Pages

Tuesday, October 29, 2013

බෝපත් ඇල්ල ද? ඕපත් ඇල්ල ද?

වර්තමානයේ විදේශ සහ ස්‌වදේශික සංචාරකයන්ගේ සිත්ගත් සංචාරක ස්‌ථානයක්‌ ලෙස රත්නපුර දිස්‌ත්‍රික්‌කයේ පිහිටි එක්‌තරා දිය ඇල්ලක්‌ ප්‍රසිද්ධියට පත්ව තිබේ. මෙම දිය ඇල්ල වර්තමානයේ හඳුන්වනු ලබන්නේ "බෝපත් ඇල්ල" නමිනි ඊට හේතු වශයෙන් දක්‌වන්නේ දිය ඇල්ලේ ආරම්භක ස්‌ථානය බෝ පත්‍ර හැඩයක ස්‌වරූපයෙන් යුක්‌තවීම අනුව එසේ හඳුන්වා ගෙන ඇති බවය. එහෙත් මෙහි පැරැණි නාමය "බෝපත් ඇල්ල නොව "ඕපත් ඇල්ල" බව අවධාරණයෙන් පැවසිය යුතුව තිබේ.

කිසියම් දිය පහරක්‌ නැතහොත් ඔයක්‌ ගලා යන ස්‌වභාවය අනුව ඉන් ඔබ්බෙහි පිහිටි පෙදෙස්‌ ඔයමත්ත (ඕමත්ත) ලෙසද ඉන් මොබ්බෙහි පිහිටි පෙදෙස ඔය පාත (ඕපාත) ලෙසද හඳුන්වන අතර මේ දෙනමින් නම්කොට ඇති යම් යම් ප්‍රදේශ දිවයිනේ කිහිප පළාතකින්ම දැකගත හැකිය. මේ අනුව ඔය+පාතූඇල්ල යනුවෙන් හඳුන්වාගනු ලැබු රත්නපුර දිස්‌ත්‍රික්‌කයේ ප්‍රසිද්ධ දිය ඇල්ල ඕපත් ඇල්ල ලෙස නම්කර ගනු ලැබීය. එහෙත් මේ නාමයේ ඇති "ඕපත්" යන්න වෙනම සළකා බලා ඇති ඇතැමකු මෙම නාමයේ අර්ථය නිවැරැදිව හඳුනා ගනු වෙනුවට දිය ඇල්ලේ ඉස්‌මත්තේ හැඩයක්‌ ගැන සලකමින් එය "බෝපත්" විය යුතු යෑයි සළකා තිබේ. මෙලෙස වචන හුවමාරුවෙන් දිවයින ඇතැම් ස්‌ථාන නාම මුල් ස්‌වරූපයෙන් වෙනත් තත්ත්වයකට පත්වූ අවස්‌ථා තවද දැකගත හැකිය. උදාහරණයක්‌ වශයෙන් කොළඹ නගරයේ මරදාන ප්‍රදේශයේ පිහිටි එක්‌තරා ස්‌ථානයක්‌ කොළඹ නගර සභාව විසින් PARADISE GARDENS (පැරඩයිස්‌ ගාඩ්න්ස්‌) ලෙසින් නම් කොට නාම පුවරුද සවිකොට ඇත. මෙම පෙදෙසට එම නම වැටුණේ මෙසේ ය.

යටත් විජිත සමයේ මෙම ස්‌ථානයෙහි පෝස්‌ නමින් ප්‍රසිද්ධව සිටි ලන්සි මහතකුගේ බංගලාව සහ ඉතා මනරම්ව අලංකාර ලෙස මල් වගාකොට තිබූ උද්‍යානයක්‌ විය. එකල අසල්වාසීන් මෙම ස්‌ථානය හැදින් වූයේ "පෝස්‌ මහත්තයාගේ වත්ත" යනුවෙනි. අසල්වාසීන් පෝස්‌ මහත්තයා යෑයි හඳුන්වද්දී ඔහුට එතරම් ඇඟ ඇළිකමක්‌ නොදැක්‌වූවෝ මෙම ස්‌ථානය "පෝස්‌ ගෙවත්ත" නමින් හැඳින් වූහ.

මේ අතරතුර පෝස්‌ මහතා මිය පරලොව යන්නට යෙදුනේය. පෝස්‌ මහතාගෙන් තොරව පෝස්‌ ගෙවත්ත තනි විය. මනරම් දර්ශනීය මල්ගොමුවලින් අලංකරණය වූ මෙම උද්‍යානය ඇතැමුන්ට දිව්‍ය උද්‍යානයක්‌ බඳු විය. ඒ අනුව "පෝස්‌ගෙ වත්ත" යනු පවසනු වෙනුවට "මෝක්‌ෂවත්ත" යෑයි පැවසීම සිදු විය.

මේ අතර කොළඹ නගර සභාව තම සීමාවට අයත් ප්‍රදේශ ඉංග්‍රීසියට පරිවර්තන කොට නාම පුවරු යොදන්නට වූයෙන් "මෝක්‌ෂවත්ත" යන්න ඉංග්‍රීසියට පෙරළා (PARADISE GAROENS) වශයෙන් නාම පුවරු ඉදි කළේය. මේ වර්තමානයේ එම පෙදෙස්‌ හඳුන්වන්නේ පැරඩයිස්‌ ගාඩ්න්ස්‌ යන නමිනි.

මෙලෙස පෝස්‌aගෙවත්ත යන්න මෝක්‌ෂවත්ත" වූ ආකාරයට ඕපත් ඇල්ල නම් දිය ඇල්ලද බෝපත් ඇල්ල" බවට පත්ව තිබේ. මෙම දියඇල්ල ඓතිහාසිකව හැඳින් වූයේ ඕපත් ඇල්ල" ලෙසින් බවට මයුර සන්දේශය මෙසේ සාක්‌ෂි දරයි.

රැවුල් කළ මී ලොල්ලේ මී ලොල්ලේ ය
පුල් දොඹ නාගොල්ලේ සෙවනැල්ලේ ය
මහ ආරලි එල්ලේ සුදු වැල්ලේ ය
යව ඕපත් ඇල්ලේ සිතු ඇල්ලේ ය
(මයුර සන්දේශය)

අදත් මෙම දිය ඇල්ල පිහිටි ප්‍රදේශවාසීහු ඕපත් ඇල්ල ලෙස හඳුනාගෙන සිටින අතර එය බෝපත් ඇල්ල ලෙසින්ද හැඳින්වීම බුදුනට නිගරු කිරීමක්‌ කොට සලකති.

පිටස්‌තර ප්‍රදේශවලින් පැමිණෙන නාගරිකයන් එය බෝපත් ඇල්ල ලෙස හඳුන්වන්නට වු බැවින් එහි ප්‍රසිද්ධ නාමය මෙලෙස විකෘති කොට තිබේ. එහෙත් එය "ඕපත්ඇල්ල" නමින්ම නිවැරැදි විය යුතුය.

විශේෂයෙන් සංචාරක ආයතන මෙම දිය ඇල්ලේ ඓතිහාසිකත්වය අගයමින් ඒ පිළිබඳව දක්‌වන විශේෂ සැලකිල්ල සේම එහි පෞරාණිකත්වය රැකදෙන ඓතිහාසික නාමය වන ඕපත් ඇල්ල යන්නද ආරක්‍ෂාකර තැබීම ජාතික යුතුකමක්‌ වන්නේය.

ගාමිණී මෛත්‍රීවර්ධන
http://www.divaina.com/2013/10/29/feature05.html

0 comments: