත්තේ සිරියානු අර්බුදයේදී රුසියානු ජනාධිපතිවරයාගේ මැදිහත්වීම හරහා දහස් ගණනක් ජීවිත ආරක්ෂා වූ බවයි.  එසේම එය අනෙක් අර්බුදවලට විසඳුම් සෙවීමේදී නව ආදර්ශයක් ලබාදී ඇති බව සාමිවරයාගේ අදහසයි.

මෙවර නොබෙල් සාම ත්‍යාගය ජාත්‍යන්තර රසායනික අවිහරණ සංවිධානය වෙත පිරිනැමුණු අතර එය බොහෝ දෙනෙකුගේ විමතියට හේතු විය.

ශීතල යුද්ධයේ සිට පසෙකට තල්ලූවී සිටි රුසියාව ජාත්‍යන්තර දේශපාලනයේ කේන්ද්‍රයට පැමිණෙමින් සිදුකළ ධනාත්මක මැදිහත්වීම අගය කිරීමක් ලෙස පුටින් වෙත නොබෙල් ත්‍යාගය පිරිනැමිය යුතු බව ටෘස්කොට් සාමිවරයා පවසා තිබේ.

පසුගිය අගෝස්තු 21දා දමස්කස් ආසන්න ප‍්‍රදේශයකට එල්ලවූ රසායනික අවි ප‍්‍රහාරයෙන් දහස් ගණනක් මියගිය අතර තහවුරු කිරීමට සාක්ෂි නොවූවද එය සිදුකර ඇත්තේ අසාද් රෙජිමය විසින් බව බහුතරයක් රටවල් වල පිළිගැනීමට ලක්විය.

එහිදී 2009 වසරේ නොබෙල් සාම ත්‍යාගලාභියා වන ඇමරිකානු ජනාධිපති බරැක් ඔබාමා සිරියාවට එරෙහි ප‍්‍රහාරයකට සූදානම්වූ අතර පසුව රුසියාවේ මැදිහත්වීම මත රසායනික අවි විනාශ කිරීමේ වැඩපිළිවෙළකට සිරියාවේත් ජාත්‍යන්තර ප‍්‍රජාවගේත් කැමැත්ත පළ විය.

http://lankacnews.com/sinhala/foreign-news/102920/

0 comments: