Pages

Monday, October 21, 2013

ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව රටේ ඉඩම්වල අයිතිය මහ ආණ්‌ඩුව යටතේ පවතින බව තවදුරටත් තහවුරු කිරීමක්‌ - එස්‌. එල්. ගුණසේකර

උතුරේ මහ ඇමැතිවරයා නීති විශාරදයෙකි. නමුත් දකුණේ මෙන්ම උතුර පළාත් සභාවත් එහි ආරම්භයේ සිටම අවුල්සහගත තත්ත්වයක්‌ පෙන්නුම් කර තිබේ. එහි මැති ඇමැති දිවුරුම්දීම සිදුවන්නේ අවිධිමත් ලෙසය. පළාත් සභා සතු ඉඩම් අයිතිය පිළිබඳ පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශයට පත් කළ තීන්දුවෙන් පසු එම බලතල හිමිවන ආකාරය සහ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ සිදු කළ යුතු සංශෝධන පිළිබඳ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ එස්‌. එල්. ගුණසේකරයන් කරන විග්‍රහයකි මේ.

පළාත් සභාවල මැති ඇමැතිවරු දිවුරුම් දිය යුතු ආකාරය ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ සඳහන් වෙන්නෙ කොහොමද?

මහ ඇමැතිවරයා ජනාධිපතිවරයා හමුවේ දිවුරුම් දිය යුතු යෑයි පිළිගත් ක්‍රමවේදයක්‌ තිබෙනවා. නමුත් සාමදාන විනිශ්චයකාරවරයකු හමුවේ දිවුරුම් දීමත් නිත්‍යානුකූල ලෙසයි පිළිගැනෙන්නෙ.

මැති ඇමැතිවරු යම් යම් පුද්ගලයන් හමුවේ දිවුරුම්දීම ඒ ඒ පදවිවල ආභරණයක්‌ ලෙස තිබෙන දෙයක්‌. එක්‌ එක්‌ පුද්ගලයා හමුවේ අද සිදුකරන මේ දිවුරුම් දීම් නාමික දේවල්. අද මේවායේ වටිනාකමක්‌ නෑ.

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනුව රටේ ඉඩම්වල අයිතිය හිමිවන්නෙ කාටද?

රජයේ ඉඩම්වල අයිතිය රජය සතුයි. ඒවා බෙදාහැරීම සිදු කළ යුත්තේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 33 වගන්තියේ ඇ. උප වගන්තිය යටතේයි. ඒ අනුව ඉඩම් බෙදා දීම සිදුකළ යුත්තේ ජනාධිපතිවරයාගේ අභිමතය පරිදියි. ඒ අනුව පළාත් සභාවලට හිමිවන්නේ පළාත් සභා සඳහා වෙන් කර ඇති ඉඩම් පමණයි. කිසිම පළාත් සභාවකට එම ඉඩම් හිතුමතේ භාවිත කරන්න බෑ, එය කළ හැක්‌කේ පවතින නීතියට අනුවයි.

අපේ රටේ පළාත් සභා සහ රජය සතු ඉඩම් පිළිබඳ පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක්‌ ප්‍රකාශයට පත් කළා. ඒ අනුව පළාත් සභා සතු ඉඩම් භාවිතයේ වෙනසක්‌ සිදුවෙනවද?

රජයේ සහ පළාත් සභා සතු ඉඩම් භාවිතය පිළිබඳ තිබූ යම් යම් අපැහැදිලි තැන් එයින් වඩාත් නිවැරැදි වුණා. පළාත් සභා ක්‍රමය රටේ ඒකීයභාවයට කිසිදු හානියක්‌ නොවන බවත් එම තීන්දුවෙන් පැහැදිලි වුණා. එම තීන්දුව රටේ ඉඩම්වල අයිතිය මහ ආණ්‌ඩුව යටතේ පවතින බව තවදුරටත් තහවුරු කිරීමක්‌.

උතුර හා නැගෙනහිර දෙපළාතේ බොහෝ දෙනෙක්‌ ජීවත්වෙන්නෙ ඉඩම් සංවර්ධන ආඥ පනත යටතේ ලබාගත් අවසරපත්‍ර මතයි. එම අවසරපත් දීල තියෙන්නෙ රජය මගින්. උතුර හා නැගෙනහිර ඉඩම් අයිතිය ඒ පළාත් සභාවලට පැවරුණොත් රජය ලබාදී ඇති ඒ අවසරපත් පළාත් සභා විසින් අහෝසි කරනු ඇතැයි පසුගිය කාලේ බියක්‌ තිබුණා. මේ නඩු තීන්දුවෙන් ඒ බිය තුරන් කර තිබෙනවා. ඉඩම් සංවර්ධන ආඥ පනත යටතේ රජය ලබාදී ඇති එම අවසරපත් අවලංගු කරන්න පළාත් සභාවලට බෑ.

මින් අදහස්‌ වෙන්නෙ පළාත් සභා සතු ඉඩම්වල සම්පූර්ණ බලතල මධ්‍යම රජයට හිමිවන බවද?

සම්පූර්ණ බලතල මධ්‍යම රජය සතු නෑ. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙ ඒ ගැන ඇතැම් සීමා පනවල තිබෙනවා. එනම් කිසියම් පළාත් සභා භූමියක තිබෙන රජයේ ඉඩමක පරිහරණය රජය සතු කාර්යයක්‌ වුවත් එය කිරීමේදී එම පළාත් සභාවේ අදහසුත් සැලකිල්ලට ගත යුතු බව ව්‍යවස්‌ථාවේ සඳහන්ව තිබෙනවා. නමුත් කිසිදු අවස්‌ථාවක රජය පළාත් සභාවේ තීරණවලට බැඳී නැති බවද එහි දැක්‌වෙනවා. පළාත් සභා බල ප්‍රදේශයක ඇති රජයේ ඉඩමක්‌ රජය පරිහරණය කිරීමේ ඒ පිළිබඳ තීරණ ගැනීමේ අයිතියක්‌ පළාත් සභාවට නෑ. රජය යනු රටේ සියලුම ජනතාව විසින් තෝරා පත්කර ගන්නා ආණ්‌ඩුවක්‌. කිසියම් පළාතක සීමිත පිරිසක්‌ විසින් තෝරා පත්කර ගන්නා ලද පළාත් සභාවකට රජයේ තීරණ අභිබවා යැමට පුළුවන්කමක්‌ නෑ.

ඉඩම් හා පොලිස්‌ බලතල ආණ්‌ඩුව නුදුන්නොත් ජාත්‍යන්තරය හමුවට ගොස්‌ හෝ ඒවා ලබාගන්නා බව මහ ඇමැති විග්නේෂ්වරන් මහතා ප්‍රකාශ කර තිබෙනවා. එය ආණ්‌ඩුවේ තීරණ අභිබවා යැමක්‌ නොවෙයිද?

අභිබවා යැමක්‌ම කියන්න බෑ. ඒ අය වෙනම රාජ්‍යයක්‌ ලබාගැනීමට යනව නම් එය ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට පටහැනියි. ජාත්‍යන්තරය හමුවට යනවා යන්නෙන් අදහස්‌ කරන්නෙ 13 වැනි ව්‍යවස්‌ථාවේ සඳහන් බලතල ලබාගැනීමට ජාත්‍යන්තරය ලවා ආණ්‌ඩුවට බලපෑමක්‌ කරනවා කියන එකයි. එයින් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව උල්ලංඝනය වෙනවා යෑයි මම හිතන්නෙ නෑ.

අපේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ වෙනසක්‌ සිදුකළ යුතු යෑයි ඔබ හිතනවද?

ඔව්. අපේ රටේ දැන් තිබෙන මැතිවරණ ක්‍රමය වෙනස්‌ කරන්න ඕන. සමානුපාත ඡන්ද ක්‍රමය වෙනුවට කේවල ක්‍රමය යළි ස්‌ථාපිත කරන්නට ඕන. අපේ රටේ මැතිවරණ වැඩියි. මේ තරම් මැතිවරණ වියදම් අපේ රටට දරන්න බැහැ. මේ තරම් මැතිවරණ තියන්නෙ හිතවතුන්ට තනතුරු දෙන්නයි පක්‍ෂවල පම්පෝරිය කියන්නයි විතරයි. කේවල මැතිවරණ ක්‍රමයත් ගම්සභා ක්‍රමයත් අපේ රටේ නැවත ස්‌ථාපිත කළ යුතුයි. ජනතාවට කැමති අය තෝරා පත්කර ගැනීමට ජනතාවට අයිතිය ලැබෙන්නේ එවිටයි. රජය විසින් ගමක කිසියම් ව්‍යාපෘතියක්‌ ක්‍රියාත්මක කරනවා නම් එය සිදුවිය යුත්තේ ගම් සභාව හරහායි. පාර්ලිමේන්තු නියෝජිතයන් තෝරා පත්කර ගත යුත්තේ ගම් සභා නියෝජිතයන් අතරෙනුයි. අගමැතිවරයා හෝ ජනාධිපතිවරයා තෝරා පත්කර ගත යුත්තේ එලෙස පත්කර ගන්නා පාර්ලිමේන්තුව විසිනුයි. මේ ක්‍රමය තුළින් මැතිවරණ ගණනාවක්‌ සඳහා වැය වන විශාල මුදල් කන්දරාවක්‌ ඉතිරිකර ගැනීමට හැකිවෙනවා. එසේම එලෙස පවත්වන පුද්ගලයොත් නියම ජනතා නියෝජිතයො. එක පක්‍ෂයකින් පත්වෙලා වෙන පක්‍ෂයකට පනින දේශපාලන ප්‍රොaඩාකාරයන්ටත් මේ ක්‍රමය හොඳ උත්තරයක්‌ වේවි.

උතුරෙ පළාත් සභාව තුළත් මේ වන විටත් ගැටලු සහගත තත්ත්වයක්‌ මතුවෙලා. ආණ්‌ඩුව හා උතුර පළාත් සභාව අතර සහයෝගය බිඳවැටුණොත් රට යළිත් බරපතළ අවුලකට වැටෙයිද?

මේ අපේ රටේ සාමාන්‍ය දේශපාලනයේ ස්‌වභාවයයි. උතුර පළාත් සභාව තුළ පමණක්‌ නොවෙයි දකුණෙත් ගැටලු තිබෙනවා. එජාපය ප්‍රසිද්ධියේ ගහමරාගත් සැටි පසුගියදා අපි දැක්‌කා. විපක්‍ෂය තුළ ගැටුම් තියෙනව. දෙමළ ජාතික සන්ධානයත් එවැනිම පක්‍ෂයක්‌. වෙන පක්‍ෂ තුළ වගේම බෙලි කැපිලි ඒ පක්‍ෂය තුළත් තියෙනව. එය විශේෂ තත්ත්වයක්‌ නෙමෙයි. උතුරට විශේෂ බලතල ලබාගන්න ඒ අය උත්සාහ දරාවි. ඉඩම් පොලිස්‌ බලතල දකුණේ අයත් ඉල්ලුව.

අද අපේ රටේ දේශපාලනය කියන්නෙ තනිකරම බලය ලබාගැනීමේ ව්‍යායාමයක්‌. අතීතයේ අපේ රටේ පක්‍ෂයක්‌ විදිහට හැඳින්වූයේ කිසියම් ප්‍රතිපත්ති මාලාවක්‌ පිළිබඳ එකඟතාවක්‌ තිබෙන පිරිසකගේ එකතුවක්‌. ඔවුන් දේශපාලනය කළේ ප්‍රතිපත්ති මත. අද දේශපාලනය කරන්නේ බල තන්හාව මත. අද දේශපාලකයො අති බහුතරය බලය ලබාගන්න උත්සාහ කරන්නෙ රටේ ජනතාවට සේවය කිරීමට නෙමෙයි තමුන්ගෙ මඩිය තරකර ගන්න. ඒක උතුර හෝ දකුණ කියල වෙනස්‌ වෙන්නෙ නෑ.

එම නිසා උතුරේ හමුදා කඳවුරු කිසිවක්‌ ඉවත් නොකළ යුතුයි. යළි එම ප්‍රදේශවල ත්‍රස්‌තවාදය හිස එසවිය හැකි නිසා එය පැළැක්‌වීමට උතුරේ හමුදාව ස්‌ථාපිත විය යුතුයි. දැනට පවතින ජන අනුපාතය අනුව උතුරේ ඉඩම් බෙදාදීමේ ක්‍රමයත් වෙනස්‌ වෙන්න ඕන. ඉඩම් ලබාදිය යුත්තේ සුදුස්‌සාට මිස ජනඅනුපාතය අනුව නොවේ. මේ කාරණයත් තවම අපේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන් නිසි ආකාරයට ක්‍රියාත්මක වෙන්නෙ නෑ, එය නිසි අන්දමින් ක්‍රියාත්මක කිරීමට අපේ රටේ කිසිම දේශපාලන පක්‍ෂයකට අවශ්‍ය නෑ. සුදුස්‌සාට නොව තමුන්ගේ පන්දම්කාරයන්ට තනතුරු වරප්‍රසාද ලබාදීම සෑම පක්‍ෂයකම ප්‍රතිපත්තියයි. ව්‍යවස්‌ථාව සංශෝධනය කිරීම තුළින් මේවා වෙනස්‌ නොකොට රටට ඉදිරියට යන්න බෑ.

විද්වත් හමුව - සාකච්ඡා කළේ, පාලිත සේනානායක
http://www.divaina.com/2013/10/20/politics03.html

0 comments: