Pages

Monday, October 21, 2013

ඉන්දියා අගමැති කොළඹ සමුළුව වර්ජනය කරයිද?

දින නවයක ඉන්දීය සංචාරයකින් අනතුරුව බ්‍රිතාන්‍ය ඔටුන්න හිමි චාල්ස්‌ කුමරු හා කැමිලා පාකර් බොල්ස්‌ යුවළ ලබන නොවැම්බර් 14 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව නවදිල්ලියේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌ කාර්යාලය පසුගියදා නිවේදනය කර සිටියේය. චාල්ස්‌ කුමරු සිය 65 වැනි උපන්දිනය සමරන්නේද ශ්‍රී ලංකාවේ වන අතර එම උත්සවය කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌ කාර්යාලයේ දී පැවැත්වෙනු ඇත. 87 හැවිරිදි දෙවැනි එළිසබෙත් රැජින සෞඛ්‍ය හේතු මත දීර්ඝ ගුවන් චාරිකාවල නොයෙදෙන අතර එම නිසාම ඇය කොළඹ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්‌ඩලයීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි නොවන බව මීට මාස කිහිපයකට පෙර නිවේදනය කර තිබිණි. ඇය වෙනුවෙන් ඇගේ දෙටු පුත් චාල්ස්‌ කුමරු කොළඹ නෙලුම් පොකුණ රඟහලේ පැවැත්වෙන 23 වැනි පොදු රාජ්‍ය මණ්‌ඩලයීය රාජ්‍ය නායක සමුළුවේ ප්‍රධාන අමුත්තා වනු ඇත. පොදු රාජ්‍ය මණ්‌ඩලයීය සමුළුවක්‌ සඳහා චාල්ස්‌ කුමරු තම මවු රැජින නියෝජනය කරනු ලබන පළමු අවස්‌ථාවද මෙය වේ. පසුගිය 40 වසර පුරාම එනම් 1973 සිට ලොව පුරා පැවැති පොදු රාජ්‍ය මණ්‌ඩලයීය සමුළුවලට එහි නායිකාව වශයෙන් එළිසබෙත් මහ රැජින සහභාගි වූවත් දැන් ඇය ඒ අවස්‌ථාව සිය පුත්‍රයාට පවරා ඇත.

2009 දී ට්‍රිනිඩෑඩ් හා ටොබාගොහි පැවැති පොදු රාජ්‍ය මණ්‌ඩලයීය සමුළුව 2013 දී පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාවේ දී බව යෝජනා වූ අතර එය 2011 ඔස්‌ට්‍රේලියාවේ පර්ත් හි පැවැති සමුළුවේදීත් ස්‌ථිර විය. මෙම සමුළුවට තමන් සහභාගි නොවන බව ප්‍රකාශ කර ඇත්තේ කැනඩා අගමැති ස්‌ටීවන් හාර්පර් පමණකි. කැනඩා අගමැතිවරයා තමන්ව අනුගමනය කර මේ සමුළුව වර්ජනය කරන්නැයි අනෙක්‌ රටවලින් ඉල්ලා සිටියද බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් එරට පාර්ලිමේන්තුවේදීම ප්‍රකාශ කර සිටියේ තමන් මේ සමුළුව සඳහා සහභාගි වන බවය.

මෙරට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌ ජෝන් රුන්තිත් ද පොදු රාජ්‍ය මණ්‌ඩලයීය නායක සමුළුව ලංකාවේ පැවැත්වීම දැඩිලෙස සාධාරණීකරණය කර ඇත. කැනඩා රජයේ විරෝධය කවරක්‌ වුවත් මෙම සමුළුව කොළඹ පැවැත්වීම පිළිබඳ කිසිම ප්‍රශ්නයක්‌ නැති බව ඔහු විදෙස්‌ මාධ්‍යවේදීන් කණ්‌ඩායමක්‌ හමුවේ ප්‍රකාශ කර ඇත. මෙම සමුළුව කොළඹ පැවැත්වීමට මුලින්ම යෝජනා වූයේ 2009 දී බව බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌වරයා අවධාරණය කර ඇත. ශ්‍රී ලංකා නායකයා 2013 - 2015 කාලයේ පොදු රාජ්‍ය මණ්‌ඩලයේ සභාපති ලෙස කටයුතු කරන නිසා මානව හිමිකම් ආරක්‍ෂා කිරීම ගැන වඩාත් අවධානය යොමු කරනු ඇති බව රුන්කින් ප්‍රකාශකර ඇත.

පොදු රාජ්‍ය මණ්‌ඩලයීය නායක සමුළුවට මුළු කොළඹම සූදානම් වන අයුරු නගරය පුරා සිදුකෙරෙන ඉදිකිරීම්, අලුත්වැඩියාවන් අනුව මනාව පසක්‌ වෙයි. එහෙත් මේ සියල්ල මැද ඉන්දීය අගමැතිවරයාගේ පැමිණීම තවමත් තහවුරු කර නැත. පසුගියදා මෙරටට පැමිණි ඉන්දීය විදේශ අමාත්‍ය සල්වාන් කුර්ෂිද් පවා ප්‍රකාශකර සිටියේ මේ සමුළුව සඳහා තමා පැමිණෙන නමුත් අගමැතිවරයාගේ පැමිණීම පිළිබඳ නිල නිවේදනයක්‌ මෙතෙක්‌ නිකුත්කර නැති බවය. ලෝකයේ වැඩිම දෙමළ ජනගහනය වෙසෙන්නේ ඉන්දියාවේය. ලෝක දෙමළ ප්‍රජාව පොදු රාජ්‍ය මණ්‌ඩලයේ සභාපතිවරයා ලෙස මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා පත්වීම ගැන උරණව පසුවන්නේද? රටවල් 54 ක්‌ පොදු රාජ්‍ය මණ්‌ඩලයේ සාමාජිකත්වය දරති. 2014 මැතිවරණය ළඟ ළඟ එන නිසා තමිල්නාඩුව තරහ කර ගැනීමට පාලක කොංග්‍රස්‌ පක්‍ෂය කොහෙත්ම කැමැති නැත. නමුත් අසල්වැසි රාජ්‍යයේ පැවැත්වෙන මේ සමුළුවට සහභාගි නොවීමෙන් ඉන්දියාවද බලවත් රාජ්‍යතාන්ත්‍රික වැරැද්දක්‌ කරගන්නා බවට කිසිම සැකයක්‌ නැත.

තමිල්නාඩුවේ සියලු දෙමළ පක්‍ෂ නායකයන් ඉල්ලා සිටින්නේ මන්මෝහන් සින් අගමැතිවරයා කොළඹ සමුළුවට සහභාගි නොවිය යුතු බවය. ශ්‍රී ලංකා විදේශ ඇමැති ජී. එල්. පීරිස්‌ විසින් පොදු රාජ්‍ය මණ්‌ඩලයීය සමුළුවට සහභාගි වන ලෙස ඉන්දීය අගමැතිවරයාට දිල්ලියටම ගොස්‌ ආරාධනා කළද මෙතෙක්‌ ඔහු නිසි ප්‍රතිචාර දක්‌වා නැත. ලොව පුරා විසිරී සිටින දෙමළ ඩයස්‌පෝරාවට අවශ්‍ය 1961-1994 කාලයේදී දකුණු අප්‍රිකාව පොදු රාජ්‍ය මණ්‌ඩලයෙන් ඉවත්කර තැබූ ආකාරයට ශ්‍රී ලංකාවද පිටුවහල් කර තැබීමය. නමුත් එය සිදුනොවන බව පැහැදිලි සත්‍යයකි. දැන් ඔවුන් උත්සාහ කරන්නේ ඉන්දීය අගමැතිවරයා හෝ මෙම සමුළුවට සහභාගිවීම වැළැක්‌වීමටය. කැනඩා අගමැතිවරයා ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳව කතා කිරීම එරට සිටින ලක්‍ෂ සංඛ්‍යාත දෙමළ කැනේඩියානු ඡන්ද දායකයන් සතුටු කිරීමක්‌ මිස අන් කිසිවක්‌ නොවන බව පැහැදිලිය.

චෙන්නායි හි දෙමළ දේශපාලන ක්‍රියාකාරිකයකු වන 63 හැවිරිදි තියාගු කොළඹ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්‌ඩලයීය සමුළුවට එරෙහිව උපවාසයක්‌ ආරම්භ කළේ ඉකුත් ඔක්‌තෝබර් 01 වැනිදාය. පොදු රාජ්‍ය මණ්‌ඩලයීය නායක සමුළුව කොළඹ පැවැත්වීම වහා අවලංගු කිරීමට ක්‍රියාකරන ලෙස ඉල්ලා මේ තියාගු විසින් ඉන්දීය අගමැතිවරයාට විශේෂ ලිපියක්‌ද යවා ඇත. වෛද්‍ය ප්‍රතිකාරද ප්‍රතික්‍ෂේප කරමින් මේ පුද්ගලයා කොළඹ සමුළුවට එරෙහිව උපවාසයක යෙදී සිටී. මෙම උපවාසය තමිල්නාඩුව පුරා විසිරී පැතිරී සිටින කොටි හිතවාදීන්ට නම් උද්දීපනයට කාරණයක්‌ වී ඇත. මේ උපවාසය හා සමගාමීව "කොළඹ සමුළුව එපා" යන තේමා පාඨය ඔස්‌සේ පාපැදි රැලියක්‌ද සංවිධානය කර තිබිණි.

ඉන්දීය මධ්‍යම ආණ්‌ඩුවේ ඇමැතිවරයෙක්‌ වන ජී. කේ. වසන් කොළඹ සමුළුවට සහභාගි නොවන ලෙස ඉන්දීය අගමැතිවරයාගෙන් විශේෂ ඉල්ලීමක්‌ සිදුකළ බව එරට මාධ්‍යවල පළ වී තිබිණි. මේ අතර "මේධා පත්තාර්" එනම් ජාතික සන්ධාන මහජන බලවේගයේ කැඳවුම්කරු විසින් ප්‍රාන්ත 12 ක ප්‍රධාන නගර 15 ක්‌ ආවරණය වන පරිදි විරෝධතාවක්‌ සංවිධානය කර ඇත්තේ ඉන්දීය අගමැතිවරයාට කොළඹ සමුළුවට සහභාගි නොවන ලෙස බල කිරීමටය.

තමිල්නාඩුවේ දේශගුණයෙන් සියලු දෙනා එනම් මහ ඇමැතිනි ජයලලිතා ජෙයරාම්ගේ සිට විපක්‍ෂ නායක මුතුවෙල් කරුණානිධි දක්‌වා පිරිසත් සෙසු බෝඩ් ලෑලි කොටි හිතවාදීන්, සියලු දෙනාත් මහින්ද රාජපක්‍ෂ පොදු රාජ්‍ය මණ්‌ඩලයේ සභාපතිවනු දැකීමට තදින්ම විරෝධය පළ කළද උතුරේ නව මහ ඇමැති සී. වී. විග්නේෂ්වරන් පවසා තිබුණේ කුමක්‌ද? ඉන්දීය අගමැතිවරයා, කොළඹ සමුළුවට සහභාගි විය යුතු බවය. මෙය දෙමළ සන්ධානයේ සමහර නායකයන්ගේ ඇස්‌ රතු කරවන්නක්‌ වුවත් විග්නේෂ්වරන් මහතාගේ ප්‍රකාශය සැබවින්ම අප අගය කළ යුතුය. මීළඟ ඉන්දීය මහ මැතිවරණය පැවැත්වෙන්නේ ලබන අප්‍රේල් - මැයි මාසවල දීය. වර්තමාන ඉන්දීය දේශපාලනය ගැන සලකා බැලීමේදී මීළඟ අගමැති වන්නේ රාහුල් ගාන්ධි නොව ගුජරාට්‌ මහ ඇමැති නරේන්ද්‍ර මෝඩි බව පැහැදිලිය. කොංග්‍රස්‌ පක්‍ෂයේ දේශපාලන සෝදාපාලුව නතර කිරීම සඳහා තමිල්නාඩුවෙන් තල්ලුවක්‌ ගැනීමට මන්මෝහන් සින් ආණ්‌ඩුව උත්සාහ ගන්නේද? මේ සමුළුවට ඉන්දීය අගමැති සහභාගි වුවත් නැතත් ඉදිරි මහ මැතිවරණයේදී නරේන්ද්‍ර මෝඩි අගමැතිවීම වැළැක්‌විය නොහැකිය. එමෙන්ම ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පොදු රාජ්‍ය මණ්‌ඩලයේ සභාපති වීමද වැළැක්‌විය නොහැක. කෙසේ නමුත් කොළඹ සමුළුව වර්ජනය කිරීමට ඉන්දීය අගමැතිවරයා තීරණය කළ හොත් එය විශාල රාජ්‍යතාන්ත්‍රික අත්වැරැද්දක්‌ මෙන්ම අමනකමක්‌ වනු ඇත. එයින් පසුව ලංකාවේ චීන ආක්‍රමණය ගැන තවදුරටත් ඉන්දීය මැසිවිලි උග්‍රවනු ඇත.

චතුර පමුණුව
http://www.divaina.com/2013/10/20/politics02.html

0 comments: