Pages

Monday, October 28, 2013

දූෂණ, අක්‍රමිකතා සහ කප්පමට යටවූ ස්‌වයං රැකියා නියුක්‌තිකයන්ගේ සම්මේලනය

පිටකොටුව හැඩ වෙන්නේය. හරිම ලස්‌සනට විචිත්‍රවත් වන්නේය. පිටකොටුව මග දෙපස තිබුණු පෙට්‌ටි කඩවලට වුණු දෙයක්‌ නැත. බැස්‌ටියන් මාවතේ බේරෙ වැව් තාවුල්ලේ දැළි බැඳුණු, ඉඳුල් ගලා ගිය කඩ පේලී අද නැත. ඒ වෙනුවට වැව් දිය මත සේම අවට සුන්දර වටා පිටාවක්‌ නිර්මාණය වෙමින් තිබේ. zපිටකොටුව පේමන්ට්‌ වෙළෙ¹මටZ තහංචි වැටුණු නිසා දැන් මිනිසුන්ට නිදහසේ පේමන්ට්‌ දිගේ ගමන් කළ හැකිය. එමෙන්ම වෙළෙඳසල් එක තැනකට එකතුවීමෙන් පාරිභෝගිකයන්ට ඉතාම පහසුවෙන් තම අවශ්‍යතා ඉටු කරගැනීමට ද හැකිය. එහෙයින් මේ නව නගර සැලසුම් වැඩපිළිවෙළ එක සිතින්ම අපි අගය කරමු.

එහෙත් පේමන්ට්‌ එකේ වෙළෙ¹ම් ලෑල්ලක්‌ හෝ එදාවේල බක්‌කියක්‌ අටවාගෙන සිටි වෙළෙඳුන්ට නම් මේ නව නගර සැලසුම්කරණය ගිලටීයනක්‌ වී ඇත. මන්ද කොළඹ අලුත් කිරීමට ඉවත් කළ පදික වෙළෙඳුන්ට ආණ්‌ඩුව අලුතින් කඩ කාමර ඉදිකර බෙදා දී තිබුණද, ආණ්‌ඩුව සහ පේමන්ට්‌කාරයන් අතර අතරමැදියෙක්‌ වූ පිටකොටුව ස්‌වයං රැකියා සම්මේලනය මේ කටයුත්ත හරි හැටි ඉටු කර නැත. පිටකොටුව ස්‌වයං රැකියා සම්මේලනයේ නිලධාරීන්ගේ අකටයුතුකම් නිසා දැන් පිටකොටුවේ පදික වෙළෙඳුන් විශාල පිරිසක්‌ පාරට වැටී සිටිති. රජය පිටකොටුව පදික වෙළෙඳුන්ට නොමිලේ බෙදා දුන් අලුත් කඩ විකුණාගෙන කෑ හැටි සේම, පිටකොටුව පේමන්ට්‌ එකේ සිඟා කන සිඟන්නාගෙනුත් ගසාගෙන කන තුච්ච හොරෙකු ගැන දැන් පේමන්ට්‌ එක අහිමි වෙළඳුන් රටට හෙළි කරති.

පිටකොටුව පදික වෙළෙඳුන් කිහිපදෙනකුගේ එකමුතුවෙන් 2006 වසරේ ප්‍රථම වරට පදික වෙළෙඳ සංගමයක්‌ පිහිටුවා ගත්හ. කෙමෙන් පොහොසත් වූ පිටකොටුව පදික වෙළෙඳුන්ගේ සංගමය සහ බොරැල්ල, නුගේගොඩ පදික වෙළෙඳ සංගම්වල එකමුතුවෙන් ස්‌වයං රැකියා නියුක්‌තිකයන්ගේ සම්මේලනය පිහිටුවා ගත්හ. අද වන විට ශ්‍රී ලංකා ස්‌වයං රැකියා නියුක්‌තිකයන්ගේ සම්මේලනයේ සාමාජිකයන් විසි දහසක්‌ පමණ සිටිති. එමෙන්ම මෙම සංගමයේ ආරම්භයේ සිට අද දක්‌වා සභාපති ලෙස කටයුතු කරන්නේ කොම්පඤaඤවීදියේ උපත ලද කිරිවත්තුඩුවේ පදිංචිව සිටින කොළඹ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකි. අලුත් වන කොළඹ පදික වෙළෙඳුන්ට ආණ්‌ඩුව ඉදිකර දුන් නව වෙළෙඳසල් බෙදාදීමේ වගකීම පැවරුණේ ද ස්‌වයං රැකියා නියුක්‌තිකයන්ගේ සම්මේලනයටය.

පිටකොටුව පදික වේදිකාවෙන් එළියට විසි වුණු පදික වෙළෙඳුන්ගේ සංඛ්‍යාව 1850 කි. ඔවුන් වෙනුවෙන් ආණ්‌ඩුව පිටකොටුව බෝධිරාජ මාවතේ, අඩි සීයය පාරේ සහ ගෑස්‌පහ ඉදිරිපිට කඩ කාමරය 1350 ක වෙළෙඳ සංකීර්ණ තුනක්‌ ඉදිකර ඇත. එම කඩ කාමරවලින් පාරට වැටුණු පිටකොටුව වෙළෙඳුන්ට ලැබී ඇත්තේ කඩ කාමර 350 ක්‌ පමණි. ඉතිරි කඩ කාමර දහසට සිදු වූයේ කුමක්‌ද?

" හොරු අරන්. ස්‌වයං රැකියා නියුක්‌තිකයන්ගේ සම්මේලනයේ සභාපති වෙනත් අයගේ නම්වලට කඩ කාමර 40 ක්‌ විතර අරගෙන තියෙනවා. තව කඩ කාමර ටිකක්‌ එයාගේ ඥතීන්ට, හිතවතුන්ට, ඔහුට ආරක්‍ෂාව සපයන පොලිස්‌ නිලධාරීන්ට බෙදා දීලා තියෙනවා. අනිත් කඩ කාමර ටික වෙනත් දේශපාලනඥයන්, ස්‌වයං රැකියා නියුක්‌තිකයන්ගේ සංගමයේ සෙසු නිලධාරීන් බෙදාගන තිබෙනවා. 

මම මේ ස්‌වයං රැකියා නියුක්‌තිකයන්ගේ සම්මේලනයේ ආරම්භක සමාජිකයෙක්‌. තනතුරු තුනක්‌ දරපු නිලධාරියෙක්‌. ඒ හැම තනතුරක්‌ම අහකට දලා දැන් මම ඒ හොර ගුලෙන් ඉවත් වෙලයි ඉන්නේ"

ඒ කතා කළේ ස්‌වයං රැකියා නියුක්‌තිකයන්ගේ සම්මේලනයේ හිටපු භාණ්‌ඩාගාරිකවරයෙකි. සභාපතිගේ හොරකම්වලට එරෙහිව කතා කරන්නට ගොස්‌ අම්බානකට ගුටි කෑ වෙළෙඳ ව්‍යාපාරිකයෙකි. මැරයන් පහරදුන් බව කියා කුරුඳුවත්ත පොලිසියේ පැමිණිලි කළද තවමත් විභාගයක්‌ නැති අසරණයෙකි. මොහු පේමන්ට්‌ එක අහිමි සුනිල් ජයවර්ධනය. සුනිල් නැවත පිටකොටුවේ හොරකම් ගැන මෙසේ විස්‌තර කරන්නට විය.

අපි මේ සංගමය පටන් ගත්තේ ලොකු බලාපොරොත්තුවකින්. සංගමයට පත් කර ගත්ත සභාපතිගේ චරිත සහතික ගැන එදා අපි බැලුවේ නැහැ. එතකොට අපිට ඕන වෙලා තිබුණේ සංගමයට නායකත්වයක්‌. එදා අපි පත් කර ගත්ත සභාපති දුප්පත් මිනිස්‌සුන්ගේ දහඩිය මහන්සියෙන් උපයාගන්න රුපියලත් හොරා කන අශික්‌ත හොරෙක්‌ කියලා දැනගත්තේ අවුරුදු දෙකක්‌ විතර ගියාට පස්‌සෙයි. එතකොට මුළු ලංකාව පුරාම ශාඛා සමිති හදලා විශාල පිරිස්‌ බලයක්‌ අපි වටා එක්‌රොක්‌වෙලා සිටියා. ඒ දුප්පත් වෙළෙඳුන්ගේ රුපියල් ශතවලින් ගොඩනැඟු මේ සංවිධානයේ සියලු වරප්‍රසාද භුක්‌ති විඳින්නේ සංගමේ සභාපති සහ සෙසු නිලධාරීන්. 

සංගමයේ සියලු සේසතම හොරා කනවා. ඒ මදිවට ඥතී මිත්‍රාදීන්ට කන්න දෙනවා. පිටකොටුවේ අලුත් කඩ කාමර මහරගම දත් දොස්‌තර කෙනෙකුටත් දීලා තියෙනවා. මාතර ජුලම්පිටියේ අමරෙටත් පිටකොටුවේ කඩ කාමරයක්‌ වෙන් වෙලා තියෙනවා. පිටකොටුව පොලිසියේ නිලධාරීන් කීපදෙනකුටම අලුත් කඩ කාමර වෙන් වෙලා තියෙනවා. මේ පිටකොටුවේ පදික වෙළෙඳාම් කරපු අයද?

එක වෙළෙඳ සංකීර්ණයක එක කඩයකින් මාසෙකට රුපියල් 1000 ක්‌ එකතු කරනවා. ඒ වෙළෙඳ සංකීර්ණයේ කඩ කාමර 104 ක්‌ තියෙනවා. එතකොට මාසෙකට එන මුදල කීයද? 

බෝධිරාජ මාවතේ වෙළෙඳ සංකීර්ණයේ කඩ කාමර 289 ක්‌ තියෙනවා. ඒ හැම කඩේකින්ම දිනකට බලහත්කාරයෙන් රුපියල් 100 ක්‌ එකතු කරනවා. ගෑස්‌පහ කඩ 534, අඩි සීය පාරෙ කඩ කාමර 468 න් හැම කඩේකින්ම මාසෙකට රුපියල් 4000 ක්‌ අය කරනවා. මේ සල්ලිවලට මොකද වෙන්න...

අපි සංවිධානයක්‌ විදිහට µSනෑන්ස්‌ ආයතන එක්‌ක කතා කරලා ස්‌වයං රැකියා කරන්න කියලා සාමාජිකයන්ට ඩිමෝ බට්‌ටා ලොරි රථ අරන් දුන්නා. ඒ ගත්ත හැම ඩිමෝ බට්‌ටෙක්‌ගෙන්ම සංගමයට 3% ක කොමිස්‌ මුදලක්‌ ආවා. ඒ මුදල ගෙඩිය පිටින් සභාපති ගත්තා. ඊට අමතරව සාමාජිකයාට ලොරි රථය දෙනකොටත් මේ මිනිහා තව රුපියල් 10000 ක්‌ අරගෙන. සංගමයෙන් බෙදා දුන්න හැම ත්‍රිරෝද රථයකින්මත් රුපියල් 10000 ක්‌ අරගෙන... මේ එකතු කරන මුදල්වලට මොකද වෙන්නේ කියලා කවුරුහරි ප්‍රශ්න කළොත් කියන්නේ සමිතියේ මුදල් තියෙනවා කියනවා. ඒත් සංගමයේ ඇති පිච්චියක්‌ නැහැ. සංගමය සම්පූර්ණයෙන්ම කාලා ඉවරයි.

අද මේ සංවිධානය ලංකාවේ සමෘද්ධි ව්‍යාපාරයට වඩා ප්‍රබල සංවිධානයක්‌. නමුත් මේ සංවිධානයේ සභාපති සහ සෙසු නිලධාරීන් මේක විනාශ කරලා තියෙන්නේ. මේ හොර සභාපති හැම හොරකමක්‌ම කරන්නේ ජනාධිපතිතුමාව, බැසිල් මහත්තයාව, ආරක්‍ෂක ලේකම්තුමාව විකුණලා. ඒත් අපි මේ මිනිහා කරන හොර ජඩකම්වලට ඇඟිල්ල දික්‌ කරන්නේ පොලිස්‌පතිතුමාට. මොකද අපි කීප වතාවක්‌ම මේ හොරකම් ගැන ලිතව පොලිස්‌පතිතුමාට දැනුම්දීලා තියෙනවා. කොටුව පොලිසියට පැමිණිලි කරලා තියෙනවා. ඒත් තවම විභාගයක්‌ නැහැ. මේක තමයි ඇත්ත..."

සුනිල්ගේ කතාව අවසානය. සුනිල් සේම ස්‌වයං රැකියා නියුක්‌තිකයන්ගේ සම්මේලනයේ නිලතල දැරූ සාමාජිකාවක්‌ නැවත කතාව පටන් ගත්තාය. ඇය එන්. ස්‌වර්ණලතාය. පිටකොටුව බෝගහ යට පළතුරු ලෑල්ල අහිමි කර ගත් ඇය දැන් විසිතුරු භාණ්‌ඩ විකුණන්නීය.

"වාසුදේව නානායක්‌කාර මහත්තයත් එක්‌ක එකතු වෙලා අපි තමයි පිටකොටුවේ මුලින්ම පදික වෙළෙඳ සංගමයක්‌ පිහිටුවා ගත්තේ. ඒ සංගමයේ ලේකම් විදිහට කටයුතු කළේ මමයි. අන්න ඒ සංවිධානය තමයි පස්‌සේ ලොකු වෙලා ස්‌වයං රැකියා නියුක්‌තිකයන්ගේ සම්මේලනය බවට පත් වුණේ. දැන් සංගමයේ ජාතකය ගැන කතා කරලා වැඩක්‌ නැහැ. අපි අහන්නේ රුපියලක්‌ අතේ නැතිව අපෙන් රුපියල ඉල්ලගෙන හිටපු මේ සංවිධානයේ සභාපති අද කෝටිපතියෙක්‌ වෙලා ඉන්නේ කොහොමද කියලයි.

පදිකයෙක්‌ විදිහට පේමන්ට්‌ එකේ බිස්‌නස්‌ කරලා, පදික වේදිකාවෙන්ම පොරක්‌ වෙලා, අපේ කර මතින්ම නාගරික මන්ත්‍රීකෙනෙක්‌ වුණා. ඒකට අපි ඊර්ෂියා කරන්නේ නැහැ. ඒක එයාගේ දක්‍ෂතාව. ඒත් අපේ සහෝදරයන්ගේ පිච්චිය සූරගෙන කන එක ගැන අපිට දුකයි. 

හැම තැනම කඩ කාමර, හැම කඩයකින්ම කප්පම් ගන්නවා. ආණ්‌ඩුව මේ මිනිහා සල්ලි හොයන විදිහ ගැන හොයන්නේ නැහැ. මේ හොරා කෑම බලාගෙන ඉන්න බැරිම තැන අපි ඔය සංගමයෙන් ඉවත් වුණා. දැන් අපි සමස්‌ත පදික වෙළෙඳුන් වෙනුවෙන් කතා කරනවා. හෙට අපිව මරයි. ඉස්‌සරත් ඔය සභාපතිගේ හොරකම් ගැන එළිපිට කතා කරපු අපේ සහෝදරයන්ට මැරයෝ දලා ගැස්‌සුවා. සාධාරණය වෙනුවෙන් කතා කරලා අපි මැරෙන්න බය නැහැ.

අපි කියන්නේ මේ අහිංසක මිනිස්‌සු කුණු දූවිලිත් එක්‌ක සටන් කරලා හම්බ කරගත් සල්ලි, බස්‌ එකේ සින්දු කියලා, පාරේ හිඟා කාලා, ඇඟ විකුණලා හම්බ කරගත් මුදල් බලහත්කාරයෙන් එකතු කරගෙන කෝටිපතියන් වෙලා ඉන්න මේ දේශපාලන හොරු ගැන හොයා බලන්න කියලයි. අද මේ සභාපති කියනවා ආණ්‌ඩුව තියාගන්නත් පුළුවන් ගෙදර යවන්නත් පුළුවන් කියලා. පිච්චිය නැතිව හිටිය මේ මිනිහට මෙච්චර බලයක්‌ ආවේ කොහෙන්ද? ජනාධිපතිතුමාට බොරු මවාපෑම් කරලා ජනතා බලයක්‌ පෙන්නගෙන ඉන්නවා. අපි දන්නවා දැන් අපේ සහෝදරයෝ දැන් හොරුන්ට කැමති නැහැ කියලා. ඒත් ආණ්‌ඩුව මේ දේශපාලන මැරයා ඉදිරියේ නිහඬයි. මේ හොරකම් ගැන හොයා බලන්නේ නැහැ කියලා මිනිස්‌සු හෙණ ඉල්ලනවා. දුප්පතාගේ රුපියල සූරගෙන කන හොරුන්ට හෙණ වැටුණට කමක්‌ නැහැ. අපි ලේ රත් වෙනකම් කෑගහලා පත් කරගත්ත ආණ්‌ඩුවට හෙණ වදිනවට අපි කැමති නැහැ"

පිටකොටුවේ අසාධාරණයට ලක්‌ වූ තවත් පදික වෙළෙඳුන් කිහිප දෙනෙක්‌ම අප සමග කතා කළහ. ඒ සෑම කෙනකුගේම කතාවල ගැබ්ව තිබුණේ සුනිල් සහ ස්‌වර්ණලතා කියූ දේමය.

ජනතාවට සේවය කිරීමට පෙර තමන්ගේ මඩිය තර කරගැනීම ඕනෑම දේශපාලනඥයකුගේ හැටිය. ඒක ඉහළම තැන සිට පහළට පොදුය. එහෙත් මෙවැනි තුච්ච විදිහට හොරා කන දේශපාලන හොරු ගැන දැන ගන්නට ලැබෙන්නේ නම් කලාතුරකිනි. මෙහි ලස්‌සනම පරිච්ඡේදය පෙළගැසෙන්නේ දැන්ය.

මේ හොර දේශපාලනඥයා සිඟන්නාගේ, විථි ගණිකාවගේ සහ පේමන්ට්‌කාරයාගෙන් එකතු කර ගත් කප්පම් මුදල සාක්‌කුවේ ඔබාගෙන ඊළඟට යන්නේ කොළඹ මහ නගර සභාවටය. එසේ නැති නම් ජනාධිපති මන්දිරයටය. එවිට ඔහු පිටකොටුවේ මංකොල්ලකාරයෙක්‌වත්, මැරයෙක්‌වත් නොව, නාගරික මන්ත්‍රීවරයෙකි. එහෙත් ඔහු පිටකොටුවේ එළිපිට හොරා කන කොල්ලකරුවෙකි. ඔහු කරන හොරකම්වලට එරෙහි වන මිනිසුන්ට පහරදෙන මැරයෙකි. ඔහුට එරෙහිව රටේ නීතිය ක්‍රියාත්මක වන්නේ ද නැත. සියල්ල දේශපාලන, මැර බලය ඉදිරියේ නිහඬය. මෙවැනි තුච්ච හොරකම් යළි යළිත් අපට පසක්‌ කර දෙන්නේ මෙහෙව් රටේ දේශපාලනය, හොරමැරකම් සියල්ල එකම යාන්ත්‍රණයක ක්‍රියාත්මක වන්නක්‌ බවය. 

එවැනි කාලකණ්‌ණි යාන්ත්‍රනයක ක්‍රියාත්මක වන අපේ රට, භෞතිකව කෙසේ සංවර්ධනය වුවද ඒ සංවර්ධනයේ ප්‍රතිලාභ පොඩි මිනිහා දෙසට යන්නේ නැත. දේශපාලන හොරු රැල සහ උන්ගේ හෙංචයියන් සාමාන්‍ය මිනිසා දෙසට ගලා එන සියලු දේ හොරා කන්නේය. එළිපිටම හොරා කන්නේය. පිටකොටුව පේමන්ට්‌කාරයාට වී ඇත්තේ ද ඒ නැස්‌පැත්තියමය.

බාහිරින් කොළඹ ලස්‌සන වුවද, කොළඹ සැබෑ යථාර්ථය මෙය නම් ඒ කොළඹ පට්‌ට කැතය.

තරංග රත්නවීර, ඡායාරූප - නිමල් දයාරත්න
http://www.divaina.com/2013/10/27/feature17.html

0 comments: