Pages

Monday, October 14, 2013

ඔබේ නිවසේ තිබෙන ඩෙංගු සූතිකාගාරය...

යළිත් ඩෙංගු හිස එසවීමට නියමිතය. වාර්ෂිකව සිදුවන ආකාරයට ඉන් සිය ගණනක්‌ මිය යැමටත් නියමිතය. මේ අනාගත ව්‍යසනය වෙනුවෙන් හැමදාමත් සූදානම් වන ආකාරයට දැන් රජය ජාතික ඩෙංගු මර්දන සතියක්‌ ආරම්භ කර තිබේ.

ඒ අතර මිනිස්‌සු සිතන්නට හැකි මිනිස්‌සු මෙවන් ව්‍යසන අවස්‌ථාවන්ට විකල්ප සොයති. ඔහු විද්‍යා ගණිත ගුරුවරයෙකි.

කිසිවකුත් මෙතෙක්‌ ගණන් නොගත් එසේම හසු නොවූ සෑම නිවසක පාහේම ඇති එවැනි මහ පරිමාණයෙන් ඩෙංගු මදුරුවන් බෝ කරන ස්‌ථානයක්‌ පිළිබඳව පුරා දෙවසරක කාලයක්‌ මේ මනුෂ්‍යයා පරීක්‍ෂණ පවත්වා ඇත. ඔහු උඩුදුම්බර නුවර පාරේ පදිංචි ඩබ්ලිව්. එම්. ගුණසේකරය.

ඔහුට අනුව ඩෙංගු මදුරුවන් බෝ කරන මේ රටේ ප්‍රධානතම සූතිකාගාර වැසිකිවළවල් ආශ්‍රිතය. සෑම නිවසකම කාර්යාලයකම නගරයකම ඇති වැසිකිළි වලවල් ආශ්‍රිතව මදුරුවෝ නිරුපද්‍රිතව බෝ වෙති. මේ කාරණාව පිළිබඳ මෙතෙක්‌ කිසිවෙක්‌ අවධානය යොමු කර නැත. ඒ ගැන ගුණසේකරයන් මෙසේ කියන්නේය.

ජල මුද්‍රිත වැසිකිළි පෝච්චියේ පතුලේ නිරතුරුව රැඳී ඇති ජලයේ මදුරු කීටයන් දැකිය නොහැකිය. මන්ද නිතර ජල පහරට ලක්‌ව එය සේදී යන නිසාය. එසේම එහි ගෙයි පිහිටා ඇති වැසිකිළිවලින් මදුරුවන් පිටවී යනවා නොදකින්නට ඇත. ඒ උන් එයින් නික්‌ම ඈතට ඉගිලී යන කුඩා සතුන්වීම නිසාය. එහෙත් ගෙය පිටුපස හා වැසිකිළිය තුළ නිතර මදුරුවන් ගැවසෙන බව දක්‌නට ඇත.

මම 2007 වසරේ එක්‌තරා දිනක ගෙයි පිටුපස ඇති වැසිකිලළි වළේ පියනක්‌ අතර කුඩා සිදුරකින් මදුරුවන් ඉගිලී යනු දුටුවා. මඳ වේලාවක්‌ එම දසුන නිරීක්‍ෂණය කළ මා වහා ගෙට ගොස්‌ විනිවිද පෙනෙන වීදුරු බෝතලයක්‌ රැගෙන විත් එම මදුරුවන් පිටවන කුඩා සිදුර වැසෙනසේ එය සිරස්‌ අතට තැබුවා. මඳ වේලාවකින් එම බෝතලය තුළට විශාල මදුරුවන් ප්‍රමාණයක්‌ රැස්‌ වුණා. තව දුරටත් මදුරුවන් පිටවී යැම වැළැක්‌වීමට අවශ්‍ය බව වටහා ගෙන ඉතා සරල ඇටවුමක්‌ සවි කළා.

මේ අනුව තවදුරටත් නිරීක්‍ෂණය කිරීමේදී අවබෝධ වූයේ මදුරුවන් වැසිකිළි පෝච්චියේ බිත්තර දමන අතර ඒ සියල්ලම ජල පහරට ගසාගෙන ගොස්‌ වැසිකිළිවළ තුළදී කීට අවස්‌ථාගත කොට පිටවී යන බවයි. එදිනෙන් පසු කිසි දිනෙක මගේ වැසිකිලියෙන් උපදින මදුරුවන් පිටවී යැමට ඉඩ නොදී රැක ගැනීම වගේ එම සරල ඇටවුම සමත් වුණා.

මෙම සිද්ධිය දැනුම් දීම සඳහා උඩදුම්බර සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලයට ගියත් මට එම නිලධාරින් සම්බන්ධ කරගත නොහැකි වුණා. එහෙත් එදින මහනුවරින් පැමිණ සිටි නිලධාරි මහතකු අදාළ ස්‌ථානයට මාත් සමග ඔහුගේ නිල රථයෙන්ම පැමිණ පරීක්‍ෂා කොට එය සනාථ කර ගත්තා.

මෙසේ ඇටවූ සරල උගුල මදුරු දර්ශනයක්‌ විදියට පාවිච්චි කළා. ඊට පස්‌සෙ මදුරුවන් බෝ වෙන විදිය වලක්‌වන්න උත්සාහ කරලා බැලුවා. මුලින්ම කළේ භූමිතෙල් ලීටර් 1/2 ක පමණ වැසිකිළි පෝච්චිවලට ඇතුළු කිරීම. එහිදී සතියක්‌ පමණ කාලයක්‌ ගත වනතුරු මදුරුවන් පිටවුණේ නෑ. ඒත් පසුව මදුරුවන් එක දෙන්නා බැගින් බෝතලයට එකතු වණූ දැක්‌කා. භූමිතෙල් වාෂ්ප වෙලා යනවා. ඒ නිසා වාෂ්පශීලි නොවන තෙල් වර්ගයක්‌ ගැන මා හිතුවා.

වාහන වලින් ඉවත් කරන ලද දැවිතෙල් ලීටරයක්‌ පමණ වැසිකිළි පෝච්චිය මාර්ගයෙන් වළට මුදා හැරිය ඉන් පස්‌සෙ. පසුව මාස හතරක්‌ යන තුරුම බෝතලය තුළට මදුරුවන් එකතුවීම සම්පූර්ණයෙන්ම නැවතී තිබුණා.

මදුරු කීටයන්ගේ ස්‌වසන ක්‍රියාවලියට ජලයේ පාවෙන තෙල් ස්‌ථරය බාධා පමුණුවන නිසා මදුරු කීටයන් මැකී යනවා. වැසිකිළියේ පෝච්චියට කලුතෙල් යෙදීම නිසා එහි පතුල කලු පැහැ ගැන් වුවද දින කීපයකින් සම්පූර්ණයෙන්ම එය නැවතත් යථා තත්ත්වයට පත්වෙන බවත් කිව යුතුයි.

වැසිකිළී පද්ධතියේ වළ විශාල නම් දැවිතෙල් ලීටර් 4 ක්‌ පමණ එකවර යෙදීම වඩාත් සුදුසුයි.

රෝහල් හා විශාල වැසිකිළී සංකීර්ණ ඇති විවිධ ආයතනවලදී මෙම ප්‍රතිකර්මය ප්‍රායෝගිකව අසාර්ථකවීමට පුළුවන්. එබැවින් එම වැසිකිළි පද්ධතිවලට සුදුසු මාත්‍රාවකින් බීටීඅයි බැක්‌ටීරියාව යෙදීම වඩාත් ඵලදායික වනු ඇත. දැවි තෙල් අපතේ යන ද්‍රව්‍යයක්‌ බැවින් අඩු වියදමකින් ඒවා පහසුවෙන් ලබාගත හැකියි.

අපේ නිවසට පැමිණ ලේ උරා බී බිත්තර දැමීම සඳහා සුදුසු ස්‌ථානයක්‌ ලෙස ජලය රැඳී ඇති ස්‌ථානයන් විනාශ කළද එසේම වැසිකිළි පෝච්චියේ බිත්තර දැමුවද තවත් කොටසක්‌ වෙනත් අපට නොපෙනෙණ ජලය රැඳුන ස්‌ථානයන් සොයා යනවා. ඒ ඩෙංගු මදුරුවාට ඇති ජලයට සංවේදිතාව නිසාමයි. මෙසේ වෙනත් ස්‌ථාන සොයා යැම නතර කිරීමට ඇති එකම පිළියම අප නිවස තුළ හා ඒ අවට ගෙවත්තේ සුදුසු තැන්වල ජල භාජන තැබීමයි. එසේ තබන ජල භාජන සතියකට වරක්‌ හෝ දෙකක්‌ පරීක්‍ෂා කර බැලීම සඳහා එතරම් කාලයක්‌ ගත වන්නේද නැහැ. ඒවායේ මදුරු කීටයන් සිටී නම් කලින් සූදානම් කර තැබූ වැලි භාජනයකට එය වත් කිරීමෙන් වැලි තුළින් ජලය බැස යැමත් එම වැලිමත රැඳෙන කීටයන් ජලය නොමැති නිසා විනාශ වීමත් නිවසේ විසිතුරු මාලු ටැංකියක්‌ තබා ගැනීමත් හොඳ ඩෙංගු මර්දන උපක්‍රමයක්‌. එම මදුරු කීටයන් මසුන්ගේ ආහාර බවට පත්වෙනවා. සියලුම පාසල්වල පංති කාමර තුළ මදුරුවන්ට බිත්තර දැමීමට එක්‌ ජල භාජනය බැගින් තබා මදුරු කීටයන් හටගත් පසුව එම ජලය දැමීමට ගප්පි මාලු සහිත පොකුණ බැගින් පාසලට නිර්මාණය කළ යුතුයි. තම තමන්ගේ නිවාසවලද මෙම ආකාරයට ක්‍රියාත්මක වීමකට ළමුන් පෙළඹවිය යුතුයි.

මෙම ක්‍රියාදාමය වඩාත් ප්‍රතිඵලදායක වන්නේ වැසි නොමැති නියං කාලවලදීයි. කෙසේ නමුත් රජය මගින් දැනට ක්‍රියාත්මක කර ඇති අණපනත් මෙයට බාධාවක්‌. එබැවින් විධිමත් හා අවිධිමත් අයුරින් මදුරුවන් බිත්තර දමන ස්‌ථානයන් පැහැදිලිව හඳුනාගෙන ඒවා වෙන් කොට නැවත ව්‍යවස්‌ථාදායක මගින් වහාම එම අණ පනත් සම්මත කර ගතයුතු වෙනවා. තවද මෙම ක්‍රියාදාමය රට පුරා එකම කාලසීමාවක්‌ අනුව ක්‍රියාවට නැගිය යුතුයි.

ඩබ්ලිව්. එම්. ගුණසේකර නම් වූ මේ පැසුණු නිරීක්‍ෂකයා ඩෙංගු උවදුර මර්දන කළ හැකි අයුරු ගැන නව මානයකින් කියා දෙයි. ඉන් කල්පනාවෙන් විමසිය යුතු ප්‍රවේශයක්‌ සැපයේ.

එය මේ රටේ වගකිව යුතු උදවියගේ අවධානයට යොමුවනු ඇත්දැයි අප දන්නේ නැත.

උඩුදුම්බර අබ්දූල් අසීස්‌ 
http://www.divaina.com/2013/10/13/feature05.html

0 comments: