Pages

Wednesday, October 30, 2013

කැබිතිගොල්ලෑවේ බස් බෝම්බය පිපිරවූයේ කොටි කාන්තාවක් - සංඥා දුන් කොටියා හෙළි කරයි

Kabathigollawa1අපි වැරදි බස් එකකට බෝම්බයක් තිබ්බා කියලා පිරිමි  ඔක්කෝටම ලලිත් (කර්නල්) පනිෂ්මන්ට්  දුන්නා. කෙල්ලෝ  දෙන්නා ඇර ඔක්කොම යකඩ කූඩුවක දාලා දවස් 08 ක් තිබ්බා. ‍පොලු වලින් ගැහැව්වා. ඒ කූඩුවේ කටුකම්බි තියන නිසා නැගිටින්න. නිදා ගන්න බැහැ. පසුව අපිව පනිෂ්මන්ට් එකට පාලමොට්ටේ බංකර් කපන්න දැම්මා.
කැබිතිගොල්ලෑව යකාවැව දී 2006 ජුනි 13 වැනිදා මගී බස් රථයක් පුපුරවා හැරීමට සංඥා  දුන් හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට  පා‍පොච්චාරණයක් දෙමින් එසේ පවසා ඇත. හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයා දුන් පා‍පොච්චාරණයක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අනුරාධපුර විශේෂ මහාධිකරණයට යොමු කර තිබුණි.
කැබිතිගොල්ලෑව, යකාවැව  ප්‍රදේශයේ  දී ශ්‍රී ලංකා  ගමනාගමන මණ්ඩලයට අයත් මගී ප්‍රවාහන බස් රථයක් ඉලක්ක කර ගනිමින් එල්.ටී.ටී.ඊ.ය එල්ල කළ  බෝම්බ ප්‍රහාරයෙන් එහි ගමන්ගත්  මගීහු  68 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූහ. තවත් මගීහු 65 දෙදෙනෙකු බරපතල තුවාල ලැබූහ.  මෙම බෝම්බ ප්‍රහාරයට   කිරීමට සංඥා  දුන් මහාලිංගම් මුත්තුලිංගම් නොහොත් ඉන්ද්‍රන් යන එල්.ටී.ටී.ඊ. සාමාජිකයා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට විශේෂ  පා‍පොච්ඡාරණයක් කරමින්  තවදුරටත් මෙසේ කියා තිබුණි.
අවුරුදු 15 දී තාන්තා එක්ක රණ්ඩුවෙලා යාපනේ ගියා. යාපනේ ඉඳගෙන රා මදින වැඩේ  කළා. අවුරුදු එකහමාරක් විතර ඉද්දි එල්.ටී.ටී.ඊ. එකෙන් ඇවිත් මාව අරන් ගියා. දවස් තුනකින් නැවත මම යාපනේට ආවා. නැවත මා යාපනේ   ඉද්දී එල්.ටී.ටී.ඊ. එකෙන් කතා කළා. මම එහි ගියා.
ඉන්පසු මාව වත්තක වැඩට දැම්මා. ගස් කැපීම්, බංකර් හැදීම කළා. එල්.ටී.ටී.ඊ. පුහුණුවක් මට දුන්නේ නැහැ. 2004 වන තෙක් මාන්කුලම වත්තේ හිටියේ.
නිදහස් වෙලා ආපහු මාන්කුලම් ගෙදර ඇවිල්ලා බිරිඳත් සමග සිටියා. නැවතත් එල්.ටී.ටී.ඊ. එකෙන් මට කතා කරා. මම ගියා. මාව චාල්ස් ඇත්තනී බළකායට දාලා ට්‍රේනින් දුන්නා. එහිදී ටී 56    අත්බෝම්බ පුහුණුව ලබා දුන්න. කිරුබා  තමයි අපිට ට්‍රේනින්  කළේ.  ට්‍රේනින් එකෙන් පස්සේ අපිව   ග්‍රාමරක්ෂක බළකායට දැම්මා. ට්‍රේනින් එකෙන් පස්සේ එල්.ටී.ටී.ඊ. එකෙන් මට දීපු නමේ ඉන්ද්‍රන්. අංක 154  ට්‍රේනින් ඉවර වෙන්නේ 2006 වසරේ. ඊට පස්සේ මුහමා‍ලේ ඉදිරි ආරක්ෂක වළල්ලට දැම්මා.

Kabathigollawa2
ඒ කා‍ලේ  මුහමා‍ලේ යුද්දේ තිබුණේ නැහැ. මාස 03ක් විතර ඉඳලා පුලියන්කුලමට  ගෙනැල්ලා ඉදිරි  ආරක්ෂක  වළල්ලට දැම්මා. එහේ ඉද්දි  චාල්ස් ඇන්තනි බළකායේ ලලිත්  කියන නායකයා මට කතා කරලා පුලියන්කුලම කඳවුරට එන්න කිව්වා. කඳවුරේ නව “සිරෝවන්” මට මතක එහෙට යද්දි එහේ පස් දෙනෙක් හිටියා.  එතන ගෑනු ළමයි දෙන්නෙක් හිටියා.  ඔවුන්ගේ නම් දන්නේ  නැහැ. පස්සේ තවත් පිරිමි අයෙක් ආවා. එතකොට  පිරිමි  04 දෙනයි. 
අපි 07 දෙනාට වැඩක් භාරදෙනවා කියලා කිව්වා.  එතන හිටිය කාන්තාවෝ දෙන්නට ලලිත් කරන වැඩේ  කිව්වා. ලලිත් එල්.ටී.ටී.ඊ. කියන්නේ කර්නල් කෙනෙක්.
කාන්තාවෝ දෙන්නා ජී.පී.එස්.  අරගෙන ගියා. ඔවුන්  පසු පස  අපි ගියා. අපි දැනගෙන හිටියේ ක්‍ලේමෝ ප්‍රහාරයක් කියලා විතරයි. මේ සිදුවීම වෙන්නේ 2006  මැද කාලයේ. ක්‍ලේමෝ 02 බෑග් 02ක් දාගෙන ගියේ ගෑනු ළමයි. අපි ළඟ ටී 56  තිබ්බා.  මමයි අරිවූ අරයන් හා සින්තා යන අය කෑම අරගෙන ගියා. බිස්කට්, නූඩ්ලස්, ජෑම් කෑම ලෙස අරගෙන තිබ්බා. දවස් දෙකක් කැලෙන් ගියා. කොහෙද කියලා දන්නේ නෑ. කාන්තාවෝ දෙන්නා පීජීඑස් අරගෙන ඉස්සරහට ගියා. දවස් 02කට විතර පස්සේ තාර පාරක් ළඟට ආවා. එතන පාරදිගේ ලයිට්  වයර් ඇදපු කණු තිබ්බේ. අපිව කැ‍ලේ ඇතුළේ තියලා  මිලෙයි  අරයන් හා කාන්තාවෝ දෙන්නා පාර පැත්තට ගියා. ඇවිල්ලා කිව්වා  ක්‍ලේමෝ 02 සෙට් කරා කියලා.
මට ගහක් පෙන්නලා ගහ උඩට නැගලා ආමි වාහනයක් එනවනම් කියන්න කියලා කිව්වා. ඒ ගහ පාරේ ඉඳලා  මීටර් 50 ක් පමණ ඇතින් තියෙන්නේ. ගහට  නැග්ගහම ඈතින් එන වාහන පේනවා. එළිය වැටිලා ඉර පෑව්වට පස්සේ ඈතින් බස් එකක් එනවා දැක්කා. මම ගහෙන් බැහැලා දුවලා ගිහිල්ලා කහ බස් එකක් එනවා කිව්වා. ඒත් එක්කම ගහන්න එපා ගහන්න එපා කියද්දිම කාන්තාවෝ දෙන්නගෙන් එකකෙනෙක් රිමෝට්එක තද කළා. ලොකු ශබ්දයක් ආවා.
Kabathigollawa3අපි පැනලා දිව්වා. දවස් දෙකක් කැලෙන් ගිහින් ආපහු කෑම්ප් එකට ගියා. පිපිරුණේ මොන බස් එකක්ද එකේ කවුද හිටියේ කියලා දැක්කේ නැහැ. ඈතින් කහ බස් එකක් එනවා කියලා විතරයි දැක්කේ. පස්සේ අපි දැන ගත්තා අපි බෝම්බය තියලා  තියෙන්නේ ලංගම  බස් එකකට කියලා. මැරුණ ගාන දන්නේ නැහැ. කර්නල්  ලලිත් අපි වැරදි බස් එකකට  බෝම්බයක් තිබ්බා කියලා පිරිමි ඔක්කෝටම පනිෂ්මන්ට් දුන්නා. මාව නැවතත් එතනින් කෑම්ප් එකකට දැම්මා. මම ලලිත්ගෙන් නිවාඩු  ඉල්ලුවා. බෑ කියපු නිසා මම වම් අතේ මාපට ඇඟිල්ලට වෙඩි තියාගත්තා. එහෙම කරගත්තේ ඉස්පිරිතාලෙට දැම්මහම පැනලා යන්න හිතාගෙන.
නමුත් කෑම්ප් එකේම බෙහෙත් කරා. බෙහෙත් කරලා ලයින් එකට දැම්මා. ලයින් එකේ බිඩි බිලා පනිෂ්මන්ට් වශයෙන් ඇල්ෆා  වන් බේස් එකට දැම්මා. දවස් 07 ක් ඉන්නකොට මම එතනින්   පැනලා ගියා. 2007 මුල විතර බිරිඳ  එක්ක පුදුකුඩිඉරිප්පු ගියා. එහෙ කුලී වැඩ කරා. කුලි වැඩ කරද්දි යුද්දෙ පටන් ගත්තා. 
2009 මැයි 14 පවුල සමග රජයේ පාලන ප්‍රදේශයට ආවා. අවතැන් කඳවුරු වල ඉඳලා  තන්ගනගර් ගෙදරට ආවා. ගෙදර ඉද්දි බිරිඳ එක්ක රණ්ඩු වුණා. මම බෝම්බ තිබ්බ එක ගැන බිරිඳට කියලා තිබ්බේ. ප්‍රවෘත්ති වලිනුත්  දැනගෙන හිටියේ. බිරිඳ රණ්ඩු වුණාට පස්සේ සේරු නුවර ‍පොලීසියට ගිහින් මම කැබිතිගොල්ලෑව   බස්බෝම්බයට සම්බන්ධ  යැයි කියලා  ඔත්තු දීලා තිබුණා. මාව 2010 පෙබරවාරි 02 වනදා අත්අඩංගුවට ගත්තා. අපිට බෝම්බය දුන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට තියන්න ‍නෙවෙයි. ඒ එක්කම සංවිධානය අපිට යමක් කරන්න කිව්වාහම අපි ඒක කරන්න ඕන නැත්නම් අපිට ප්‍රශ්න ඇති වෙනවා. කැබිතිගොල්ලෑව යකාවැවදී මගී ප්‍රවාහන බස්රථයට බෝම්බ තබා එය පුපුරවා හැරීමට සංඥා ලබාදීම සම්බන්ධයෙන් අනුරාධපුර විශේෂ මහාධීකරණය හමුවේ වරද පිළිගත් අංක 269 තන්ගනගර් කිරිවෙට්ටි මුතූර් ලිපිනයේ  පදිංචි මහාලිංගම්, මුත්තලිංගම්  නමැත්තාට පසුගියදා  විශේෂ මහාධිකරණ  විනිසුරු ඛිෙමා ස්වර්ණාධිපති මහත්මිය විසින් වසර 05ක  බරපතළ වැඩ සහිත  සිරදඬුවමක් නියම කළාය. කොළඹ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ සහකාර ‍පොලිස් අධිකාරී කාලිංග  ජයසිංහ මහතා ඇතුළු පිරිසක් පරීක්ෂණ  පැවැත්විය. එල්.ටී.ටී.ඊ. සාමාජිකයා දුන්  පා‍පොච්චාරණය 
‍පො. සැ. 45604 නසීම් මහතා විසින් සිංහලට පරිවර්තනය කර තිබුණි.

බුද්ධික මහේෂ් විජේසූරිය - අනුරාධපුර
http://lakbima.lk/index.php?option=com_content&view=article&id=20400:2013-10-30-05-01-25&catid=61:2012-08-07-09-39-46&Itemid=77

0 comments: