Pages

Tuesday, October 22, 2013

පාක්ෂිකයනට නැති ප්‍රජාතන්ත්‍රවාදය රටට ඉල්ලන, බුදු හිමි පිළිමය සිරසෙන් අල්ලා බුදු හිමිටත්, පසුව කසාවතටත් අපහාස කළ මොංගල සමරගේ කුරුඳු පොලු නාටකය

[මෙම සේයාරුවට සබැඳි පුවත මෙම ලින්තුවෙන්]





ඉකුත් ඔක්‌තෝබර් 5 වැනිදා මේ රටේ ජනතාවට එජාපයේ කණ්‌ඩායම් දෙකක්‌ අතර මාතර නගර මධ්‍යයේ ඇතිවූ පුංචි යුද්ධයේ සේයා රූ සියලු ප්‍රවෘත්ති නාලිකා ඔස්‌සේ දැක ගැනීමට හැකි විය. මේ සිද්ධියට ප්‍රධාන වශයෙන්ම වගකිව යුත්තේ මංගල සමරවීර යෑයි අදහසක්‌ පැතිර තිබුණ ද මේ "ගේම" තුළ තවත් "ගේම්" ගණනාවක්‌ම සිදුවී ඇති බවට තොරතුරු මතුවෙමින් පවතී. තමා හා ශිරාල් ලක්‌තිලකගේ නායකත්වය යටතේ සාමකාමී පා ගමනක්‌ දෙවුන්දර මහ විෂ්ණු දේවාලයේ සිට කොළඹ දක්‌වා ඔක්‌තෝබර් 5 වැනිදා උදේ 10.30 ට ආරම්භ කිරීමට යන බව මුලින්ම පොලිස්‌පතිවරයාට දැනුම් දුන්නේ මෛත්‍රි ගුණරත්න මහතාය. මෙම පෙළපාලියේ මුඛ්‍ය පරමාර්ථය එ.ජා.ප. නායකත්වයෙන් රනිල් වික්‍රමසිංහ මහතාට ඉවත්වීමට බල කිරීම බවත් ඔවුන් පාරේ ගමනාගමනයට අවහිර නොවන ආකාරයට ගමන් ගනු ඇති බවත් එම ලිපියේ කියා තිබිණි. මෛත්‍රී ගුණරත්න ඒ සඳහා පොලිස්‌ ආරක්‍ෂාවක්‌ ඉල්ලා නොතිබුණේය.

ඊට දින දෙකකට පමණ පසු එ.ජා.ප.යේ දෙවිනුවර සංවිධායක එච්. ආර්. විමලසිරි මහතා ද ගන්දර පොලිසියට ලිපියක්‌ යවමින් ඔවුන්ට ද ඔක්‌තෝබර් 5 වැනිදා උදේ 7 ට දෙවුන්දර විෂ්ණු දේවාලයේ සිට කොළඹට පා ගමනින් යැමට අවශ්‍ය බව දැනුම් දුන්නේය. මෙය තමන්ගේ පෙළපාලියට කලින් පටන් ගන්නා නිසා මෛත්‍රී ගුණරත්න ද එයට එකඟ විය. ඉන් පසු විමලසිරි මහතා ඔහුගේ පෙළපාලියේ ආරම්භක වෙලාව උදේ 9.00 දක්‌වා කල් තබන ලදී. ඒ වෙනස්‌කමින් පසුව වුවත් පෙළපාලි දෙකේ ආරම්භක වේලාවන් පැය එකහමාරක්‌ පමණ වෙනසක්‌ තිබූ නිසා මෛත්‍රී ගුණරත්න එයට ද එකඟ විය. පොලිසියට ද මේ පෙළපාලි දෙක ගැටීමකින් තොරව එකකට එකක්‌ පසුපස යෑවීමට හැකියාව තිබූ නිසා ඔවුන් ද මේ පෙළපාලි දෙකම එකම ස්‌ථානයෙන් ආරම්භ කිරීම ගැන විරුද්ධ වූයේ නැත. නමුත් ඔක්‌තෝබර් 5 වැනිදා උදැසන සිදුවූයේ වෙනත් දෙයකි. රනිල් විරෝධී පෙළපාලිය නියමිත වේලාවට දෙවුන්දර විෂ්ණු දේවාලයෙන් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබුණ ද මංගල සමරවීරගේ නායකත්වය යටතේ රනිල්ට පක්‍ෂපාත පෙළපාලිය සඳහා මිනිසුන් රැස්‌වූයේ දෙවුන්දරට නොව මාතර වෙරළ අද්දර පාරටය. මොවුන් වෙරළ අද්දර පාරේ මෙසේ රැස්‌වී සිටින විට උදැසන 8.30 ට පමණ දෙවුන්දර රනිල් විරෝධී පෙළපාලියට සහභාගිවීමට "පැරදුනා ඇති රනිල් යන්න" යන මැයෙන් සකස්‌ කොට තිබූ කට්‌අවුට්‌ අටවා සූදානම් කොට තිබුණු ඩිමෝ බට්‌ටා වාහනයක්‌ ඒ සෙනඟ පහු කරගෙන යැමට උත්සාහ කළේය. රියෑදුරුට අමතරව මෛත්‍රී ගුණරත්න මහතාගේ ලේකම් දර්ශන ද මෙම රථයේ විය. මේ වාහනය නැවැත්වූ රනිල් පාක්‍ෂික පිරිස එහි තිබූ කට්‌අවුට්‌ විනාශ කොට ලවුඩ්ස්‌පීකර් දෙකක්‌ කුඩු පට්‌ටම් කොට මෛත්‍රී ගුණරත්නගේ ලේකම්වරයාට ද අතින් පයින් පහර දුන්නේය. ඒ කෙසේ වෙතත් වාහනයට එතැනින් පලා යැමට ඉඩ ලැබිණි. මේ පහරදීම ගැන මෛත්‍රී ගුණරත්නගේ සොහොයුරා වන නීතිඥ විශ්ව ගුණරත්න මාතර පොලිසියට දැනුම් දුන්නේය. පසුව මේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පැමිණිල්ලක්‌ ද ගොනු කරන ලදී. මේ ප්‍රහාරය නිසා තමන් වෙතට කලබලකාරීන් පිරිසක්‌ පැමිණෙමින් සිටින බවට දෙවුන්දර මහදේවාලයේ සිටි රනිල් විරෝධී පෙළපාලිකරුවන්ට පූර්ව දැනුම් දීමක්‌ ලැබිණි. මේ අවස්‌ථාවේදී පොලිසියට ලැබී තිබෙන තොරතුරු අනුව රනිල් විරෝධී පෙළපාලිකරුවන්ගෙන් ඇතැමෙක්‌ කුරුඳු පොලු ද සොයාගෙන කලබලකාරීන්ට මුහුණදීමට සූදානම් වී තිබේ.

උදේ 10.00 පසුවී සුළු වේලාවකින් මංගල සමරවීර ප්‍රමුඛ රනිල් පාක්‍ෂික පෙළපාලිය දෙවුන්දර දේවාලය අසලට පැමිණ රැස්‌වී සිටි රනිල් විරෝධීන් සමග වාද කිරීමටත් රනිල් පාක්‍ෂික සටන් පාඨ කීමටත් පටන් ගත්තේය. මේ අවස්‌ථාවේදී ශිරාල් ලක්‌තිලක ඇතුළු පිරිස මංගලගේ පෙළපාලිකරුවන් සමග තර්ක කිරීමේ යෙදී සිටි අතරතුර මෛත්‍රී ගුණරත්න තම පිරිස්‌වලට නායකත්වය දෙමින් නියමිත වේලාවට කලින් පෙළපාලිය ආරම්භ කළේය. ශිරාල්ගේ කණ්‌ඩායම සමග හර්මන් ගුණරත්න මහතාත් මෛත්‍රීගේ පුත් චරිත ගුණරත්නත් සිටි අතර මේ කලබලයේදී චරිතට මංගලගේ පිරිසේ සිටි අය පහරදීම නිසා ඔහුගේ හිසේ ඇතිවූ තුවාලයකට පසුව මැහුම් 7 ක්‌ දැමීමට සිදුවිය. ඒ කෙසේ වෙතත් රනිල් විරෝධී පෙළපාලිකරුවන්ට මංගලගේ පිරිස පසෙකට තල්ලු කර දමා පෙළපාලිය ආරම්භ කිරීමට හැකි විය. මේ පෙළපාලිය ඉදිරියට ඇදෙත්ම මාතර බ්‍රවුන්ස්‌ හිල් (ඊරදඅබි Hසකක) අසල මංගලගේ පිරිසක්‌ ඔවුන්ට පහරදීමට සූදානමින් සිටින බව ආරංචි වූ නිසා ඔවුන් ගමන්මග වෙනස්‌ කොට පරණ තංගල්ල පාර ඔස්‌සේ මාතර දෙසට ගමන් ගත්තේය. මේ අවස්‌ථාවේදී මෛත්‍රී ගුණරත්නට දුරකථන ඇමතුමක්‌ දුන් මාතර පොලිස්‌ ස්‌ථානාධිපතිවරයා කියා සිටියේ ඔවුන්ට පහරදීමට මාතර බෝධිය අසල කුරුඳු පොලු රැගත් පිරිසක්‌ රැඳී සිටින බවයි. මෛත්‍රී ඒ අවස්‌ථාවේදී එම පොලිස්‌ නිලධාරියාට පැවසූයේ තමා පෙළපාලිය නවත්වන්නේ නැති බවත් කලබලකාරීන් මාතර නගරයේ සිටින්නේ නම් ඔවුන් ඉවත් කිරීම පොලිසියේ රාජකාරිය බවයි. මාතර බෝධිය අසලට රැස්‌වූ කලහකාරයින් රනිල් විරෝධී පෙළපාලිය එනතුරු විනාඩි 45 ක්‌ පමණ එතැන රැඳී සිට තිබේ. ඒ කාලය ඇතුළත ඔවුන්ව දෙවරක්‌ම පොලිසිය විසින් විසිරුවා හැර තිබුණත් කලහකාරීන් ඒ ප්‍රදේශයේ ගැවසෙන සෙනඟ අතර දිගටම රැඳී සිට ඇත. එමෙන්ම කුරුඳු පොලු අසල කාණුවල හා පලතුරු කඩවල තට්‌ටු යට සඟවා තිබී ඇත. කුරුඳු පොලු එළියට ආවේ රනිල් විරෝධී පෙළපාලිය පෙනෙන තෙක්‌ මානයට පැමිණි පසුවය. ඉන් පසු සිදුවූ දැ මේ වන විට මුළු රටම දැක ඇත. 

සිදුවූ සියල්ලේම වගකීම මංගල සමරවීර පිටින් යන තත්ත්වයක්‌ දැන් නිර්මාණය වී ඇත. නමුත් රනිල් පාක්‍ෂික පෙළපාලිය සඳහා පොලිසියෙන් අවසර ලබාගත්තේ මංගල සමරවීර නොව එච්. ආර්. විමලසිරිය. ඔහු අවසර ගත්තේ ද දෙවිනුවර සිට කොළඹට පා ගමනක්‌ සඳහා මිස මාතර වෙරළ පාරේ සිට දෙවිනුවරට පා ගමනක්‌ සඳහා නොවේ. එම නිසා මාතර වෙරළ පාරේ රැස්‌වී සිටි රනිල් පාක්‍ෂික පිරිස නීති විරෝධී ජන සමූහයක්‌ විය. එම ජනතාවගේ නායකත්වය ගෙන සිටියේ මංගලය. පොලිස්‌ අවසර තිබුණේ කුමන පැත්තට යන්නදැයි විමලසිරි මංගලට දැනුම් දුන්නාද? ඔවුන් නීති විරෝධී ජනහමුවක්‌ වූවා පමණක්‌ නොව නීත්‍යානුකූල ජනරාශියක්‌ වූ දෙවුන්දර දේවාලයේ රනිල් විරෝධී පෙළපාලිය වෙතට යමින් සිටි වාහනයකට ද පහර දුන්නේය. මංගල සමරවීර ඒ පිරිසට නායකත්වය දුන් නිසා අදාළ වාහනයේ තිබූ ශබ්ද විකාශන යන්ත්‍ර දෙක නැතිවීමේ වගකීම ද ඔහු පිටින් ගොස්‌ ඇත. එපමණක්‌ ද නොව මේ නීති විරෝධී පෙළපාලිය දෙවුන්දරට ගිය අවස්‌ථාවේදී ඇතිවූ ගැටුමේදී චරිත ගුණරත්නට පහරදීම තවත් නීති විරෝධී ක්‍රියාවක්‌ විය.

එච්. ආර්. විමලසිරි මහතා දෙවුන්දරින් ආරම්භ කරන පෙළපාලියකට අවසර ගෙන තිබියදී එය මාතරින් ආරම්භ කොට දෙවුන්දර දෙසට ගෙන යැම ගැන පොලිසිය මංගලගෙන් කරුණු විමසා සිටිය විට ඔහු නිදහසට කරුණු වශයෙන් පවසා තිබුණේ පා ගමන ආරම්භ කිරීමට මාතර සිට දෙවුන්දරට ඔවුන් ගමන් කරමින් සිටි බවත් එය පෙළපාලියක්‌ නොවූ බවත් ය. නමුත් පොලිසිය මේ අවස්‌ථාවේදී අදාළ වීඩියෝ දර්ශන ද මංගලට පෙන්වා පවසා තිබුණේ රනිල් පාක්‍ෂික පිරිස බැනර් ඔසවාගෙන ශබ්ද විකාශන යන්ත්‍ර ද භාවිතා කරමින් සටන් පාඨ කියමින් පුවරු ද ඔසවාගෙන යාම හේතුවෙන් මෙය පෙළපාලියක්‌ම මිස අන් කවරක්‌ වත් නොවන බවයි. මෙහි විශේෂත්වයක්‌ වන්නේ මංගලගේ පෙළපාලිය සඳහා පොලිස්‌ අවසර ගත් එච්. ආර්. විමලසිරි මහතා මාතර සිට දෙවුන්දරට ගොස්‌ එතන ඇතිවූ ගැටුමෙන් පසු ආගිය අතක්‌ නොමැති වීමයි. ඊට පසුව මාතර සිදුවූ ගැටුමේදී විමලසිරි මහතා පෙනෙන්නට සිටියේ නැත.

ඒ කෙසේ වෙතත් පොලිසියට ලැබී ඇති වීඩියෝ දර්ශනවලින් පෙන්නුම් කර තිබෙන ආකාරයට මාතර සිට දෙවුන්දරට පෙළපාලියෙන් ගොස්‌ කලබල ඇතිකළ කලහකාරී පිරිස අතර සිටි අයට පසුව මාතර බෝධිය අසලදී රනිල් විරෝධී පෙළපාලියට එල්ල කළ ප්‍රහාරයේ ද සිටි බවයි. මේ අනුව පෙනී යන කාරණය වන්නේ දෙවුන්දරට ගොස්‌ රනිල් විරෝධී පෙළපාලිකරුවන් සමග ඇතිකර ගන්නා ලද ගැටුම අසාර්ථක වූ තැන රනිල් පාර්ශ්වික පිරිස වාහනවලින් මාතරට ප්‍රවාහනය කොට තවත් ප්‍රහාරයකට සූදානම් වූ බවයි. මංගල සමරවීර මහතාම රනිල් විරෝධීන්ට ''රිටර්න් එකක්‌" දීමට තමන්ගේ මිනිසුන් මාතරදී කටයුතු කළ බව ප්‍රසිද්ධියේ පිළිගෙන තිබීමෙන් ඔහුට බරපතළ නෛතික ප්‍රශ්නයක්‌ පැන නගිනු ඇත. රනිල් විරෝධීන් තමන්ගේ මිනිසුන්ට මුලින්ම පහර දුන් බව කීමට ද මංගලට නොහැක. ඒ ඔහුගේ පිරිස රනිල් විරෝධී පාර්ශවයේ වාහනයකට මුලින්ම පහර දී නීති විරෝධී ජනරාශියක්‌ හා නීති විරෝධී පෙළපාලියක්‌ හැටියට දෙවුන්දරට ගොස්‌ එතැනදී ද කබලයක්‌ ඇතිකොට මෛත්‍රී ගුණරත්නගේ පුත්‍රයාට ද තුවාල කර තිබුණු නිසාය. මෛත්‍රී හා ශිරාල්ගේ පිරිසට දෙවුන්දර දේවාලයේ සිටීමට පොලිස්‌ අවසරය තිබුණත් මංගලගේ පිරිසට මාතර සිට දෙවුන්දරට ඒමට අවසරයක්‌ තිබුණේ නැත.

ඒ කෙසේ වෙතත් පොලිසිය මේ සිද්ධීන් වල වීඩියෝ පට නැරඹීමෙන් පසු සිද්ධියට අදාළ පිරිස්‌ අත්අඩංගුවට ගැනීමට කටයුතු කළේය. මහෙස්‌ත්‍රාත්වරයාගේ නියෝගය පරිදි ඔවුන් මංගල සමරවීර මහතා ද උසාවියට ඉදිරිපත් කළ අතර ඔහුට ඇප දීමට විරුද්ධ වුයේ නැත. ඔහුගේ ගෝල බාලයින් සිරබාරයේ සිටිය ද මංගල සමරවීර සිරගත වූයේ නැත. පොලිසියට බාරවීම සඳහා ඔහු පැමිණෙන විට රිමාන්ඩ් භාරයට යැමට සූදානම්ව "සිලි සිලි" මල්ලක සරමක්‌, තුවායක්‌, සබන්, දත් බෙහෙත්, දත් බුරුසු යනාදිය ද රැගෙන පැමිණියේය. ඔහු පොලිසියට බාර වන බවට කල් තියා දැනුම් දී තිබුණු නිසා එදින විශාල සෙනගක්‌ පොලිසිය වට කරනු ඇති බවට බලාපොරොත්තුවක්‌ විය. මංගල විසින් මාතර දිස්‌ත්‍රික්‌කයේ රැකියා දුන් අයගෙන් සුළු ප්‍රතිශතයක්‌ හෝ පැමිණියේ නම් එය මහා සෙනගක්‌ වනු ඇත. නමුත් මංගල පැමිණියේ ඔහුගේ සොහොයුරියත්, නීතිඥ නිස්‌සංක නානායක්‌කාරත්, තව කිහිප දෙනෙකුත් සමග පමණි. එදින පස්‌වරුවේ ඔහුට ඇප දුන් අවස්‌ථාවේදී උසාවියෙන් පිටත ඔහුව පිළිගැනීමට කිසිවෙක්‌ සිටියේ නැත. මෙයට එක්‌ හේතුවක්‌ වන්නේ ඔහු වෙනුවෙන් මෙවැනි දේ සංවිධානය කිරීමට සිටි අය සියලු දෙනාම ඒ වන විට රිමාන්ඩ් භාරයේ සිටීමයි. අනෙක්‌ කාරණය වන්නේ දිස්‌ත්‍රික්‌කයේ සියලුම එජාප ප්‍රබලයන් මේ අවස්‌ථාවේදී මංගලව මගහැර යාමයි.

මෙහිදී ප්‍රශ්නය වන්නේ මාතර දිස්‌ත්‍රික්‌කයේ හිටපු දිස්‌ත්‍රික්‌ නායක හා රනිල් වික්‍රමසිංහ මහතාගේ කිට්‌ටුවන්තයකු වන සාගල රත්නායක සිටියේ කොහිද යන්නයි. හරිනම් මංගල වැටෙන විට ඔහු වෙනුවෙන් සියලු කටයුතු සංවිධානය කළ යුතුව තිබුණේ සාගල රත්නායක විසිනි. මාතර දිස්‌ත්‍රික්‌කයේ සිටින එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනා වන්නේ මංගල සමරවීර හා බුද්ධික පතිරණයි. බුද්ධික පතිරණ මේ කිසි දෙයකට හවුල් නොවීම පුදුමයක්‌ නොවන්නේ ඔහුට මංගල සමරවීර සමඟ ප්‍රශ්න තිබෙන අතර ඔහු සිටින්නේ සජිත් ප්‍රේමදාසගේ කණ්‌ඩායම සමඟ වන නිසාය. නමුත් මංගල මේ සියල්ල කළේ රනිල් වෙනුවෙන් බෙල්ල දීමට ය. එම නිසා රනිල්ගේ කිට්‌ටුවන්තයකු වන සාගල රත්නායක දැන් මංගල වෙනුවෙන් බෙල්ල දීමට ඉදිරිපත් විය යුතුය. නමුත් සාගල ආගිය අතක්‌ නැත. මංගල පොලිසියට යන විටත් උසාවියෙන් එළියට එන විටත් සාගල නැත.

මේ ගැන විවිධ කතා පැතිරෙමින් පවතී. සාගල රටේ නොසිටි බව ඇතැම් අය කියයි. තවත් අය කියන්නේ ඔහු අනිවාර්යයෙන්ම රටේ සිටි අතර මේ ආකාරයට ගැටුමක්‌ ඇතිකිරීම ගැන ඔහු විරුද්ධ වූ බවයි. පළාත් සභා මන්ත්‍රීවරයකු හා හක්‌මන සංවිධායක වන කපිල වෙල්ලප්පිලි ද රනිල් පාක්‍ෂික පෙළපාලියට පැමිණෙන්නේ නැති බව එලිපිටම පවසා ඇත. කොළඹ, ගම්පහ ඇතුළු ප්‍රදේශවලින් පවා රනිල් පාක්‍ෂිකයන් මාතරට පැමිණ සිටිය ද සාගල රත්නායක පෙනෙන්නට නොසිටීමෙන් පැහැදිලි වන්නේ බැලූ බැල්මට රනිල් පාක්‍ෂික කණ්‌ඩායම තුළ එකමුතුවක්‌ පැවතුන ද එක ගේමක්‌ තුළ තවත් ගේම් ගණනාවක්‌ම සිදුවී ඇති බවයි. ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයේදී ආණ්‌ඩුවේ ඡන්ද යම් ප්‍රමාණයක්‌ අඩු වුවත් එජාප ඡන්දවලින් සෑහෙන ගණනක්‌ සරත් ෆොන්සේකාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයට යනු ඇතැයි අපට බලාපොරොත්තු විය හැක. එම නිසා ඊළඟ වතාවේ ද එජාපයට මාතර දිස්‌ත්‍රික්‌කයෙන් ලැබෙන්නේ පාර්ලිමේන්තු ආසන දෙකක්‌ පමණක්‌ බව ඉතා පැහැදිලිය. ඊළඟ වතාවේදී වත් සාගල පාර්ලිමේන්තුවට ඒමට නම් එක්‌කෝ බුද්ධික පතිරණ යා යුතුය. නැතිනම් මංගල සමරවීර යා යුතුය. බුද්ධික එජාපයෙන් ඉවත් නොවන බවට ලේ වලින් අත්සන් කර දී ඇත. එමෙන්ම ඔහුව දොට්‌ට දැමීමට හැකි වන ආකාරයට කිසිවක්‌ ඔහු මේ දිනවල කරන්නේ ද නැත. එම නිසා ඊළඟ වතාවේත් නාමයෝජනා ලැයිස්‌තුවේ බුද්ධික සිටිනු ඇත. බුද්ධික එජාපයේ සිටියොත් ඉතිරි ආසනය සඳහා තරගය පවතින්නේ සාගල හා මංගල අතර ය. එජාපයේ ආසන දෙක සඳහා තරග වැදීමට හැක්‌කේ බුද්ධික, මංගල හා සාගලට පමණි. එම දිස්‌ත්‍රික්‌කයේ අනෙක්‌ සියලුම ඡන්ද අපේක්‍ෂකයන්ට ලැබී ඇත්තේ මේ තිදෙනාට වඩා බෙහෙවින්ම අඩු මනාප සංඛ්‍යාවකි. සාගල අද නන්නත්තාර වී ඇත්තේ මංගල එජාපයට පැමිණි නිසාය. සාගල සතුව තිබුණු දිස්‌ත්‍රික්‌ නායකත්වය ද මංගලට ලැබී ඇත. මංගල දේශපාලන ප්‍රබලයෙක්‌ නිසා ඔහුට දිස්‌ත්‍රික්‌ නායකත්වය දීමට රනිල්ට සිදුවිය. මංගල නොසිටියේ නම් සාගලට පාර්ලිමේන්තු අසුනක්‌ නොතිබුණ ද ඔහු දිගටම දිස්‌ත්‍රික්‌ නායකයා හැටියට කටයුතු කරනු ඇත. ගාලු දිස්‌ත්‍රික්‌කයේ වජිර අබේවර්ධන ද පාර්ලිමේන්තුවේ නොසිටියත් තවමත් දිස්‌ත්‍රික්‌ නායකයාය. මේ අනුව සාගලට සියල්ල නැති වී ඇත්තේ මංගල නිසාය.

දැන් මාතර සිද්ධියෙන් මංගල කෙරෙහි මහත් අප්‍රසාදයක්‌ ජනිත වී ඇත. දිස්‌ත්‍රික්‌කයේ සෙසු යූඑන්පී ප්‍රබලයන් ද ඔහුව මගහැර යති. සාගල මේ කිසි දේකට ගෑවී නැත. මංගල රනිල් විරෝධීන්ට "ගේමක්‌" සැලසුම් කරන අතරතුර ඔහුට වෙනම ගේමක්‌ පසුපසින් වැදී නැත්දැයි ඔහුම කල්පනා කර බැලිය යුතුය.

සී. ඒ. චන්ද්‍රප්‍රේම
http://www.divaina.com/2013/10/21/feature01.html

0 comments: