Pages

Friday, October 25, 2013

පිටිකිරි වෙනුවට එළකිරි බොමු

ලෝකයේ ඇති පෝෂ්‍යම දියර වර්ගවලින් කිරිවලට ලැබෙන්නේ ප්‍රමුඛ ස්‌ථානයකි. "කිරි" යනු ක්‌ෂීරපායි ගණයට අයත් ගැහැණු සතුන්ගේ තනපුඩුවලින් නිකුත් කෙරෙන සුදු පැහැති ද්‍රාවණයකි. ලා බාල අවධියේදී ළමුන් හෝ පැටවුන් පෝෂණය කරන්නේ මෙම කිරි වලින්ය. කිරි සම්පූර්ණ ආහාරයක්‌ ද වන්නේය.

කිරි සංඝටකයන් තුනකින් සෑදුණු මිශ්‍රණයකි. ඒවානම් ජලය, මේදය සහ මේද රහිත ඝන ද්‍රව්‍යයන් වේ. මේදය කොටස්‌ දෙකකට වෙන් කර ඇත. එය නම් තථ්‍ය මේද සහ ක්‌ලෙස්‌රෝල්, ලෙසනින් විටමින් වැනි අනෙකුත් ද්‍රව්‍යයන්ය. මේදය රහිත ඝන ද්‍රව්‍යයන්හි ලැක්‌ටෝස්‌, නයිට්‍රජනීය ද්‍රව්‍ය, ප්‍රෝටීන් නොවන නයිට්‍රජන් ඛනිජ, එන්සයිම, සහ බැක්‌ටීරියා වැනි ද්‍රව්‍යයන් අඩංගුවේ.

අලුත උපන් ළදරුවකුට උපතේ සිට මාස හයක්‌ (6) යනතුරු මවුකිරි ලබා දෙන ලෙස වෛද්‍යවරු නිර්දේශ කර ඇත. ඒ ක්‍රමයෙන් වැඩෙන ළදරු ශරීරයට අත්‍යවශ්‍ය පෝෂණ සංඝටක මව්කිරිවල පමණක්‌ අඩංගු වී ඇති නිසාය.

එළදෙනක්‌ පැටවකු බිහිකිරීමත් සමගම මුල් දින හත (7) තුළ පැටවාට අවශ්‍ය "කිරි" සම්පූර්ණ ප්‍රමාණය උරා බීමට ඉඩ හැරීමෙන් පැටවාගේ වර්ධනයට අවශ්‍ය "කිරි" ලබා දෙනු ඇත. ළදරුවකුගේ වර්ධනයට මවු කිරි අවශ්‍ය වනවා සේම වැස්‌සි පැටවාගේ වර්ධනයට ද "මුල් කිරි" ප්‍රමාණය අවශ්‍ය වේ.

වයසින් අවුරුද්ද සම්පූර්ණ කළ දරුවන්ට මෙන්ම ළමා, තරුණ, වැඩිහිටි, මහලු කා හටත් භාවිත කළ හැකි පානයක්‌ (ආහාරයක්‌) ලෙස කිරි හඳුන්වා දිය හැකිය. එළ ගවයන්ගෙන් ලබා ගන්නා "කිරි" නැවුම් එළකිරි වශයෙන්ද, යෝගට්‌, පාශ්චරීකරණය කරන ලද කිරි, ජීවානුහරණය කරන ලද කිරි, මුදවන ලද කිරි, බටර්, එළඟි තෙල්, චීස්‌, කිරිපිටි හා අයිස්‌ක්‍රීම් ආදී වශයෙන් සකස්‌කර ගනියි.

එළකිරි යනු පානයක්‌ම නොව ආහාරයකි. සත්ත්ව හා ශාකමය ආහාර අතරින් ශරීරයට අවශ්‍ය සියලුම පෝෂක සපයන එක්‌ ආහාර කාණ්‌ඩයක්‌ ලෙස ද කිරිවලට වැදගත් තැනක්‌ හිමිවේ. කිරි දියරමය ගතියෙන් යුක්‌ත නිසාත් පහසුවෙන් ජීර්ණය හා අවශෝෂණය සිදුවන නිසාත් බාල මහලු කා හටත් සුදුසු පෝෂ්‍යදායී පානයකි. 

නැවුම් එළකිරිවලට ආවේණික සුවඳක්‌, වර්ණයක්‌ හා රසයක්‌ ඇත. මෙම වර්ණය ලැබී ඇත්තේ එහි දියවී ඇති ප්‍රෝටීන හා කැල්සියම් ලවණ නිසාය. කිරි යනු ජලය හා ඝන ද්‍රව්‍ය සම්මිශ්‍රණය වී සෑදුණු සංකීර්ණ මිශ්‍රණයකි. මෙහි කාබොහයිඩ්‍රේට්, ලිපිඩ, ප්‍රෝටීන, ඛනිජ ලවණ, විටමින් සහ විවිධ එන්සයිම දියවී පවතී. කාබොහයිඩ්‍රේට් ලෙස ප්‍රධාන වශයෙන් ඇත්තේ ලැක්‌ටෝස්‌ය. ප්‍රෝටීන් ලෙස කේසින්, ඇල්බියුමින් හා ග්ලොබියුලින් අඩංගු වේ.

කිරිවල විටමින් ඒ, බී, සී, ඩී, සහ ඊ, බහුලව ඇත. විශේෂයෙන් එළකිරිවල සංයුතිය මවුකිරිවල සංයුතියටද බෙහෙවින් සමාන වේ.

ඒ අනුව නැවුම් එළකිරිවල සංයුතිය මවුකිරිවලට සමාන බව පෙනී යයි. එහෙත් එළකිරි මවු කිරිවලට වඩා උසස්‌ නොවන අතර "එළකිරි"ද "මවුකිරි" තරමටම ප්‍රධාන තැනක්‌ ගනී.

මෙරට නිෂ්පාදනය කරනු ලබන "කිරි" අප රටේ ජනතාවට පරිභෝජනය කිරීමට හැකිවන පරිදි 1976 වර්ෂයේදී එවකට පැවති රජය නවසීලන්ත රජයේ අනුග්‍රහය ලබාගෙන ජාතික කිරි මණ්‌ඩලය ආරම්භ කිරීමට යෙදුණි.

ජාතික කිරි මණ්‌ඩලය ගම්බද ගොවීන් දැනුවත්කොට ගොවි සංවිධාන, ප්‍රාථමික කිරි සමුපකාර සමිති පිහිටුවීමේ කටයුතු ආරම්භ කරමින් "කිරි" එකතු කිරීමේ මධ්‍යස්‌ථාන සංවිධානය කරන ලදී. රට පුරා ගොවීන්ගෙන් එකතු කරගන්නා ලද කිරි, නැවුම් එළකිරි වශයෙන්ද, දියර කිරි වශයෙන්ද, කල් කිරි, පැරකුම් උකුකිරි වශයෙන්ද, එළඟි තෙල්, බටර්, යෝගට්‌, රස කරන ලද කිරි ආදී වශයෙන් වෙළෙඳපොළට ඉදිරිපත් කරමින් ජනතාවට අවශ්‍ය කිරි සැපයීම කරන ලදී.

දියර කිරිවලට වැඩි උනන්දුවක්‌ හා කැමැත්තක්‌ දැක්‌වූ ජනතාවගේ කිරි අවශ්‍යතාවය සපුරාලීමට ජාතික කිරි මණ්‌ඩලයට හැකිවීම වැදගත් කරුණකි. දියර කිරි හෝ කිරි පිටි විදේශ රටවලින් නොගෙන්වා රටේ ජනතාවට අවශ්‍ය කිරි සැපයීම තුළින් ජාතික කිරි මණ්‌ඩලය මෙම වකවානුවේ කා අතරත් ජනප්‍රිය ආයතනයක්‌ බවට පත්විය. 

ජාතික කිරි මණ්‌ඩලයේ නාරාහේන්පිට කර්මාන්ත ශාලාව දිගන, නුවරඑළිය යන ප්‍රදේශවලට ව්‍යාප්ත කරමින් කිරි භාර ගැනීම පුළුල් කිරීමත් සමගම කිරි ලීටර් දස දහසේ (10,000) සිට කිරි ලීටර් ලක්‍ෂය (100,000) දක්‌වා ප්‍රමාණයකින් දෛනික නිෂ්පාදන පුළුල් කරන ලදී. 1977, 1978 යන වර්ෂවලදී සත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, ජාතික පශු සම්පත් සංවර්ධන මණ්‌ඩලයේ නිලධාරීන් ඉන්දියාවට ගොස්‌ ඉන්දියාවේ "අමූල් කිරි ව්‍යාපාරය" අධ්‍යයනය කර ලබාගත් දැනුම උපයෝගී කරගෙන සත්ව පාලනය පුළුල් කරන ලදී.

1978 වර්ෂය උදාවත්ම ශ්‍රී ලංකාව කිරිවලින් ස්‌වයංපෝෂිත විය. 1977 වර්ෂයේ බලයට පත් රජය ශ්‍රී ලංකාවට විවෘත ආර්ථිකය හඳුන්වාදීමත් සමගම ජාතික කිරි මණ්‌ඩලය බහුජාතික සමාගමකට තිස්‌ අවුරුද්දකට බද්දකට පැවරිණි. විවෘත ආර්ථිකයත් සමග ශ්‍රී ලංකාවට පැමිණි විදේශීය කිරි සමාගම් ජාතික කිරි මණ්‌ඩලය සමග තරග කොට ජාතික කිරි මණ්‌ඩලය විනාශ කරන ලදී.

විදේශීය කිරි සමාගම් දේශීය කිරි නිෂ්පාදනය දියුණු කරනවා වෙනුවට විවිධ නම්වලින් "පිටිකිරි" විදේශයන්ගෙන් මෙරටට ගෙන්වා ජනතාවට "කිරිපිටි" පුරුදු කරන්නට යෙදුණි. කිරිපිටි දැන්වීමක්‌ සඳහා පමණක්‌ බිලියන 40 කට වඩා වැඩි මුදලක්‌ වැය කරන කිරිපිටි සමාගම් 1979 සිට 1999 දක්‌වා වසර 20 ක කාලයකදී දේශීය කිරි නිෂ්පාදනය අඩපණ කරමින් කිරිපිටි ගෙන්වීම ඉහළ නංවා ඇත.

1976 ජාතික කිරි මණ්‌ඩලය ස්‌ථානපනය කිරීමත් සමගම රට පුරා ක්‍රියාත්මක වූ ගොවි සංවිධාන කිරි එකතු කරන්නන්ගේ සමුපකාර සමිති හා කිරි සංගම්වලට විවිධ අඩම්තේට්‌ටම් කරමින් කිරි එකතු කිරීම අඩපණ කරමින් සමුපකාර සමිති විනාශ කරන ලදී.

1996, 1997, 1998 යන වර්ෂවල පිහිටුවාගන්නට යෙදුණු මැදරට කිරි සංගමය, පොල් ත්‍රිකෝණයේ කිරි සංගමය, මහවැලි කලාපීය කිරි සංගම් ඇතුළු ප්‍රාථමික හා දිස්‌ත්‍රික්‌ මට්‌ටමේ කිරි සමිති සිය සාමාජිකයන් වෙනුවෙන් ඇප කැපවී ඇත. එහි ප්‍රතිඵලයක්‌ ලෙස සමුපකාරික කිරි ගොවියෝ 75,000 කට වැඩි පිරිසක්‌ කිරි නිෂ්පාදන කටයුතුවල යෙදී ඇත.

අප අසල්වැසි රාජ්‍යය වන ඉන්දියාව පිළිබඳ අප ආඩම්බර විය යුතුය. ඔවුන් කිරි නිෂ්පාදනයෙන් ලෝකයේ සුපිරි බලවතා වූයේ ප්‍රාතිහාර්ය පෑමෙන් නොව හුදෙක්‌ තිරසාර ප්‍රතිපත්තියක්‌ මත පදනම් වූ කැපවීම හා අධිෂ්ඨානය නිසාය. ඉන්දියාවේ කිරි පරිභෝජන රටාව ලංකාවට සමගාමී නොවූවත් 2000 වර්ෂය වන විට ලෝකයේ කිරි බලවතා වන ඇමෙරිකා එක්‌සත් ජනපදය අභිභවා ප්‍රථම ස්‌ථානයට පත්වීම ජාතියක්‌ ලෙස ඉන්දියාව ලද සුවිශේෂී ජයග්‍රහණයකි.

ඉන්දියාවේ අමූල් සමුපකාර ව්‍යාපාරයේ නිර්මාතෘ වෛද්‍ය වී. කුරියන් මහතා 1997 ශ්‍රී ලංකාවට පැමිණ එවකට ජනාධිපතිනිය ප්‍රධාන ඇමැති මණ්‌ඩලය හමුවිය. කිරි සමුපකාර නායකයින් ද මුණ ගැසිණ. අමූල් සංකල්පය ශ්‍රී ලංකාවට හඳුනා දී ශ්‍රී ලංකාව කිරිවලින් ස්‌වයංපෝෂිත කර දීමට කැමැත්ත පළ කරන ලදී.

එවකට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ බහු ජාතික සමාගම් හා කිරි ජාවාරම්කරුවන් විවිධ බලපෑම් කරමින් "අමූල්" සංකල්පය ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදී සංවර්ධන කටයුතු අඩපණ කරන ලදී.

කිරිවලින් ස්‌වයංපෝෂිත ඉන්දියාව සිය අතිරික්‌ත "කිරි ප්‍රමාණය" බංගලාදේශය, නේපාලය, මාලදිවයින යන රටවලට අපනයනය කර විදේශ විනිමය උපයාගෙන ඇත.

ගව පාලනයට අවශ්‍ය මනා දේශගුණයක්‌ ඇති එමෙන්ම ජලය, ශ්‍රමය, දැනුම, ඉඩකඩම් ඇති ශ්‍රී ලංකාවට පසුගිය වර්ෂවල කිරි හා කිරිපිටි ආනයනය සඳහා අති විශාල මුදලක්‌ වැය කර ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන ආකාරයට මෙම තත්ත්වය රටට හිතකර නොවේ.

ලාංකික ජනතාවට අවශ්‍ය නැවුම් එළකිරි අලෙවි කිරීමේ වැඩපිළිවෙළක අවශ්‍යතාව පැන නැගී ඇත. ඉන්දියාවේ අමූල් කිරි සංගමය දිනපතා අළුයම 5 සිට 7 දක්‌වා කාලය තුළදීත් පස්‌වරු 5 සිට 7 දක්‌වා කාලය තුළදී නිවාසවලට "කිරි බෙදා හැරීමේ" සාර්ථක වැඩපිළිවෙළක්‌ දියත් කර ඇත. මෙම වැඩපිළිවෙළ ආදර්ශයට ගෙන ප්‍රධාන නගරවල මධ්‍යස්‌ථාන වෙළඳ අමාත්‍යාංශය යටතේ පිහිටුවා ගමක්‌ ගමක්‌ පාසා කිරි බෙදාහැරීම වහාම ආරම්භ කළ යුතුව ඇත. මෙමගින් කිරිපිටි වෙනුවට ජනතාවට "දියර කිරි" තෝරා ගැනීමට අවස්‌ථාව සැලසේ.

ඩී.සී.ඩී. විෂ සහිත කිරිපිටි විදේශ රටවලින් මෙරටට ගෙන්වීමේ සිද්ධියක්‌ පසුගියදා අනාවරණය විය. මෙය ඉදිරි කාලයේදී ද සිදුවීමට ඉඩකඩ ඇති නිසා කිරිපිටි වෙනුවට "දියර කිරි" තෝරා ගැනීමේ අයිතිය ජනතාවට ඇති නිසා ඒ සඳහා වැඩපිළිවෙළක්‌ සකස්‌ කිරීමේ වගකීම රජයට පැවරී ඇත.

කේ. වී. සී. ධර්මවර්ධන
http://www.divaina.com/2013/10/25/feature.html

සබැඳි ලිපි කිහිපයක් -
[

පිටිකිරි වෙනුවට එළකිරි බොමුhttp://denethharinna.blogspot.com/2013/10/blog-post_9528.htmlපිටි කිරිත් එපා - දියර කිරිත් එපාhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_1228.htmlකිරි, මෙලමයින් සහ DCD - ඇත්ත මොකක්ද?http://denethharinna.blogspot.com/2013/08/dcd.htmlඉතා වැදගත් කියවිය යුතු ලිපියක් - දිවි නසා ගන්නට ඕන නම් කිරිපිටි බිව්වට කමක්‌ නෑ! - වෛද්‍ය පාලිත සමන් ජයකොඩිhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_9700.htmlදේශීය කිරිපිටි නිෂ්පාදනය ඉහළ නැංවීම අර්බුදයට විසඳුමයිhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_6292.html
]

1 comments:

Unknown said...

මෙහෙමනේ.දැන් කෙනෙකුට තමන්ට අවශ්‍ය වෙලාවට දියර කිරි බීමේ හැකියාවක් නෑනේ.ඒක තියෙන තැනකට යන්න ඕන.මිනිස්සු පිටි කිරි බොන්නේ දියර කිරි ඕන වෙලාවක ගන්න නැති හින්දා.අනික රජය කළ යුත්තේ දියර කිරි ඕන කෙනාට ඒකත් පිටි කිරි ඕන කෙනාට ඒකත් ගැනීමට අවස්ථාව දීම මිසක් අරක වෙනුවට මේක කීම නෙවෙයිනෙ.ඔය එළකිරි බිව්වම සෙම වැඩි වෙනවා නේද?