Pages

Tuesday, October 22, 2013

විගීගේ වගකීම - උතුර බුද්ධිමත්ව මෙහෙයවීම

ශ්‍රී ලංකාවේ දේශපාලනය මෙන්ම දේශපාලන පක්‍ෂ ද විවිධ අභ්‍යන්තර හා බාහිර ගැටුම් සමඟ ගලා යන ප්‍රවාහයක්‌ බවට පත්ව තිබෙන බව අමුතුවෙන් කිව යුතු නැත. පසුගියදා මාතරදී පුපුරා ගිය එජාප ගැටුම දැන් එජාපයම බරපතළ අර්බුදයකට ඇද දමා තිබේ. එජාප පාක්‍ෂිකයන් මැදි වූ මාතර කුරුඳු පොලු සටන එම පක්‍ෂයේ ප්‍රජාතන්ත්‍රවාදී මුහුණුවරට ඓතිහාසික කළු පැල්ලමක්‌ එක්‌ කරන ලද බව ද සඳහන් කළ යුතුය. එසේම ඒ සටනේ ගිනි පුපුරු තවමත් දැල්වෙන බව ද ඉතා පැහැදිලිය. එහි ප්‍රතිඵලය කුමක්‌ විය හැකි ද යන උභතෝකෝටිකය එජාප පාක්‍ෂිකයන්ට පමණක්‌ නොව රටටම තිබේ.

සන්ධාන ආණ්‌ඩුවේ ද යම් යම් මතභේද මතු වූ අවස්‌ථා විය. එහි ආසන්නතම සිද්ධිය මධ්‍යම හා වයඹ පළාත් සභාවලින් අපට දැක ගත හැකි විය. මේ හැරුණු විට සන්ධාන ආණ්‌ඩුවේ ඇතැම් ප්‍රතිපත්ති හා ක්‍රියාදාමයන් පිළිබඳව ද එහි සිටින ඇතැම් පක්‍ෂවල දැඩි විරෝධය එල්ල වූ හා එල්ල වන අවස්‌ථා ද හිඟ නැත. ජාතික හෙළ උරුමයත්, ජාතික නිදහස්‌ පෙරමුණත් බොහෝ විට කැසිනෝ හා මත්පැන් පිළිබඳ ආණ්‌ඩුව සමඟ ගැටුණි. ඒ ගැටුම යළිත් මතුවෙමින් තිබේ. එසේම උතුරේ ප්‍රශ්නය පිළිබඳව ද ඒ පක්‍ෂ හා ආණ්‌ඩුව තුළම සිටින පැරැණි වම දෙකෙළවරක සිටින බව පෙනේ. එහෙත් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා ඒ සියල්ල සමනය කර ගනිමින් ආණ්‌ඩුව මෙහෙයවීමට සමත්ව සිටියි.

මේ හැරුණු විට දෙමළ ජාතික සන්ධානය ද අද අර්බුදයකට මැදි වී සිටිනු පෙනේ. මෙය දවසින් දවස උත්සන්න වන ලකුණු ද දිස්‌වෙයි. උතුරේ ජනතාව විසින් දෙමළ ජාතික සන්ධානයට දෙන ලද බලය ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට එක්‌ව දෙමළ ජනතාවගේ ජීවිත සුපුෂ්පිත කිරීම සඳහා දෙන ලද වරමක්‌ ලෙස අපි කල්පනා කරමු. එහෙත් ඒ බලය ඊළාම්වාදයේ මිනීවළ ළඟට ගෙන ගොස්‌ එහි වළ දැමූ බෙදුම්වාදය යළි නැගී සිටුවීමට දෙන ලද බලපත්‍රයක්‌ බවට පෙරළා ගැනීමට ද සමහරු වෑයම් කරති.

දෙමළ සන්ධානයේ පිරිසක්‌ එහි මහ ඇමැති ලෙස පත්ව සිටින විග්නේෂ්වරන් සමඟ ඒ ප්‍රජාතන්ත්‍රවාදී හා ව්‍යවස්‌ථානුකූල බලයට අවනත වීමට වෑයම් කරති. රාජ්‍ය නායකයා වන මහින්ද රාජපක්‍ෂ අබියසට ඔවුන්ගේ පැමිණීම තුළින් ප්‍රදර්ශනය වන්නේ එයයි. එහෙත් එම පක්‍ෂයේ තවත් පිරිසක්‌ වෙල්ලිමුල්ලි වයික්‌කාල් හි කොටි සංවිධානයේ අවසන් සටන් බිමට ගොස්‌ දිවුරුම් දෙති. තවත් පිරිසක්‌ වවුනියාවේ හෝටලයක දිවුරුම් දෙති.

මෙලෙස දිවුරුම් දෙන ලද කණ්‌ඩායම් ඉතා පැහැදිලිවම විග්නේෂ්වරන්ගේ පිළිවෙතට පටහැනි වූ වූවෝ ය. එසේම මෙම දිවුරුම් දීම බැලූ බැල්මට ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනුකූල වීමක්‌ ලෙස ද පෙනී යා හැකිය. එමතු නොව දෙමළ සන්ධානයේ විප්ලවවාදීහු වුවද අපගේ ව්‍යවස්‌ථාවට ගරු කරතියි උදන් ඇනීමට ද කෙනකුට පිළිවන. එහෙත් එය යථාර්ථය නොවන බව අපි ඉඳුරා කියමු.

උතුරේ බලය තමන්ට ලැබුණු දා සිටම දෙමළ ජාතික සන්ධානය දැක්‌වූ ප්‍රතිචාර අපට මතකය. එහෙත් එහිදී විග්නේෂ්වරන් සමඟ එක්‌ වූ පිරිස දැක්‌වූ බුද්ධිමත් ප්‍රතිචාරය රටට ඉතා වැදගත් බව අපි සඳහන් කළෙමු. එහෙත් එහි සිටින සිවාජිලිංගම්ලාගේ අරමුණු ඊට වෙනස්‌ ය. මේ රට බෙදන්නට තවමත් බලා සිටින ඊළාම්වාදීන්ගේ හා දෙමළ ඩයස්‌පෝරාවේ අදහස්‌ ද ඊට වෙනස්‌ ය.

නවි පිල්ලේ ඇතුළු බටහිර නඩය තවමත් ප්‍රභාකරන්ට යුක්‌තිය ඉල්ලති. ඔවුන්ට වැදගත් වන්නේ අවසන් සටන් සිදු වූ උතුරේ වෙල්ලිමුල්ලි වයික්‌කාල් ප්‍රදේශයයි. එහි සිදු වූයේ කුමක්‌ද යන්නයි. මෙම වෙල්ලිමුල්ලි වයික්‌කාල් දෙමළ ඊළාම්වාදයේ හා දෙමළ ඩයස්‌පෝරාවේ පූජා භූමියක්‌ බව ද නිසැකය. මතු අනාගතයේදී එහි වැඩ වසන දෙවියන් බවට පත් කරනු ලබන චරිතයක්‌ ද ඔවුන්ට තිබේ. එහෙත් එය මේ රට විනාශයට ඇද දැමූ බිහිසුනු ෆැසිස්‌ට්‌වාදියාගේ අවසානය සනිටුහන් කළ භූමිය ලෙස අපි දකිමු.

දෙමළ සන්ධානයේ පිරිසක්‌ එය සොයා ගොස්‌ දිවුරුම් දීමේ සැබෑ අරුත ඒ මිථ්‍යාව යළි පුදසුන මත තැබීමක්‌ බව අපි ඉඳුරා කියමු. එය ප්‍රභාකරන්ගේ මිනීවළ ළඟටම බැරි වුවත් ආසන්නයටම ගොස්‌ කරන දිවුරුම් දීමක්‌ ලෙස අපි දකිමු. තමන් මොනම හේතුවක්‌ නිසාවත් එහිදී නිහඬ වූ ඊළාම් වීරයා අත් නොහරින බවට ජාත්‍යන්තරයට දුන් සහතිකය ද ඒ දිවුරුම් දීමයි.

ජාත්‍යන්තරය මෙන්ම දෙමළ ඩයස්‌පෝරාව ද යළි ඊළාම් සිහිනය සැබෑ කිරීම සඳහා තෝරා ගත යුත්තේ කවරෙක්‌ද යන්න එදෙස බලා තීන්දු කරනු ඇත. විග්නේෂ්වරන් ගැන තවදුරටත් බලාපොරොත්තුවක්‌ තබාගැනීම අසීරු බව මේ රැඩිකල් මන්ත්‍රීවරු නො කියා කියති.

අප මේ තත්ත්වය බැරෑරුම් ලෙස තේරුම් ගත යුතුය. උතුර දකුණ යළි ඈත් කර තැබීමට වුවමනා සියලු කරුණු දැන් එකින් එක ගොනු කරන අය ගැන ද ආණ්‌ඩුව සීරුවෙන් බලා ගත යුතුය. දෙමළ සන්ධානය තුළ ද මත ගැටුම් තිබෙන බව ඇත්තය. එහි තවමත් ඊළාම් මළකඩ සහිත හිස්‌ තිබෙන බව ද ඇත්තය. එහෙත් පසුගිය පළාත් සභා මැතිවරණයේදී දෙමළ නායකයන්ට බලය ලබා දුන් ජනතාව අපේක්‍ෂා කළේ එමගින් තමන්ට අලුත් ජීවිතයක්‌ ලබා ගැනීම ය. ජාතික අභිලාෂයන් යළි ඉටුකර ලීමට තම නායකයෝ කැප වෙතියි ඒ ජනතාව අපේක්‍ෂා කළ බව ද නිසැකය. එහෙත් දැන් සිදුවන්නේ කුමක්‌ ද? අනාගතයේදී සිදු විය හැක්‌කේ කුමක්‌ ද?

වසර තිහක්‌ ඉක්‌ම වූ කුරිරු ත්‍රස්‌තවාදයකින් සිය භෞතික ජීවිතය පමණක්‌ නොව ආධ්‍යාත්මික ජීවිතය ද සපුරා අහිමි වූයේ උතුරේ සාමාන්‍ය ජනතාවට ය. හරි හැටි තුවක්‌කුවක්‌ ඔසවා ගන්නට පවා නොහැකි වූ සාමාන්‍ය මිනිහාගේ දරුවන් කොටි ළමා හමුදාවට එක්‌වෙද්දී මේ නායකයෝ ඔවුන්ගේ දරුවෝ වරප්‍රසාද ජීවිත ගෙවූහ. එනිසා යුද පීඩනයේ ගොදුරු බවට පත් වූ ජනතාවට යළිත් ඒ අඳුරු යුගය උදා කර දීමට සිතන දෙමළ නායකයෝ රටම අගාධයකට යනු දැකීsමට රිසි වන්නාහු නොවෙත් ද?

දේශපාලනය යනු බලය පිළිබඳ ව්‍යාපාරයකි. බලය යනු ප්‍රජාතන්ත්‍රවාද ක්‍රියාදාමය තුළින් ලබා ගන්නා තාවකාලික භාරකාරත්වයකැයි ද කියති. එහෙත් මේ තාවකාලික භාරකරුවන් බලය රැක ගැනීමටත් එය නඩත්තු කර ගැනීමටත් දරන අලඡ්ජී ක්‍රමෝපායන් ද අපි දකිමු. එබඳු හැම තැනකදීම දුබල වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය හා ජනතා පරමාධිපත්‍ය බව ද අපි පැහැදිලිවම කියන්නෙමු. මේ ආණ්‌ඩුවේ ම ඇතැම් ක්‍රියාකාරකම් මෙන් ම එජාපයේ කුරුඳු පොලු සටන් හා දෙමළ ජාතික සන්ධානයේ විකෘති හැසිරීම් ද බහුතර ජනතාවගේ ප්‍රසාදයට හේතු නොවන බව ද කිව යුතු ය. ඒ හැම කෙනෙක්‌ම බලය භාවිත කිරීම හා ජනතා අභිලාෂ යන කරුණු පිළිබඳව මීට වඩා සංවේදී විය යුතු ය.

http://www.divaina.com/2013/10/20/editorial.html

0 comments: