Pages

Wednesday, October 16, 2013

වසර 18 ක්‌ තිස්‌සේ ජීවිත දහස්‌ ගණනක්‌ ආරක්‌ෂා කළ "ඉසි අක්‌කා" ඇගයේ

මිනිස්‌ ජීවිත ආරක්‌ෂා කිරීම රජයේ වගකීමක්‌ වුවද, දුම්රිය ආරක්‌ෂක ගේට්‌ටු නොමැතිවීමෙන් මිනිස්‌ ජීවිත රාශියක්‌ පසුගිය කාලය පුරා අහිමි විය. මේ ජීවිත අහිමිවීම තුළ ජනාධිපතිතුමාගේ නියමය පරිදි දිවයින පුරා තාවකාලික දුම්රිය හරස්‌මඟට ආරක්‌ෂක ගේට්‌ටු සවිකරන ලදී. ගේට්‌ටු තාවකාලික වශයෙන් හෝ සවිකිරීම තුළින් අපිට සිහිගැනුනේ අනුරපුර "ඉසි අක්‌කාය"

ගල්ඔය පොළොන්නරුව දුම්රිය මාර්ගයේ පුවක්‌පිටියේ ආරක්‌ෂිත ගේට්‌ටු රහිත තැනක මිනිස්‌ ජීවිත, සත්ව ජීවිත රැකගැනීමට පුරා 18 වසරක්‌ දිනපතා අළුයම දුම්රියේ සිට රාත්‍රි අවසන් දුම්රිය දක්‌වා කිසිදු ආර්ථික ලාභයක්‌ බලාපොරොත්තුවෙන් තොර හුදු පරාර්ථයෙන්ම අමිල මෙහෙයක යෙදුණ උතුම් කාන්තාව වූ ඇය නමින් සිරියාවතීය. නමින් සිරියාවතී වුවද "ඉසි අක්‌කා" නමිනුත් ඇය හැඳින්වූවාය. මාධ්‍ය හරහා ඇයගේ මේ සත්ක්‍රියාව දුටු අමාත්‍යවරයා ඇයගේ සේවය අගය කළේ උතුම් මිනිසත් බවිනි.

ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම මහතා විසින් දිවයින පුරා ගමන් කළ හැකි නිදහස්‌ දුම්රිය ගමන් බලපත්‍රයක්‌ "ඉසි අක්‌කාට" පිරිනැමූ අයුරු. පසෙකින් සිටිනුයේ දුම්රිය සාමාන්‍යාධිකාරී බී.ඒ. පී, ආරියරත්න මහතාය.

වසර 18ක්‌ දුම්රිය හරස්‌ මගේ ආරක්‌ෂාව සැලසූ "ඉසි අක්‌කාට" දුම්රිය ගේට්‌ටුව යෙදවීම නිසා සත්ක්‍රියාවෙන් අයින්වීමට සිදුවුවත්, ඇයගේ සැමියාට ගේට්‌ටුව මුර කිරීමට අවස්‌ථාව ලැබුණේ ඉල්ලීමකින් තොරවය. එය පැසසිය යුතු කරුණකි.

ප්‍රවාහන අමාත්‍යවරයා "ඉසි අක්‌කා" ප්‍රවාහන අමාත්‍යාශයට ගෙන්වා ගනිමින් ඇයගේ සේවය මහත්සේ අගය කළේ අන් කාන්තාවන්ටද ඇය ආදර්ශයක්‌ විය හැකි බව ද සිහිගන්වමිනි. ඇයගේ එක්‌ පුතකුට දුම්රිය දෙපාර්තමේන්තුවේ රැකියාවක්‌ ලබාදීමටත් එම රැකියාව ඇයගේ නිවස ආසන්නයේ පිහිටි පලුගස්‌වැව දුම්රිය ස්‌ථානයට ලබාදීමටත් තීරණය කළේය. ඉන් නොනැවතුන අමාත්‍යවරයා ඇයට දුම්රියෙන් මුළු දිවයින පුරාම ගමන් කළ හැකි දුම්රිය බලපත්‍රයක්‌ ප්‍රදානය කළේ වසර 18 ක සේවාව මහත්සේ අගය කරමිනි.

"ඉසි අක්‌කා" කිසි විටක බලාපොරොත්තු නොවූ දේ අමාත්‍යවරයාගෙන් ලැබෙද්දී ඇයගේ සිත සතුටින් පිනවා යද්දී නොදැනුවත්වම කඳුළුකැට දෙනෙතින් ගලා ආවේ ඇමැතිතුමාගේ හැඟීම්බර කතාවේ සන්ධිස්‌ථානයට ළඟාවීමත් සමඟය. අම්මේ... ඔයාගේ ගේ වැඩ අවසන් කරලා නැහැනෙ. අඩු තරමින් ජනෙල් දොරවල්වත් නැහැනෙ. මම අම්මගේ ගේ සම්පූර්ණයෙන්ම හදල දෙන්නම්, හදල ඉවරවුනාම. මම ගේ විවෘත කරන්න එන්නම්කො. ඉසි අක්‌කාට අදහාගත නොහැකි විය. අමාත්‍යවරයාගේ මේ වදන් ඇයගේ ඉදිරියේ දිග හරිද්දී "අනේ ඇමැතිතුමනි, ඔබ වගේ ඇමැතිවරු දකින්නත් මම වාසනා උනානේ. ඒක ලැබෙන්න ඇත්තේ මම වසර 18ක්‌ මිනිස්‌ ජීවිත ආරක්‌ෂා කළ නිසා වෙන්න ඇති."

"බුදු දහමෙන් කියෑවෙන හොඳ දේ කළාම මෙලොවදීම පින පලදෙනවා" කියලා කී ඇමැතිවරයා ඇයට සමුදුන්නේ තම නිල වාහනයෙන්ම ඇයව කොටුව බස්‌ නැවතුම්පළට ඇරලවන ලෙස තම රියෑදුරුට දන්වමින්, ගමන් වියදම් ද ඇයට ලබාදෙමිනි. විශේෂයෙන් ඉසිඅක්‌කා පිළිබඳ තොරතුරු හෙළිකළ මාධ්‍යවේදීන්ට මෙන්ම මාධ්‍ය ආයතනවලටද ඇමැතිවරයා සිය ප්‍රණාමය පුද කළේය.

http://www.divaina.com/2013/10/16/news23.html

1 comments:

Anonymous said...

ඉසි නැන්දාට දීර්ඝායු වේවා...තෙරුවන් සරණයි...