Pages

Monday, October 28, 2013

ඇමරිකාව ලෝක නායකයන් 35 දෙනෙකු ගැන ඔත්තු බලලා

ඇමරිකානු ජාතික ආරක්ෂක ඒජන්සිය ලෝක නායකයන් 35කට පමණ අයත් දුරකථන අංක සිය ගණනක සන්නිවේදනයන්ට සවන්දී ඇතැයි නවතම හෙළිදරව්වකින් අනාවරණය වී තිබේ.

බි‍්‍රතාන්‍ය ගාඩියන් පුවත්පත වාර්තා කර ඇත්තේ හිටපු චරපුරුෂ නිලධාරි එඞ්වඞ් ස්නොව්ඩන් විසින් තමන්ට ලබාදුන් රහසිගත සන්දේශයකින් මෙම තොරතුර අනාවරණය වූ බවයි.  මෙම සන්දේශයේදී රාජ්‍ය නායකයන් 35 දෙනෙකු ඇතුළු 200 දෙනෙකුගේ පමණ දුරකථන අංක ලබාදුන් ඇමරිකානු නිලධාරියෙකු පිළිබඳ සඳහන් කර ඇතැයි පැවසේ.

ඔහුගේ නමක් සඳහන් කර නොමැති අතර ඒ කුමන රටවල රාජ්‍ය නායකයන්ගේද යන්නද එහි සඳහන් වී නොමැත.  නමුත් මින් පෙර ස්නොව්ඩන් විසින් සිදුකළ හෙළිදරව් කිරීම් වල දක්වා තිබුණේ ප‍්‍රංශය, ජර්මනිය සහ බ‍්‍රසීලය ඇතුළු රටවල් බොහෝ ගණනක් පුරවැසියන් පිළිබඳ ඇමරිකාව තොරතුරු රැස් කළ බවයි.

ධවල මන්දිරය, රාජ්‍ය දෙපාර්තමේන්තුව සහ පෙන්ටගනය යන ජාතික ආරක්ෂක ඒජන්සියේ පාරිභෝගික අංශ වෙත යවා ඇති මෙම සන්දේශය මගින් එම ආයතන වල නිලධාරීන් සතු ජාත්‍යන්තර සබඳතා වල දුරකථන අංක තමන් වෙත ලබාදෙන ලෙස ජාතික ආරක්ෂක ඒජන්සිය විසින් ඉල්ලා ඇතැයි පැවසේ.

මෙමගින් දේශපාලන සහ මිලිටරි නායකයන්ගේ සෘජු ඇමතුම් අංක, ෆැක්ස්, නිවසේ දුරකථන අංකය සහ ජංගම දුරකථන අංක ආදිය පවා ලබාගන්නට ඇතැයි සැලකේ.  මේ පිළිබඳ කළ විමසීමකදී ධවල මන්දිර මාධ්‍ය ලේකම් ජේ කාර්නි පවසා ඇත්තේ මේ තොරතුරු වාර්තා වීම සමග ඇතැම් රටවල් සමග සබඳතා ව්‍යාකූල වී ඇති බවත් රාජ්‍යතාන්ත‍්‍රික ක‍්‍රමවේදයන් හරහා එයට පිළියම් සොයන බවත්ය.

මින් පෙර තමන් පිළිබඳ ඔත්තු සෙවූ බවට චෝදනා කරමින් බ‍්‍රසීල ජනාධිපතිනි ඩිල්මා රුසෙෆ් සිය ඇමරිකානු සංචාරයක් අවලංගු කළ අතර ප‍්‍රංශය සහ ජර්මනියද තම රටවල රාජ්‍ය නායකයන්ගේ සන්නිවේදනයන් ග‍්‍රහණය කිරීම පිළිබඳව අදාළ ඇමරිකානු තානාපතිවරුන්ගෙන් පැහැදිලි කිරීම් ඉල්ලා ඇතැයි වාර්තා වේ.

http://lankacnews.com/sinhala/foreign-news/103428/

0 comments: