Pages

Monday, October 28, 2013

මළ ගායකයන් වළෙන් නැගිටුවමින් ගංජා - ඈෂ් - කේජී අතර මල් ගසන්නන්ගේ මල්-මල් ලෝකය

පොප් දරැල්ලේ රැප් වෙමින් උඩින් යන්නට වෙර දරන මෙරට තරුණ පරපුරේ ඇතැමුන්ට වර්තමානයේ සිය මනෝ ලෝකයන් වෙත ඇදී යැමට නිර්මාණය වී ඇති අවස්‌ථා රාශියකිs. ඒ අනුව සුරාව, සූදුව, කාමය පමණක්‌ නොව අමනකමේ සියලු දොරටු විවර වී ඇති ගුබ්බෑයම් වෙත ඇදෙන අපේ ඇතැම් තරුණ තරුණියෝ අද දවසේ සිය ජීවිතයට ළං කර ගනිමින් සිටින විනාශය සුළුපටු එකක්‌ද නොවෙති.

එහෙත් රටේ අනාගතය එසේ වැනසෙමින් තිබුණද සමාජයේ වැඩි දෙනකුට එකී විනාශය පිළිබඳ වැඩි වැටහීමක්‌ද නොමැත්තේය. පවතින ජීවන අරගලය හමුවේ සර්වපිත්තල ලෝක දෙස ඇස්‌ යොමන්නට ඔවුනට ඉසිඹුවක්‌ නොමැති වීම ඊට හේතු වී ඇත. 

එසේ රට්‌ටු කිසිත් නොදැන සිටියද දිනෙන් දිනම මෙරටට ඇදී එමින් තිබෙන අනේක වූ විසූක දස්‌සන හමුවේ ජාතියේ අනාගත පරපුර මොහොතක්‌ පාසා වැනසෙන්නේය. ඒ බව අප සඳහන් කරනුයේ වගකීමෙනි. නමුත් පවතින සත්‍යය එය වුවද එකී විනාශය පිටුදකින්නට යමක්‌ කළ යුතු, කළ හැකි පිරිස්‌ අද කරමින් සිටිනුයේ කුමක්‌ද?

ජාතියේ මුර දේවතාවුන් වන මහ සඟ පරපුරේ ඇතැම් උතුමෝ පෙනෙන "කන්" නොදැක දුර ඇති "අංa" අතගාන්නාහ. එසේ කරමින් ජාතිය රකින්නට වරෙව් යෑයි පවසා රට ජාත්‍යාලයෙන් මුසපත් කරන්නට වෙර දරන්නාහ. ඒ අතරේ රට පුරා උදේ සවස බණද ඇසෙන්නේය. ඒවා අසන වගකිවයුතෝ සාදු කියමින් පන්සල්ද යන්නාහ. එතැනනින් නොනවතින ඔවුහු පොහෝ දිනක රටට පේන්නට බවුන්ද වඩන්නාහ. එසේ කරන අතරේ මේ අපේ රටය. එය ස්‌වෛරීය. භෞමිකව අඛණ්‌ඩය. 

ජාතිය ප්‍රෙෘඪය. පවසා කෑමොර දෙමින් අප දැන් "මතට තිත" තබා දුරාචාරය, සහ අමනකම් දුරලා රට සංවර්ධනයේ ආශ්චර්යය කරා ගෙන යමින් සිටින්නේ යෑයිද කියන්නාහ. ඒ කතාවලින් සමහරක්‌ සත්‍යය. අපිද එය පිළිගන්නෙමු. දැන් මේ බිම ස්‌වෛරීය. එහි විවාදයක්‌ නැත. භෞමිකවද අඛණ්‌ඩය. ඒ පිළිබඳවද අපට ගැටලුවක්‌ නැත. නමුත් මහත්වරුනි, මතට තිත තබා අමනකම් දුරලා දුරාචාරයෙන් මේ බිම සහ අපේ උන් ගලවා ගන්නට එසේ පවසන කිසිවෙකුටත් තවමත් හැකිව තිබේද?

එය අද අප හමුවේ මතුවෙමින් තිබෙන පැහැදිලි ගැටලුවකි. එවන් ගැටලුවක්‌ මතුවන්නට ඇති කරුණු කාරණාද රාශියකි. පංචකාමයේ ගිලී විඳින්නේ යෑයි සිතා ජීවිතය විඳවීමට මග විවර කෙරෙන අශික්‌කිත ක්‍රියාදාමයන් හේතුවෙන් රටේ අනාගතයට සිදුවෙමින් තිබෙන විනාශය එකී කරුණු අතරේ ඉදිරියෙන්ම තිබෙන්නක්‌ බවද කිව යුතුය. 

සුරාසල්.., හතු පිපෙන්නාක්‌ සේ මතුවන බියර් ෂොප්, නයිට්‌ ක්‌ලබ්, බීච් පාටි. මේ සියල්ල ඉදිරියේ අඳ, ගොළු සහ බිහිරි න්‍යායෙන් රඟන බලධාරින්... 

වර්තමානයේ රටේ තාරුණ්‍යය වනසන ඉහත ක්‍රියාදාමයන් පිළිබඳ කල්පනා කරද්දී කලකට ඉහත ප්‍රවීණ ගායන ශිල්පිනී නන්දා මාලනිය ගැයූ "පානම්පත්තුවේ ඩිංගිරි අම්මා" නම් වූ ඒ අපූරු ගීතය මගේ සිහියට නැගෙන්නේය. ඇය ගැයු පරිදි වටවන්දනාවේ ගිය "ඩිංගිරි අම්මා" ගමේ චණ්‌ඩියා වූ "ස්‌ටැන්ලි" රන් වැට පැන සිරිමා බෝ සමිඳු වඳින සැටිත් කතරගමදී සීයේ කොළවලට මුල් තැන ලැබෙන හැටිත් දැක කම්පා වී ඒ අවනඩුව රටටම ඇහෙන්නට කීවාය.

"ඩිංගිරි අම්මා" කී ඒ කතාව එකල නන්දා මාලනිය ගයද්දී ඊට සවන් දුන් අප "හොඳ වැඩේ මුන්ට" යෑයි සිතමින් සිතින් සතුටු වූවා මේ දැනුදු මතකයට නැගෙන්නේය. නමුත් කතාව ඇත්තේ එතැන නොව. එදා වටවන්දනාවේ ගිය "ඩිංගිරි අම්මා" මෙදාපොටේ වැරදිලාවත් අඳුරු රැයක කොළඹට පැමිණියහොත් දකින නරනාටක හමුවේ කුමක්‌ කියනු ඇතිදැයි සිතන විටය.

බලධරයනි., නුඹලා දන්නේද? එවැන්නක්‌ සිදු වුවහොත් අද දවසේ රටේ දූ පුතුන් වැනසෙන අන්දම දකින "ඩිංගිරි අම්මා" කම්මුලේ අතගසාගෙන "අනේ අනිච්චං" කියන අතරේ හොඳටම කේන්ති ගොස්‌ "පර බල්ලනේ තොපි මකබෑවිලාම පලයං යෑයි" නුඹලාට දෙස්‌ දෙනු නොමැත්තේද? වැඩේ ඇත්තේ ඒ තරමටම දුරදිග ගොසිනි. සියල්ල සිදු වෙමින් තිබෙන්නේ චිකාගෝ ක්‍රමයෙන්ය. එහෙත් අද දවසේ මේ කිසිත් දකින්නට "ඩිංගිරි අම්මා" නොඑන්නේය. ඇය දැන් වයසය. එසේ වුවද ඇයට වයස යෑයි පවසා මේවා දැක දැක අපට නිහඬව සිටින්නටද නොහැකිය. ඒ "දිවයිනේ" හද ගැස්‌ම කවදත් ඇත්තේ මේ රට සමග නිසාය. එහෙයින් සියලු කුණු දැසින් දැක බලා වයසක "ඩිංගිරි අම්මා" වෙත ගොස්‌ රහසින් හෝ කියන්නෙමියි සිතාගෙන ඉකුත් සතියේ දිනෙක නැවත වරක්‌ රටේ තාරුණ්‍ය වැනසෙමින් තිබූ ගුබ්බෑයමකට රිංගා ගැනීමට මේ ලියුම්කරුට හැකිවිය. ඉතින් මම එහි ගියෙමි. කොළඹ රාජගිරියේ සිට පහලට ඇදී යන මාවතක්‌ අද්දර එකී ගුබ්බෑයම පිහිටා තිබිණි. සියල්ල සිදු වෙමින් තිබුණේ "වරෙන් මචං ගනින් එකක්‌" ක්‍රමයෙන්ය. එය සුපිරි උපන් දින සාදයකි. ආරාධිතයන්ද රාශියකි. එදා අප ආදරය කළ සහ අද මෙන්ම හෙටත් අප ආදරය කරන වින්දනීය ගීත රැසක්‌ අපට ගැයූ නැසී ගිය ප්‍රවීණ ගායකයකුගේ පුත්‍ර රත්නයක්‌ සාදයේ හිමිකරු වී සිටී.

එහෙත් ගායක තාත්තාට එසේ ආදරය කළද ඒ රැයේ එහි ඇතුළු වූ මොහොතේම අකුණු සර මෙන් විහිද ගිය විදුලි ධාරා අතරේ සිදු වෙමින් තිබූ පංචකාම නාටක දුටු මට "මූ ඉපදුනේ කුමකටදැයි සිතුනේ නිරායාශයෙනි. මගේ සිතුවිල්ල එසේ වුවද සාදයට අනුව මේකා දැන් ඉපදී අහවර බව තහවුරු වන නිසා කාටත් නොදැනෙන්නට ඒ පුතා අපි පෙරෙයිරා ලෙසින් හඳුන්වන්නෙමු. 

මගේ ගමන කාටත් රහසකි. සාදයට ඇරයුම් ලද්දොa තවමත් එහි ඇදෙමින් සිටිති. ඒ අතරේ තරු, පටිවලට පමණක්‌ නොව රාජ්‍ය ලාංඡනවලටද උරුමකම් කියූ පොලිස්‌ ලොක්‌කන් සහ ප්‍රාදේශීය දේශපාලනඥයන් 

දෙතුන් දෙනකුද සිටිති. පාතාලයන්ද අඩු නැත. ජැන්ඩියට හැඳ පැළඳි තරුණ තරුණියෝ පොකුරු පිටිනි. මධුවිත, රසමසවුළු ඇති පදම් මෙහි වේ. ගුබ්බෑයම කොනක ඉදිවූ වේදිකාවකි. සංගීත කණ්‌ඩායමක්‌ද එහි සිටිති.

කෙමෙන් ඒ සාදය ඇරඹුණේය. මම බලා සිටියෙමි. තප්පර විනාඩි බවට පත් වෙද්දී පිරිස මධුවිත තොලගා බමන මත කැන්දා ගනිමින් සිටිති. බාගෙට නිරුවත වසා ගත් ලස්‌සන ගැටිස්‌සියන් පිරිසක්‌ මත් වන උන් වෙත ගොස්‌ සැප බෙදන්නීය. කන් අඩි පුපුරන තරමේ සංගීතය සමග වේදිකාවට ගොඩවන අපේ කතානායක පෙරෙයිරා යුගයේ නළු බට්‌ටන් සහ මිනිස්‌ රස භාව මරා දමන ගායකයන් කියන උන් විටින් විට ගීතද ගයන්නේය. මෙ සියල්ල අතරේ වේලාව කෙමෙන් මැදියම් රැයටද ආසන්න වන්නට විය. සාදයක නමින් ඇරැඹි එසේ රෑ මැදියමට ළඟා වෙද්දී එය නියම තොවිලයක්‌ බවට පත්වූයේ බලාසිටියදීමය.

මෙතෙක්‌ පැවති මධුවිත අතරේ සංග්‍රහ කරන්නන් යෑයි සිතිය හැකි තරුණයන් පැමිණ දැන් දැන් වෙනත් දේද එකිනෙකා වෙත බෙදමින් සිටින්නේය. ඒ එකෙකු මා වෙතද පැමිණියේය. "අයියේ මලක්‌ ගහනවද"..? හේ මගෙන් අසයි. මම එය කාරුණිකව ප්‍රතික්‍ෂෙප කළෙමි. "එහෙනම් ඈෂ් කෑල්ලක්‌..?"හේ නැවතත් මා විමසන්නේය. මම දෙපසට හිස සැලුවෙමි. "ඕන දෙයක්‌ කියන්න අයියේ.. අවුලක්‌ නැහැ.. කුඩු පැකට්‌ එකක්‌ හරි ටැබා එකක්‌ හරි ගන්නවද? හැම දේම තියෙනවා.. අයියට ඕනේ මොනවද කියන්න.." මත නිසා වචන පටලවමින් කතා කළ තරුණයා මට යළි යළිත් කියමින් සිටී. 

ඔහුගේ ඒ වචන කිහිපය ඇසෙත්ම ගැස්‌සී ගිය මම පොලිස්‌ ලොක්‌කනුත් සිටින මේ සාදයේ ගංජා, ඈෂ්, කේජී, මත් කුඩු සහ ටැබා බෙදන්නේ කෙසේදැයි මොහොතක්‌ කල්පනා කළෙමි. ඒ සමගම අඩ අඳුරේ මා ඉදිරියේ සිටිමින් මට මත පොවන්නට නිර්භයව වෙහෙසෙන මේ තරුණයා මොන වගේ කෙනකු දැයි දැන ගැනීමේ අදහස ඇතිව ඔහු දෙස වුවමනාවෙන් බැලුවෙමි. පුදුමයකි. මේ මා ඉදිරියේ සිටින්නේ අපේ ගායක පුතාගේ බාල සොයුරෙකි. මේකා වරක්‌ කුඩු ගසන්නට ගොස්‌ පොලිසියට කොටුවී බන්ධනාගාරයටද ගියා මගේ මතකයේ වේ. ඒ සමගම මම අවට හාත්පස දෙසද නෙත් හරවා බැලුවෙමි. සංග්‍රහශීලී තරුණයන් අපේ පොලිස්‌ ලොක්‌කන් සිටින ඉසව්වලටද ගොස්‌ බොනවුන්ට කුඩු, ගංජා, ඈෂ් පමණක්‌ නොව ටැබාද (මත්පෙති) වගේ වගක්‌ නැතිවම බෙදාහරිමින් සිටී. දැන් දැන් මෙතෙක්‌ පැවති මධුවිතේ මතෙන් එහාට ගොස්‌ සිටින සාදයේ බොහෝ වුන් මරහඬ දෙමින් ලවක්‌ දෙවක්‌ නැතිව නටන්නේය. 

සැමට සැප බෙදූ අඩ නිරුවත් තරුණියන්ටද උන් හිටි තැන් අමතකව ගොසිනි. උන් මාරුවෙන් මාරුවට සාදයේ සිටින පිරිමි බදාගෙන සිප වැළඳ ගන්නේ කිටි කිටියේ වෙලෙමින්ය. ඒ තරුණියන්ගේ අත්වලද දැල්වූ මල් කූරකි. ඒ ගිල දමා ඇති "ටැබා" එකට (මත් පෙත්තට) අමතරවය. 

සාදයේ ඇතැම් උන් තමන් ළඟට ආ ගැටිස්‌සිය අතහරින්නට බැරිව ලෝබකමින් වඩා ගන්නටද යන්නේය. මේ අතරේ අපේ ගායක පුතා පෙරෙයිරා සැමගේ ඔල්වරසන් හඬ මැද තවත් එකෙකු සමග ගීතයක්‌ ගැයීම සඳහා වේදිකාවට නැග ගත්තේය. ගායක පුතාගේ අතච දැල්වූ කූරක්‌ වේ. ඒකාන්තයෙන්ම එය හොඳින් ඔතා ගත් ඈෂ් කෑල්ලක්‌ හෝ කේජී කුට්‌ටියක්‌ බවට සැකයන් නැත. 

වේදිකාවට ගොඩ වූ ගායක පුතා සහ අනෙකා දැන් මාරුවෙන් මාරුවට අත ඇති මත උරමින් ගීතයක්‌ ගයන්නාහ. අනේ, ඒ අප ආදරය කළ නැසීගිය ගායක තාත්තාගේ ගීතයකි. නිකමට හෝ ඒ සොඳුරු මිනිසා මේ දසුන දකින්නට නොමැරී සිටියේ නම් මේ මොහොතේ හද පැලී මැරී වැටෙන බව සහතිකය. ගායක පුතා පෙරෙයිරාගේ සහ අනෙකාගේ ගීතයට සාදයේ සිටි මත්වූවො මොහොතින් මොහොත කුලප්පු වෙමින් සිටිති. ඒ අතරේ දිව යමින් සිටි කාලය ඒ රැය ගෙවා දමා අලුයමටද ළඟා වී ඇත.

අවසානයේ ගායක පුතා සාදය නිම කිරීමේ අදහසින්දොa පැමිණි සැමට ස්‌තුති කරන්නට මෙන් වේදිකාවේ සිට කතාවක්‌ කරන්නට වූහ. එවන් කතාවක්‌ මේ සමාජයේ අවර කුලකයන් අතරේ රහසේ රිංගා යමින්, ඇති පදම් කැකෑරී සිටින මා කොතැනකදීවත් මෙතෙක්‌ අසා නොතිබුණේය. මේ නරුම ගායක පුත්‍රයාගේ මුවින් පිටිවන සෑම වචනයක්‌ම අමු සුද්ද කුණුහරුපය. සිය කතාව අතරේ සාදයේ මෙතෙක්‌ එකින් එකා බදා ගනිමින් සිරුරු කිති කවා ගත්, වෙසඟනන් බඳු තරුණියන් පිරිස පෙන්වූ ගායක පුතා ජීවිතයේ මෙතෙක්‌ තමන්ට ලිංගික සැප දුන් බව කියමින් ඔවුන්ට විශේෂ ස්‌තුතියක්‌ද පිරිනැමීය. ඊට සියල්ලෝ මර හඬ දී අත්පොලසන්ද දුන්හ. 

එසේ අත්පොලසන් දුන්නවුන් අතරේ අප මෙහි ආරම්භයේදීම කී පොලිසියේ මහත්වරුද දෙතුන් දෙනකු සිටියහ. සියල්ල මෙසේ සිදුවෙද්දී දැසින් දුටු අමන නාටක මතකයේa තබාගෙන දවස ගෙවෙමින් තිබූ ඒ අලුයම් කාලයේ සාදයේ නිමාව සටහන් වන්නට පෙර මම පැමිණියා සේම කාටත් හොරා පලා යැමේ මෙහෙයුම අරඹමින් ඉන් පිටතට පැමිණියෙමි. 

මළ ජංජාලයකි. සාදය පැවති ගුබ්බෑයම අවට නිවෙස්‌වල විසූ එකෙකු දෙන්නකු පිටතට පැමිණ කෝපයෙන් යුද ප්‍රකාශ කරමින් සිටී. ගුබ්බෑයම වටා දැඩි පොලිස්‌ ආරක්‍ෂාවකි. ඒ ඇයි දැයි දැන ගැනීමේ අටියෙන් මම හිමින් සීරුවේ ඒ එක්‌ අයකු වෙත සමීප වූයෙමි. "මළ කරදරයක්‌නේ මේක.. මේ ගෙවල්වල මිනිස්‌සුන්ට රෑ එළිවෙනකල් නිදා ගන්න නැහැ.. මුන්ගේ රෙද්දවල් මුන් කර ගන්න ඕනේ අපට වදයක්‌ නොවෙන්න.." 

අපි පොලිසියට කිව්වා.. උන් අපේ පැමිණිල්ල භාර ගන්නත් බැහැ කියනවා.පොලිසියේ ලොකු මහත්තයා පාටියේ ඉන්නවලු. අපි මේ රටේ මිනිස්‌සු නෙමේද? හේ වියරුවෙන් මෙන් කියාගෙන යන්නේය. එකී යුද ප්‍රකාශ අතරේ තවත් සුළු මොහොතක්‌ ගෙවෙද්දී සාදය පැවති ගුබ්බෑයමට පොලිස්‌ ආරක්‍ෂාවට අමතරව හමුදා ආරක්‍ෂාවක්‌ද ලැබුණේ මා බලා සිටියදීමය. එය සාදයේ සිටි යුද හමුදා ලොක්‌කකුගේ ආරක්‍ෂාව වෙනුවෙන් සැපයූවක්‌ බව පසුව දැනගන්නට ලැබිණ. ඉතින් තවත් මොන කතාද? මම ඉදිරියට තැබූ පය ආපස්‌සට නොගෙනම ඒ ඉසව්වෙන් පිටවවීම ඇරඹුවෙමි. රටේ වගකිව යුතු මහත්වරුනි, මේ සටහන් කෙරුණේ මා "ඩිංගිරි අම්මාට" කීමේ අදහසින් අපේ අනාගත පරපුර වැනසෙන අන්දම දැසින් දකින්නට ගිය ඒ ගමනේදී ඇස්‌ පනාපිට සිදුවූ දේම පමණි.

නමුත් ඒ බව පවසන අතරේ මේ රටේ බලධාරින්ගෙන් අසන්නට මට එකම එක පැනයක්‌ මතුවී තිබේ. ඒ නිශාචර කලවැද්දන් පිරිසක්‌ සේ එදා රාජගිරිය ගුබ්බෑයමේදී මෙකී අමනයන් කුඩු, ගංජා, ඈෂ්, සහ මල් උරමින් වෙසඟනන් බදාගෙන ඩෙඟා නටද්දී රටේ නීතිය තිබුණේ කොතැනකද යන්න පමණි.

සමන් ගමගේ
http://www.divaina.com/2013/10/27/feature16.html

1 comments:

Anonymous said...

අනේ හුකේ නන්නානේ.. සුරංගනා කතාවකට ටිකක් ළං වෙන්ට ලියල තියෙනව. සාදු කාර දී ඔරුවක නැගිලා පලයන් තමා කියන්ට තියෙන්නේ.. තාත්තගේ වැඩ අපි නොදන්න එකක්යැ.. ලියාපු සමන් මහත්තය නොදැනගත්තට අපිට අහවල් එකය?