Pages

Thursday, October 24, 2013

දැන් අපට දරුවෝ පහයි හරිම සතුටුයි රැකගන්න වැටුප මදියි. ටික කාලයක්‌ හෝ පිහිටක්‌ ලැබුණොත් හොඳයි - පියා

ගාල්ල, මහ ඉඳුරුව නෙළුම් පොකුණගම පදිංචි 27 හැවිරිදි හේෂිකා ප්‍රසාදි දුල්මිණි මව කොළඹ කාසල් රෝහලේ දී පසුගියදා සිව් නිවුන් දරුවන් බිහි කළාය. 

බම්බලපිටිය ඊසොෆ්ට්‌ ආයතනයේ මුද්‍රණ අංශයේ සේවය කරන 28 හැවිරිදි සංජීව චාමර එම දරුවන් සිව්දෙනාගේ පියාය. 

දින කිහිපයක්‌ දැඩි සත්කාර ඒකකයේ සිටි මෙම සිව් නිවුන් දරුවන්ගෙන් තිදෙනකු මේ වන විට නිසි බර සම්පූර්ණ කර මව් ළදරු ඒකකයේ නිරෝගීව පසුවන බව එම ඒකකයේ කාර්ය භාර හෙද නිලධාරිනී එච්. එම්. අමරා කුමාරිහාමි මහත්මිය "දිවයින" ට පැවසුවාය.

සිව් නිවුන් දරුවන්ගෙන් එක්‌ අයෙකු පුතෙකු වන අතර අනෙක්‌ දරුවන් තිදෙනා දූවරු වෙති.

දුල්මිණි හා සංජීව යුවළට වයස අවුරුදු දෙකයි මාස අටක වැඩිමල් දියණියකද සිටින බව ඔවුහු අප සමග පැවසූහ. 

මාස දෙකහමාරකට වැඩි කාලයක්‌ කොළඹ කාසල් රෝහලේ නේවාසිකව සිටි දුල්මිණිගේ දරු උපත සඳහා සිසේරියන් සැත්කම සිදු කර ඇත්තේ විශේෂඥ වෛද්‍ය ගාමිණී පෙරේරා මහතා විසින් වන අතර දරුවන් සිව්දෙනා පිළිබඳ වෛද්‍යවරයා වන්නේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය සමන් කුමාර මහතා ය. 

"අපට හරිම සතුටුයි. දරුවන් සිව්දෙනාම නිරෝගීව සිටිනවා. කාසල් රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ඩබ්ලිව්. කේ. වික්‍රමසිංහ මහතා විශේෂඥ වෛද්‍ය ගාමිණී පෙරේරා මහතා, ළමා රෝග විශේෂඥ වෛද්‍ය සමන් කුමාර මහතා, පහ හා හය වාට්‌ටුවල සිටින සියලුම රෝහල් කාර්ය මණ්‌ඩලය දරුවන් ගැන බලමින් සියලු උපදෙස්‌ ලබාදෙන මව් ළදරු ඒකකයේ කාර්ය භාර හෙද නිලධාරිනී අමරා කුමාරිහාමි මහත්මිය ඇතුළු සහාය දැක්‌වූ සැමටම ස්‌තුතිවන්ත වෙනවා" යෑයි සිව් නිවුන් දරුවන්ගේ මව දුල්මිණි කීවාය. 

"දරුවෝ ගොඩාක්‌ ඉන්නවා කියන ආඩම්බරයක්‌ වගේම විශාල අභියෝගයක්‌ දැන් මට තියෙනවා. දූවරුම සිව් දෙනෙක්‌ හා එක පුතෙක්‌ කියන්නේ ලොකු වගකීමක්‌. මේ දරුවන්ට නිසි පෝෂණය, ආහාර, ඇඳුම්, කිරිපිටි, බෙහෙත්, විටමින් වර්ග ඇතුළු අවශ්‍යතා සපුරන්න මගේ වැටුප නම් කොහෙත්ම ප්‍රමාණවත් නැහැ. මට දැන් තියෙන ලොකුම ප්‍රශ්නය තමයි මේ පැටව් ටික ගෙදර අරගෙන ගිහින් ජීවත් කරවන්නේ කොහොමද කියන එක. ටික කාලෙකට හරි කවුරු හරි උදව් කරනවා නම් ස්‌තුතිවන්ත වෙනවා යෑයි දරුවන්ගේ පියා සංජීව චාමර "දිවයින" ට පැවසීය.

තුෂාරී කළුබෝවිල
http://www.divaina.com/2013/10/24/news26.html

0 comments: