Pages

Saturday, October 19, 2013

කවුරු කෙසේ කොයි ආකාරයෙන් බාධා කළත් දුම්වැටි පිළිබඳ ගැසට්‌ නිවේදනය අනාගතේ ක්‍රියාත්මක කරන්න වේවි - මෛත්‍රී

කවුරුන් කෙසේ කොයි ආකාරයෙන් බාධා කළත් දුම්වැටි, සිගරැට්‌ පිළිබඳ ගැසට්‌ නිවේදනය මුළු මහත් ජනතාවගේ කැමැත්තෙන් අනාගතයේ දවසක ක්‍රියාත්මක කිරීමට සිදුවේයෑයි තමන් විශ්වාස කරන බව සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා (14දා) පොලොන්නරුවේදී ප්‍රකාශ කළේය.

ජගත් විශිෂ්ටතා සම්මානයෙන් පුද ලැබූ සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතාට පොලොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ රාජ්‍ය සේවයේ නිලධාරීන් විසින් උපහාර පිරිනැමීම නිමිත්තෙන් පොළොන්නරුව ගල්ලෑලේ පිහිටි පුලතිසි අධ්‍යාපන විද්‍යාපීඨයේ පැවැති උත්සවයක්‌ අමතමින් ඇමැතිවරයා මේ බව පැවැසීය.

පොළොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ රාජ්‍ය ආයතන තුළ සහ ඉන් බැහැරව දුම්වැටි භාවිතයට එරෙහිව කටයුතු කරන බවට ප්‍රතිඥ දීමක්‌ද මෙහිදී සිදුකෙරිණි.

මෙහිදී තවදුරටත් අදහස්‌ දැක්‌වූ ඇමැතිවරයා -

සිගරැට්‌ පැකැට්‌ටුවේ මේ අවවාදාත්මක ඡායාරූප ඇතුළත් විය යුතුයි කියලා මම ගැසට්‌ නිවේදනය සකස්‌ කරලා අත්සන් කළා. මම අත්සන් කළ ගැසට්‌ නිවේදනය දැනගත් වහාම තායිලන්තයේ සෞඛ්‍ය ඇමැතිතුමා සහ සෞඛ්‍ය අමාත්‍යංශය ඊළඟ සතියේ ඔවුන් ගැසට්‌ කළා තායිලන්ත රටේ සිගරැට්‌ පැකැට්‌වල සියයට අසූපහක්‌ මේ අවවාදාත්මක ඡායාරූප ඇතුළත් කළ යුතුයි කියලා. දුම්කොළ සමාගම මේ ගැසට්‌ නිවේදනයට අපිට නඩු දැම්මා. තායිලන්තයේ ගැසට්‌ නිවේදනයටත් අද නඩුවක්‌ විභාග වෙනවා තායිලන්ත අධිකරණයේ. ඒවගේම නේපාල් රටේ මේ වන විට මේ ගැසට්‌ නිවේදනයට විරුද්ධව නඩුවක්‌ විභාග වෙනවා. මේ අධිකරණයේ විභාග වෙන නඩුවලදී අභියාචනාධිකරණයේදී අපිට ජයග්‍රහණය ලැබුණත් මේ ගැසට්‌ නිවේදනය ක්‍රියාත්මක නොකළ යුතුයි කියන අධිකරණ තීන්දුවක්‌ දියයුතුයි කියල තමයි දුම්කොළ සමාගම අධිකරණයට ගියේය අභියාචනාධිකරණය එය වළක්‌වමින්, ඊට හේතු ඉදිරිපත් කිරීමට ඉඩ දුන්නා. ඒ අතර අපි තාවකාලික ජයග්‍රහණයක්‌ ලැබුවත් දුම්කොළ සමාගම ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්‌ ඉදිරිපත් කරලා දැන් නඩු දින හයක්‌ ඉවර කරලා තිබෙනවා. පසුගිය මාසයේ විසිවෙනිදා මම අලුත්කඩේ උසාවියේ ඒ නඩු දිනය දවසම ගත කළා. බංකුවක්‌ උඩ ඉඳගෙන. විභාග වෙන නඩු මම අහගෙන හිටියා. විනිශ්චයකාරවරු තුන්දෙනෙක්‌ හිටියා. අවසානයේ තුන්දෙනාගෙන් දෙදෙනෙක්‌ අපේ ඉල්ලීම ප්‍රතික්‍ෂේප කළා. ඊවා වනසුන්දර විනිශ්චයකාරතුමිය බොහොම පැහැදිලිව අත්සනක්‌ නිකුත් කළා එතුමිය මේ ගැසට්‌ නිවේදනයට පක්‍ෂයි කියලා.

සාමාන්‍යයෙන් උසාවිවල අහන බොහෝ ප්‍රධාන නඩුවලදී විනිශ්චයකාරවරු අහනවා තමන්ගේ ජ්‍යෙෂ්ඨ නීතිඥයන්ගෙන් නඩුව කතා කරන ඊළඟ නඩු දිනයක්‌ පිළිබඳව. විනිශ්චයකාරවරුන් සාමාන්‍යයෙන් කරන්නේ දිනපොත පෙරලලා නීතිඥයන්ගෙන් අහනවා මේ මේ දින තියෙනවා කොහොමද ඉදිරි දින කියලා. නමුත් මේ නඩුවේ දැක්‌ක විශේෂත්වය තමයි කිසිම ජ්‍යෙෂ්ඨ නීතිඥයෙක්‌ගෙන් එහෙම විමසීමක්‌ කරන්නේ නැතිව විනිශ්චයකාරතුමන්ලා එක පාරටම කිව්වා මේ නඩුව 2014 මැයි 07 වැනිදා දක්‌වා කල්දානවා කියලා.

ඉතින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබන අවුරුද්දේ මැයි මස හත්වෙනිදාට මේ නඩුව කල්දැම්මා. මම ඇත්තටම පුදුමයට පත් වුණා. මම කිව්වේ මේක මුළු මහත් ජාතියක්‌ සඳහා මුළු මහත් ජාතික අනාගතය සඳහා මුළු මහත් රටක්‌ බලාගෙන ඉන්න ගැසට්‌ නිවේදනයක්‌ කියලා. නමුත් මම විශ්වාස කරනවා. මේ ගැසට්‌ නිවේදනය නිකුත් කිරීම, මෙහි අරමුණු ක්‍රියාත්මක කිරීම පිළිබඳව කොහෙන් හෝ බාධා ඇතිවන්නේ නම් ඒ තුළ සිදුවන්නේ දවසින් දවස මේ රටේ ජනතාව ඒ බාධාවන්වලට එරෙහිව එකතු වීමයි කියලා මම විශ්වාස කරනවා. මම ඇමතිවරයා විදියට ඉන්න කාලය තුළ මේ ගැසට්‌ නිවේදනය නිකුත් කිරීමට මම අත්සන් කළා වගේම එය ක්‍රියාත්මක කිරීමට යම් කිසි විදියකින් ඉඩ අවස්‌ථාවක්‌ නොලැබුණොත් මගේ කාලයේදී මම විශ්වාස කරනවා මේ රටේ මේ පිළිබඳව උවමනාවක්‌ තිබෙන, කැමැත්තක්‌ තිබෙන ඕනෑකමක්‌ තිබෙන මේ රටේ සමස්‌තයක්‌ පොදු මහජනතාව ඒ සටන අතට ගනීවි කියලා. ඒ නිසා සියලු දේවල්වල අවසාන තීරකයා ජනතාවයි කියලා මම විශ්වාස කරනවා. ජනතාවගේ තීන්දු අනෙක්‌ සියල්ලන්ගේ තීන්දුවලට ප්‍රබලයි.

ඒ නිසා දුම්වැටිය, සිගරැට්‌ පිළිබඳව මේ ගැසට්‌ නිවේදනය පිළිබඳව තීරණයක්‌ මේ රටේ ලෝක ඉතිහාසයේ අනෙක්‌ රටවල්වල සිද්ධවුණා වගේම ජනතාවාදී සටන් සහ අරගලවල ජනහිතකාමී, මානවවාදී කාර්යයන් සඳහා මුළුමහත් ජනතාවගේ කැමැත්තෙන් අනාගතයේ දවසක කවුරුන් කෙසේ කොයි ආකාරයෙන් බාධා කළත් ක්‍රියාත්මක කිරීමට සිදුවේවි කියා මම විශ්වාස කරනවා. 

පොළොන්නරුව - කරුණාරත්න ගමගේ
http://www.divaina.com/2013/10/18/provin06.html

සබැඳි ලිපි -
[

දුම්බීම නිසා පෙනහළු සහ මුඛ පිළිකා රෝගීන්ට ලක්‍ෂ 150 ක්‌ වැය වෙනවා - මෛත්‍රිhttp://denethharinna.blogspot.com/2013/10/blog-post_19.html
මේ ලෝකෙ පාලනය කරන්නෙ දේශපාලකයෝ නොවේ, බහු ජාතික සමාගම්! - මතට එරෙහි සටනේ රජරට විරුවා මෛත්‍රිපාලhttp://denethharinna.blogspot.com/2013/10/blog-post_8370.html80%ක් දුන්නොත් වෙළඳ ලකුණ පේන්නෙ නැහැලු. නියෝගය ඉවත්කරන්න. මුස්තාපාගෙන් ගල් පැලෙන තර්ක. සිගරට් සමාගම් වෙනුවෙන් ෆායිස් මුස්තාපා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලයි. 80% නියෝගය ශේ්‍රෂ්ඨාධිකරණය අත්හිටුවයි!http://denethharinna.blogspot.com/2013/09/80-80-80.htmlසිගරැට්‌ පැකට්‌වල රූපමය අවවාද ප්‍රදර්ශනය කිරීම ඉක්‌මන් කරන්න - ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_5670.htmlහැම අතකම සිගරැට්‌ - ඇත්ත සඟවන දුම්වැටි මාෆියාව - දිවයින කතුවැකියhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_9229.htmlදුම්වැටි විරෝධී සටන ජාතික අරගලයක් කරන සටනේ නායකයා මමයි - රටරටින් බිහිවූ දෙවන විශිෂ්ට මෛත්‍රීපාලයන්http://denethharinna.blogspot.com/2013/09/blog-post_6542.html
]

0 comments: