Pages

Tuesday, October 29, 2013

මතට තිතද? තිතට මතද?

කසිප්පුවලින් බද්දක්‌ අයකළ යුතුයෑයි මේ රටේ නියෝජ්‍ය මුදල් ඇමැති සරත් අමුණුගම මහතා යෝජනා කරයි. ඒ මහතා මෙම යෝජනාව කළේ සමස්‌ත ලංකා සුරාබදු සැරයන්වරුන්ගේ සහ නියාමකවරුන්ගේ සංවත්සර උත්සවයට සහභාගි වෙමින්ය.

මතට තිත යන ප්‍රතිපත්තියට එරෙහිව මත්පැන් බොන අය දිරිමත් කරන මේ ප්‍රකාශය පනින රිළවුන්ට ඉනිමං බැඳීමකි. ලෝක අමද්‍යප දිනය පසුවී (2013.10.03) ටික දිනකින්ම ඒ මහතා කළ මේ ප්‍රකාශය ගැන අමද්‍යප සංවිධාන හෝ කටක්‌ ඇර කිසිවක්‌ කියා නොමැත.

රජයට ආදායම් ලබාගත හැකි ප්‍රධානම මාර්ගයකි මත්පැන් හා දුම්වැටි. රුපියල් 28 කට විකිණෙන දුම් වැටියකින් රුපියල් 19 ක්‌ම රජයට බදු වශයෙන් අයකර ගනී. නීති විරෝධී මත්පැන් අලෙවිය නීත්‍යනුකූල මත්පැන්වලට වඩා වැඩිය. ඒවා සෑම ගමකම ඇත. රජයට විශාල වශයෙන් බදුගෙවමින් බාර් එකකට ගොස්‌ අරක්‌කු ටිකක්‌ බීමට වඩා ගමේ ගොඩේ අයට අඩු මිලකට කසිප්පු ටිකක්‌ බීමට හැකිය. ඇමැතිතුමාගේ යෝජනාවෙන් වන්නේ නීත්‍යනුකූල නොවන මත්පැන්වල මිල බෙහෙවින් ඉහළ යැමය.

නීත්‍යනුකූල නොවන මත්පැන් හා මත්ද්‍රව්‍යවලින් මේ ධර්මද්වීපය පිරී පවතී. හොර මත්පැන් අලෙවි කිරීම නිසා උසාවියේ අසන නඩු වලින්ද රජයට ආදායමක්‌ ලැබේ. දඩ වශයෙන් එකතුවන මුදලද ඉතා විශාලය. කළ යුතුව ඇත්තේ හොර සුරාවලට අනුමැතිය දී නීත්‍යනුකූල කර රජයට බදු මුදලක්‌ ලබා ගැනීම නොවේ. මෙම හොර සුරා පෙරීමේ ස්‌ථාන අලෙවිකරන අය අල්ලා දැනට අයකරන දඩ මුදල්වලට වඩා වැඩියෙන් දඩගසා ආණ්‌ඩුවේ මහා භාණ්‌ඩාගාරය තරකර ගැනීමය.

නීත්‍යනුකූල මත්පැන්වලින් හා සිගරට්‌වලින් අයකරන බදුවලින් ද නීත්‍යනුකූල නොවන කසිප්පු වැනි දේ අත්අඩංගුවට ගෙන ගසන දඩ මුදල්වලින්ද රජයට ආදායමක්‌ ලැබුණත් වෛද්‍යවරුන් හා සමාජ විද්‍යාඥයන් මෙන්ම ආර්ථික විද්‍යාඥයන්ද කියන්නේ වෙනම කතාවකි. සෞඛ්‍යයට වන හානිය සමාජයට වන හානිය ගැන සලකනවිට මත්පැන් හා දුම්වැටි සම්පූර්ණයෙන්ම ප්‍රතික්‍ෂේප කළ යුතුය.

අතුරලියේ රතන ස්‌වාමීන් වහන්සේ විමසා සිටින්නේ කසිප්පු වැනි මත්පැන් වර්ගවලින් බදු අය කිරීමෙන් ඒවා නීත්‍යනුකූල වන බවත් එවැනි ක්‍රියාමාර්ගයක්‌ ගැනීම රජයේ ප්‍රතිපත්තිය බවද යන්නය. මුළු ලෝකයම දුම්පානය හා මද්‍යසාර අඩාල කිරීමට පොදුවේ උත්සාහ ගනිද්දී දැන උගත්කමක්‌ ඇති රජයේ ඇමැතිවරයකු එයට ප්‍රතිවිරෝධී අදහසක්‌ දැක්‌වීම විමතියට කරුණකි. බල්ලො මරා හෝ මුදල් හරිහම්බකරන්නේ ජීවත්වෙන්නට කිසිමදෙයක්‌ නැති අවස්‌ථාවකය. මුදල් නියෝජ්‍ය ඇමැතිවරයා තැන් තැන්වල කරන මේ අන්දමේ කතා අනාගතයේ දී කසිප්පුකාරයන්ගේ මනාපය දිනාගැනීමට කරන ඒවාය. මහින්ද චින්තනයේ තියෙන්නේ මතට තිත තියන බවකි. අපට වර්තමාන ආණ්‌ඩුව සුවිශේෂීය. ඒ සදාචාර සම්පන්න රටක්‌ බිහිකරන්නට ප්‍රතිඥ දී තිබෙන බැවිනි.

ජාතික හෙළ උරුමය වැනි පක්‍ෂද සන්ධාන ආණ්‌ඩුව සමඟ එක්‌වී කියන්නේ මත්පැන් දුම්වැටි මත්ද්‍රව්‍ය තහනම් කළ යුතු බවකි. මෛත්‍රීපාල සිරිසේන ඇමැතිතුමාද උත්සාහ ගන්නේ මත්පැන් පමණක්‌ නොවේ දුම්වැටිද තහනම් කරන්නටය. කැබිනට්‌ ඇමැතිවරු මේ අන්දමට එකිනෙකට ප්‍රතිවිරුද්ධ කතා කීම කැබිනට්‌ සාමුහිකත්වයද කඩ කිරීමකි. අද ගමට හොර සුරා පමණක්‌ නොවේ මත් කුඩුද බහුල වශයෙන් පැමිණ ඇත. රටේ හරි විනයක්‌ නැත. බෞද්ධ ප්‍රතිපත්ති රකින්නේ නැත. මැතිවරණවලදී මත්පැන් සාද පවත්වන අයුරු ජුගුප්සාජනකය. රූපවාහිනියේ මත්පැන් බොන හා දුම්වැටි බොන දර්ශන පෙන්වන විට යට තීරයේ නිවේදනයක්‌ කරමින් අපට අවවාද කරයි. සෞඛ්‍යයට වන හානි ගැන කියයි. දැන් අපට මැති ඇමැතිවරුන්ටත් මත්පැන්වල ආදීනව කියන්නට සිදුව ඇත.

මත්පැන් ශරීරයට අහිතකරය. කුමන ඉහළ නමකින් හඳින්වුවද ඒ සියලුම මත්පැන්වලින් කරන්නේ මිනිස්‌ සිරුරට හානියකි. සෞඛ්‍ය සම්පන්න ආර්ථිකයක්‌ ආරම්භ කරන්නට නම් මත්පැන් වෙනුවට දියරකිරි බීමට ජනතාව යොමු කළ යුතුව ඇත. අප තවමත් කිරි එළදෙනුන් මරාගෙන බයිට්‌ එකට ගන්නා අසම්මත ජාතියකි. ගෙරිමස්‌ කන්න එපා. මත්පැන් බොන්න එපා යෑයි කිව්ව ජාතික වීරයෝ අද නැත. කාපල්ලා බීපල්ලා ජොලිකරපල්ලා කියන අයයි ඉන්නේ.

1912 දී ලංකාවේ සුරාබදු පනත ආරම්භ කළ වේලාවේ පළමු ශ්‍රී ලංකා තැබෑරුම විවෘත කරන්න ගිය වෙලාවේ පාරට බැස්‌ස වීරයෝ අද නැත. අනගාරික ධර්මපාලලා නැත. කොටින්ම අමද්‍යප සංවිධාන බෝඩ්ලෑල්ලට සීමාවී තිබේ. මඩිහේ නාහිමියන්, ගණේගම සරණංකර නායක හාමුදුරුවන් වහන්සේලා ද, නන්දදාස කෝදාගොඩ, ඩී. වී. ඡේ. හරිස්‌චන්ද්‍ර වැනි දොස්‌තර මහත්වරුන්ද දැන් ජීවතුන් අතර නැත. එසේ හිටියානම් කසිප්පුවලින් බදු අයකර ගැනීමට යෝජනා කරන අයට එල්ලුම් ගස නියම කරනු ඇත. කසිප්පුකාරයන්ගේ කරපිටින් රටේ පාලනයට පැමිණ කසිප්පු රස දන්නන් තමන් බලයට පත්කළ අයට සහන සලසනවා හැරෙන්නට වෙන කළහැකි දෙයක්‌ නොමැත.

අපි කොතෙක්‌ කතා කළත් මත්පැන් ලෝකයෙන් තුරන්කළ නොහැකිය. ලොව කොයි රට ගැන සලකා බැලුවත් ඒ ඒ රටවල්වල බහුලව ජනතාව අතර ප්‍රචලිත බීම වර්ග ඇත. ජර්මනියේ ජනතාවගේ ස්‌වභාවික පානයකි බීර. බ්‍රිතාන්‍යයේ ස්‌ටුවට්‌ හා ජිල් පොදු බීමකි, ප්‍රංශයේ ආහාර පාන අතර නැතිවම බැරි බීමක්‌ වයින්. මේවා විස්‌කි බ්‍රැන්ඩි හා අරක්‌කු මෙන් ඉස්‌ප්‍රීතු වර්ග නොවේ. මේ රටට හොරෙන් ගෙන එන ඉස්‌ප්‍රීතු වර්ග විශාල ප්‍රමාණයක්‌ පසුගිය දා අසුවිය. අපේ රට මත්ද්‍රව්‍යවලටද හොඳ වෙළෙඳපොළකි. මේ වනවිට ගමේ ගොඩේ විශාල තරුණ පිරිසක්‌ මේ මත්ද්‍රව්‍යවලට ගොදුරුව ඇත. සිරගෙවල් පිරී ඇත්තේ මත්ද්‍රව්‍ය ගත් අයගෙනි. අපරාධකරුවන් රැසක්‌ මත්පැන් සහ මත්ද්‍රව්‍ය නිසා විවිධ අපරාධකර සිරගතවී සිටී. මිනීමරුවන් වී එල්ලුම් ගසට නියම වේ.

බීමත් පියාගෙන් දරුවන්ට හිරිහැර සිදුවූයේ අද ඊයේ සිට නොවේ. සුරාවට ඇබ්බැහි වූ රජුන් තම සිඟිති පුතුගේ මස්‌ ද අනුභවකර ඇත. පහේ ශිෂ්‍යත්ව විභාගය අසමත් වුණා යෑයි තම දරුවා ගිනියම් කළ යකඩයකින් පුළුස්‌සා දැම්මේද බීමත් පියෙකි. මත්වීමේ ආනිශංස කියන්නට කොතෙකුත් උදාහරණ ඇත. ලෝක අමද්‍යප දින, වැඩිහිටි දින, ගුරු දින, ළමා දින, ගැහැනු දරුවන්ගේ දින පැවැති මේ ඔක්‌තෝබර් මාසයේ අපි කතාකරන විට මත්පැන්වලින් සිදුවන ෙ€දවාචක ගැන කොතෙකුත් කතා කළහ. මේ අතර අපට ඇසුණ ආසන්නතම කතාව සරත් අමුණුගම දැන උගත් ඇමැතිතුමාගෙනි. කසිප්පු නීතිගතකර බද්දක්‌ ගැනීමෙන් මහාභාණ්‌ඩාගාරය පුරවාගත හැකිය. නමුත් මේ අන්දමේ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක වුණොත් තවත් අවුරුදු 10 ක්‌ ගතවන විට ජාතිය පමණක්‌ නොවේ මේ ධර්මද්වීපයද නැත්තටම නැතිවනු ඇත.

පහේ ශිෂ්‍යත්ව විභාගය සමත්වූ ගාල්ලේ ඇත්කඳුර ප්‍රදේශයේ ළමයකු තම පියාට ලිපියක්‌ ලියා රෝහල්ගතවී සිටින පියාගෙන් ඉල්ලා සිටියේ අනේ තාත්තේ බොන්න එපා කියන ඉල්ලීමයි. මෙවැනි ඉල්ලීම් තම පියවරුන්ගෙන් කොතෙකුත් දරුවෝ කරති. දරුවන් පමණක්‌ නොවේ බිරින්දෑවරුන්ද කෙරේ. කොතෙක්‌ ඉල්ලීම් කළත් බොන එකා බොන්නේය. බීල බීල ඒකෙන්ම ලෙඩවී අකාලයේ මියයති.

බීමතින් රිය පැදවීම නීතියෙන් දඬුවම් පවරන වැරැදි වැඩකි. මත්පැන් බීමෙන් අනතුරුව රිය අනතුරු සිදුකර මත්පැන් පානය නොකළ මගීන්ද පාරේ ගමන් කළ අයද කොතෙකුත් මරා දමා ඇත. නීති ඇත්තේ පොතට පමණි. නීති කඩකරන අය බොහෝ වෙති. මතට තිත තියන බවට ලියා ඇත්තේ මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්‍රකාශනයේය. අමුණුගම නියෝජ්‍ය ඇමැතිතුමන් කටයුතු කරන්නේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට ප්‍රතිවිරුද්ධවය. ඇමැතිතුමනි, වචනයක්‌ කතා කරන්නට පෙර දෙවරක්‌ නොව කීප අවස්‌ථාවක්‌ම සිතා බලන්න. තුවක්‌කුවකින් උණ්‌ඩයක්‌ පිටවුණාට වැඩි විනාශයක්‌ වැරැදි වචනයක්‌ පිටවුවහොත් සිදුවිය හැකිය. සමහර විට අප ඉහතකී මත්පැන් බීමේ ආදීනව ඇමැතිතුමා නොදැන සිටියා යෑයි මම නොකියමි. එතුමා දහම් පාසලක දරුවන්ට කතාකරන විට නම් කසිප්පුකාරයන්ට, සුරාවට එරෙහිව කොතෙකුත් කතා කියා ඇත. මම එය දනිමි.

ඇමැතිතුමා කුමක්‌ කීවත් මේ රටේ නායකයානම් කවදාවත් කසිප්පුවලින් බදු අයකර ගැනීමේ නීතියක්‌ සම්පාදනය නොකරනු ඇත. ඉදිරියේදී කියවීමට නියමිත රාජ්‍ය අයවැය ලේඛනයේ අන්තර්ගතය දැන ගැනීමට ඉන්නා මෙවන් වේලාවක විශේෂයෙන් නියෝජ්‍ය මුදල් ඇමැතිතුමන් කට ප්‍රවේශම්කර නොගත්තොත්, විශාල විනාශයක්‌ සිදුවිය හැකියි. රටේ ආශ්චර්ය ලොවට කියාපෑමට පොදු රාජ්‍ය මණ්‌ඩලයේ නියෝජිතයන් ද පැමිණෙන මොහොතක මේ රට යුද්ධයෙන්ද මිදී සංවර්ධනයේ අරුණලු දකිමින් සිටී. වර්තමාන ආණ්‌ඩුවට විශාල ජනප්‍රසාදයක්‌ ඇති බව වයඹ හා මධ්‍යම පළාත් සභා ඡන්දයෙන්ද පැහැදිලිකර ඇත. මධ්‍යම පළාත් සභා ඡන්දය අවසන් වූ මොහොතේම කසිප්පු ගැන මෙවැනි කතාවක්‌ දළදා සමිඳුන් වැඩ සිටින කන්ද උඩරටින් අසන්නට සිදුවීම ජාතියේ අවාසනාවකි. මහනුවර කොතරම් නම් සුරා විකුණන බාර් තිබෙනවා දැයි අස්‌ගිරි මල්වතු මහනාහිමිවරුන් වත් නොදනී.

කළ යුතුව ඇත්තේ නීත්‍යනුකූල නොවන හෝ සුරාවලට ලැයිසන් දීම නොවේ. රටේ ඇති සියලු බාර් වසාදමා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මතට තිත තැබීමය.

අක්‌මීමන කේ. මතිලාල්
http://www.divaina.com/2013/10/29/feature04.html

0 comments: