Pages

Thursday, October 24, 2013

නිධන් හෑරීම් හා පුරාවස්‌තු විනාශයට නව නීති

පුරාවිද්‍යාත්මක වටිනාකම් ඇති ස්‌ථානවල සිදු කෙරෙන නීතිවිරෝධී නිධන් හැරීම් සහ ඉපැරැණි නටබුන් විනාශකරමින් සිදු කෙරෙන පුරාවස්‌තු විනාශ කිරීම්වලට සම්බන්ධ පුද්ගලයන්ට සිරදඬුවම අනිවාර්යය කරමින් ඒ සඳහා පැනවිය හැකි දඩය රුපියල් පනස්‌ ලක්‍ෂය දක්‌වා වැඩි කිරීමට හැකිවන පරිදි නව නීති සංශෝධන ඉදිරි සති කීපය තුළ රජයට ඉදිරිපත් කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තිරණය කොට තිබේ.

පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් සෙනරත් බණ්‌ඩාර දිසානායක මහතා සඳහන් කළේ මීට පෙර එම නීතිරීති මත පනවා තිබු සිර දඬුවම හෝ දඩය වෙන්කොට දක්‌වා සිර දඬුවම අනිවාර්යය කිරීමට නීති සංශෝධන යෝජනා ඉදිරිපත්කොට ඇති බවයි. නව නීති සංශෝධනයේදී පුරාවස්‌තු විනාශ කිරීමට අනුබල දෙන පුද්ගලයන්ට ද දඬුවම් දිය හැකි අයුරින් නීති පැනවීමට කටයුතු සැලසුම් කර ඇති බවද ඔහු පැවසීය.

එකී නව නීති යටතේ එවැනි ක්‍රියාවලට සම්බන්ධ වන පුද්ගලයන්ගේ වාහන රාජසන්තක කළ හැකි වන අයුරින් නීති පැනවීම ද එම සංශෝධනවලට ඇතුළත් කොට ඇත.

පුරාවස්‌තු විනාශය වැළැක්‌වීම සඳහා ඒවාට සම්බන්ධ වන පුද්ගලයන්ට විරුද්ධව ගෙන එන නීති සංශෝධන රජයේ අනුමැතියට ඉදිරිපත් කොට පසුව නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවට යොමු කරන බවද පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පැවැසීය.

මේ අතර පසුගිය මාස අට තුළ පමණක්‌ දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුවී ඇති පුරාවිද්‍යාත්මක වටිනාකම් ඇති දෑ විනාශ කිරීම පිළිබඳව පැමිණිලි 207 ක්‌ පොලිසියේ පුරාවස්‌තු ආරක්‍ෂණ කොට්‌ඨාසයට ලැබී ඇත.

ජයන්තිපුර - උඩගෙදර
http://www.divaina.com/2013/10/24/provin02.html

0 comments: