Pages

Wednesday, October 16, 2013

IPL ලංකාවේ පැවැත්වීම - බුකිය සමග කුඩු, සුරාව සහ ගණිකාවොත් මෙහි එනු ඇත - අර්ජුන

ලබන වසරේ පැවැත්වීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තරග කිහිපයක්‌ ශ්‍රී ලංකාවේ පැවත්වීමට අයි. පී. එල්. තරග සංවිධායකයන් දරනු ලබන උත්සාහය පිටුපස මුදලට තරග පාවාදීමේ ප්‍රයත්නයක්‌ බවතින බව හිටපු ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ නායක අර්ජුන රණතුංග මහතා සඳහන් කර සිටියි.

අයි. පී. එල්. තරගාවලිය පැවැත්වෙන වකවානුවේම ඉන්දීය මහ මැතිවරණය පැවැත්වෙන හෙයින් අදාළ තරග කිහිපයක්‌ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට යෝජනාවීම සම්බන්ධ පැතිර යන රාවයට ප්‍රතිචාර දැක්‌වූ රණතුංග මහතා 'දිවයින'ට ඉහත අදහස්‌ පළ කර සිටියේය.

වැඩිදුරටත් අදහස්‌ දක්‌වා සිටි අර්ජුන රණතුංග මහතා, අයි. පී. එල්. තරගාවලිය තුළ සිදුවන තරග පාවාදීම් සම්බන්ධව ඉන්දීය පොලිසිය සහ ආරක්‍ෂක අංශ දැඩි සෝදිසියකින් පසුවීම තරගාවලි සංවිධායකයන්ට සහ එම කණ්‌ඩායම් හිමිකරුවන්ට විශාල බාධාවක්‌ වන බවත් එම තත්ත්වයට විසඳුමක්‌ ලෙස මෙම තීරණයට පැමිණ තිබෙන බවත් සඳහන් කර සිටියේය.

'ඉන්දීය මහ මැතිවරණය පෙන්නලා මෙහේ තරග පවත්වන්න හැදීම පිටුපස තරගපාවාදීම පිළිබඳව විශාල ප්‍රයත්නයක්‌ තියෙනවා. මේක ඉතාම දූෂිත සහ සමාජ අපරාධ සිදුවන තරගාවලියක්‌. අන්තිමට පැවැති තරගාවලියෙදී ක්‍රීඩකයන් කිහිප දෙනෙකු තරග පාවාදීම් කරලා අහුවුණා. ඒක නිසා මේ ගැන ඉන්දීය පොලිසිය ඉතාමත් අවධානයෙන් ඉන්නේ'. 'මේ ගැන මුලින් මුලින් ආරංචි වෙනකොට මෙයට පිළියමක්‌ ලෙස තරගාවලිය දකුණු අප්‍රිකාවට අරන් ගියා. ආරංචිය තියෙන්නේ ලංකාවේ සල්ලි වලට ඕන දෙයක්‌ කරගන්න පුලූවන් නිසා ලොකුවට ඇන්ටි කරප්ෂන් යුනිට්‌ එකක්‌ දාලා තරගාවලිය පවත්වන්න. එහෙම නැත්නම් ජීවිතේට පවත්වපු නැති තරගාවලියක්‌ මෙහෙ එක පාරටම පවත්වන්න යයිද...? යනුවෙන් රණතුංග මහතා ප්‍රශ්න කර සිටියේය.

අයි. පී. එල්. තරගාවලිය 2008 වසරේ පවත්වද්දී මෙය ශ්‍රී ලංකාවට මෙන්ම ලෝකයේ ක්‍රිකට්‌ ක්‍රීඩාවට බලවත් පහරක්‌ එල්ල වන දූෂිත තරගාවලියක්‌ වන බවට ප්‍රථමයෙන්ම අදහස්‌ දක්‌වා සිටියේ අර්ජුන රණතුංග මහතායි. ඒ මහතා සඳහන් කළ පරිදිම 2011 වසරේ පැවැති ශ්‍රී ලංකා කණ්‌ඩායමේ එංගලන්ත සංචාරය සඳහා ශ්‍රී ලංකා කණ්‌ඩායම කොටස්‌ කිහිපයකට එංගලන්තය බලා පිටත්ව ගිය අතර එහිදී ඇතැම් ක්‍රීඩකයන්ට පුහුණු තරගවලට සහභාගිවීම පවා මග හැරිණි. එමෙන්ම අදාළ ටෙස්‌ට්‌ තරගාවලියට ලසිත් මාලිංගව නම් කිරීමෙන් පසු හෙතෙම ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ ක්‍රීඩාවෙන් සමුගැනීම ප්‍රකාශයට පත් කිරීමද එවකට කැපී පෙනෙන බවට පත්විය.

ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක ශ්‍රීසාන්ත් ඇතුලූ තවත් ක්‍රීඩකයන් කිහිප දෙනෙකු තරග පාවාදීම් සිදු කළේ යෑයි වරදකරුවන් වූවේද අවසන් වුණු ඉන්දීය ප්‍රිමියර්ලීග් තරගාවලියේදීය. ඉන්දියාවෙන් කරනු ලබන ඕනෑම යෝජනාවකට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ බලධාරීන් එකඟ වීම මෑත කාලයේ සුලබ කරුණක්‌ බව පෙන්වා දුන් හිටපු ටෙස්‌ට්‌ නායකයා, එසේ වුවත් මෙම තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීම එක හෙළාම විරුද්ධ විය යුතු බව සඳහන් කළේය.

ශ්‍රී ලංකාවට ලෝක කුසලානක්‌ (1996 වසරේදී) දිනා දීමට සමත් එකම නායකයා වන අර්ජුන රණතුංග මහතා වැඩිදුරටත් අදහස්‌ දක්‌වමින් ''අයි. පී. එල්. තරගාවලිය කියන්නේ තනිකරම කුණු ගොඩක්‌. මම කළිනුත් කිව්වා වගේ මේක ඉතාම දූෂිත තරගාවලියක්‌. මේක හරහා කුඩු, සුරාපානය සහ ගණිකාවොත් ලංකාවට එනවා. ඒ නිසා මේ තරගාවලිය පැවැත්වීමට ඉඩ නොදිය යුතුයි' යනුවෙන් අවධාරණය කරයි.

මේ අතර අයි. පී. එල්. තරගාවලිය තුළදී මුදලට තරග පාවාදීම පිළිබඳව සාකච්ඡා කළේ යෑයි ශ්‍රී ලංකා ක්‍රීඩක තිසර පෙරේරාට එරෙහිව ඉන්දී මාධ්‍ය විසින් නගන ලද චෝදනාව සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතන බලධාරීන් දක්‌වන ලද ප්‍රතිචාරය සම්බන්ධව කිසිසේත් සෑහීමකට පත්විය නොහැකි බව සඳහන් කළ රණතුංග මහතා, එවැනි චෝදනාවක්‌ කළ පුවත්පතට එරෙහිව අවම වශයෙන් නීතිමය ක්‍රියාමාර්ගයක්‌ හෝ ගැනීමට තිබූ බව සඳහන් කර සිටියේය.

චමිල කරවිට
http://www.divaina.com/2013/10/16/sports01.html

0 comments: