
ගල්ගමුව - හබරණ - මින්නේරිය - උඩවලව - වස්‌ගමුව ආදී වන අලින්ගේ නිජබිම් රැසක මේ වන විට මහා පරිමාණයෙන් අලි පැටවුන් ජාවාරම ක්‍රියාත්මක වෙමින් පවතින්නේ එවැනි පසුබිමකය. දැන් අපට සිදුවී ඇත්තේ දියේ දැමූ ඉබ්බාට ඇන්නෑවේ කියන්නටය.
නීති විරෝධී ලෙස වනාන්තරවලින් අල්ලාගන්නා ලද අලි ඇතුන් ලියාපදිංචි කිරීම සඳහා සහන කාලයක් ලබාදෙන බව වනජීවී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මෙම සැප්තැම්බර් 03 වැනිදාය. ඒ සඳහා එක් අලි පැටවකු සඳහා රුපියල් ලක්‍ෂ 10 ක් බැගින් ලියාපදිංචි ගාස්‌තුවක් අයකරන බව ද හේ කීය. ඔහු ලක්‍ෂ දහය ගැන කීවේ ඉතා විශාල මුදලක් ලෙසය. ශ්‍රී ලංකාවේ සාමාන්‍ය වැසියන්ට රුපියල් ලක්‍ෂ දහයක් යනු විශාල මුදලක් බව සැබෑය. නමුත් මෙම වන අලි පැටවුන් ජාවාරම පිටුපස සිටින ධනපති ව්‍යාපාරික පැලැන්තියට රුපියල් ලක්‍ෂ දහයක් යනු කඡ්ජක් නොවන බව අමාත්‍යවරයාගේ පුහුදුන් බුද්ධියට නොවැටහෙන්නට ඇත. සියටැල්ගේ භාෂාවෙන් කතා කරන්නේ නම් ඊට ලන්සු තබන්නට ශ්‍රී ලංකාවේ වනජීවී ඇමැතිවරයාට නොවැ මේ ලෝකය පාලනය කරන ශක්‍රදේවේන්ද්‍රයාටවත් නොහැකිය.
අද වන විට ශ්‍රී ලංකාවේ අපට ඉතා වටිනා සම්පතක් වන අලි ඇත් පරපුර උන්ගේ අවසන් කාර්තුවට තල්ලු කර දමා ඇති බවක් පෙනෙන්නට තිබේ. හොර අලි පැටවුන් ලියාපදිංචිය සඳහා මාස තුනක් වැනි දීර්ඝ කාලයක් ද ලබා දීමට අදාළ බලධාරීන් කටයුතු කරමින් සිටින බව ඒ අතරතුර අසන්නට ලැබේ. ඒ අනුව මෙම ඊනියා රඟපෑම සිදුකරමින් වනජීවී බලධාරීන් කල්මරන්නේද කාගේ අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා ද යන්න දෙවරක් සඳහන් කළ යුතු නැත.
ශ්‍රී ලංකාවේ වනාන්තරවල දිවිගෙවන අලි පැටවුන් මවු සතුන් ඝාතනය කර හෝ වෙනත් එවැනි අමානුෂික ක්‍රම මගින් පැහැරගෙනවිත් හීලෑ කිරීමේ ජාවාරම පිළිබඳව මෑත කාලීනව උණුසුම ඇතිවන්නේ හීලෑ අලින්ගේ තොරතුරු ඇතුළත් "අලි පොත" අතුරුදන් වීම හේතුවෙනි. ඒ සම්බන්ධයෙන් සහකාර අධ්‍යක්‍ෂවරියක් ද වැඩතහනමට ලක්‌කෙරිණි. ඉන්පසු "අලි පොත" සෙවීමේ විමර්ශනයන් ද ආරම්භ විය.
මේ මොහොතේ අලි පොත අතුරුදන්වීම දඩමීමා කරගෙන මෙරට පාලකයෝ හොර අලි ජාවාරම නීත්‍යනුකූල ව්‍යාපාරයක් බවට පත්කරගෙන තම මල්ල තරකර ගැනීමට කටයුතු කරමින් සිටිති. නමුත් මීට සමගාමීව ඉකුත් අගෝස්‌තු 21 වැනිදා තායිලන්ත රාජකීය පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අලි පැටවුන් සම්බන්ධයෙන් එරට ගත් ක්‍රියාමාර්ග සහ ඔවුන් ඉදිරියටත් සිදුකරන විමර්ශන පිළිබඳව මෙරට පාලකකාරකාදීන් ද විමසා බැලීම වටී.
ලෝකයේ අග්‍රගන්‍ය ජෛව විවිධත්වයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ වගකිවයුත්තන් ඒවා ආරක්‍ෂා කිරීම වෙනුවට පටු අවස්‌ථාවාදී ජාවාරම්කරුවන්ට උලාකන්නට ඉඩ හැර බලා සිටීම ජාතියේ අවාසනාවකි. එසේම එහි මූලිකත්වය ගෙන ක්‍රියා කරන අමනයන් පොදු සමාජය තුළ සුදු පිරුවට හැඳි උපාසකයන් ලෙස ජනතාවගේ වැඳුම් පිදුම් ලැබීම ද ඊටත් වඩා කනගාටුදායක තත්ත්වයකි.
සුපුන් ළහිරු ප්‍රකාශ්
http://www.divaina.com/2013/10/15/feature07.html
0 comments:
Post a Comment