Pages

Monday, October 28, 2013

උඩරට ගොවීන්ගේ පොහොර රජරට වකුගඩු ලෙඩ කරයි

නුවරඑළිය දිස්‌ත්‍රික්‌කය ඇතුළු උඩරට ගොවීන් පමණ ඉක්‌මවා හිතුමතයට එළවළු වගාවට යොදා ගන්නා පොහොරවල අඩංගු පොස්‌ෆරස්‌ මහවැලි ගඟ දිගේ ගලා ගොස්‌ රජරට වැව් ජලයට මිශ්‍ර වීමෙන් රජරට ජනතාවගේ අක්‌මා සහ වකුගඩු රෝග වර්ධනය කරන බව පේරාදෙණියේ ගන්නෝරුවේ පැවැති විද්‍යාඥයන්ගේ සාකච්ඡා සමුළුවකදී තහවුරු කරන ලදී.

ආචාර්ය පරාක්‍රම වෛද්‍යනාථ ඇතුළු කණ්‌ඩායමක්‌ මෙය කැඳවා තිබිණි.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ලබාදෙන උපදෙස්‌ නොතකා වැඩි අස්‌වැන්නක්‌ බලාපොරොත්තුවෙන් උඩරට ගොවීන් ප්‍රමාණය ඉක්‌මවා පොහොර භාවිතා කිරීමෙන් පොහොරෙහි අඩංගු විශාල පොස්‌ෆරස්‌ ප්‍රමාණයක්‌ මහවැලි ගඟ දිගේ ගලාගොස්‌ රජරට වැව් සහ ජලාශයන්හි ජලයට මිශ්‍රවන බව සමුළුවේදී පෙන්වා දෙන ලදී. 

එම ජලය පරිභෝජනය කරන රජරට ජනතාවගේ අක්‌මා හා වකුගඩු රෝගී තත්ත්වය උත්සන්න වන බව සමුළුවේදී පෙන්වා දෙන ලදී.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය සරත් අමරසිරි මහතා කරුණු දක්‌වමින් ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්‌ඩලය පවසන පරිදි උතුරු මැද පළාතේ නාච්චාදූව වැව, තිසා වැව, නුවර වැව, කලාවැව, මින්නේරිය වැව, පරාක්‍රම සමුද්‍රය යන මහා වැව් හා වෙනත් ජලාශ රැසක ජලයට මහවැලි ගඟේ ගලා යන ජලය සමග විශාල ප්‍රමාණයේ පොස්‌ෆරස්‌ මිශ්‍රවී තිබෙන බව පෙන්වා දී තිබේ යෑයි පැවසීය.

මෙලෙස වැව් ජලයට පොස්‌ෆරස්‌ විශාල වශයෙන් මිශ්‍ර වීමෙන් වැව් ජලයේ ඇල්ගී නමැති ජලජ පැළෑටි විශේෂයක්‌ රෝපණය වන බවත් එම පැළෑටි විශේෂය සෞඛ්‍යයට අහිතකර බවත් මෙහිදී පෙන්වා දෙන ලදී.

මෙම වැව් හා ජලාශවල ජලය මීට පෙර 1965 වසරේ දී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් පරීක්‍ෂණයට ලක්‌කළ අවස්‌ථාවේ පොස්‌පේට්‌ මිශ්‍ර වී නොතිබුණු බවද ආචාර්ය සරත් අමරසිරි මහතා පෙන්වා දුන්නේය.

මහනුවර මූලික අධ්‍යයන ආයතනයේ විද්‍යාඥ මහාචාර්ය ආනන්ද කුලසූරිය මහතා කරුණු දක්‌වමින් තම ආයතනය මගින් කරන ලද පර්යේෂණයකදී සොයාගත් කරුණු අනුව රජරට වැව් ජලයේ සෞඛ්‍යයට හානි වන ආකාරයෙන් ඇල්ගී ගහණය ඉහළ ගොස්‌ තිබෙන බව පැවසීය.

ආචාර්ය පරාක්‍රම වෛද්‍යනාථ මහතා සහ මහාචාර්ය ධම්මිකා මැණිකේ මහත්මිය ඇතුළු කීප දෙනෙක්‌ද කරුණු ඉදිරිපත් කළහ.

උඩරට කඳුකරයේ එළවළු වගා කරන ගොවීන්ව පොහොර භාවිතය පිළිබඳව දැනුවත් කිරීමට රජය වැඩපිළිවෙළක්‌ ගත යුතුව තිබෙන බව සමුළුවේ එක්‌ නිගමනයක්‌ විය. 

එසේම නුවරඑළිය සහ වැලිමඩ ප්‍රදේශයන්හි ගොවීන් පොහොර භාවිතය පිළිබඳව විශේෂයෙන් දැනුවත් කිරීමේ වැඩ පිළිවෙළක්‌ ක්‍රියාත්මක විය යුතු බව නිගමනය කළ විද්‍යාඥයන්ගේ සමුළුව පොහොර භාවිතය සම්බන්ධයෙන් අවශ්‍ය නීති රීති වුවද පැනවිය යුතු බවත් රජයට පෙන්වා දීමට තීරණය කළේය.

සිරිල් විමලසුරේන්ද්‍ර
http://www.divaina.com/2013/10/26/news08.html

සබැඳි ලිපි -
[
උතුරු මැද වකුගඩු රෝගයට ප්‍රධානම හේතුකාරකයා කැඩ්සියම් - නවතම පර්යේෂණ වාර්තාවක්‌ හෙළිකරයිhttp://denethharinna.blogspot.com/2013/10/blog-post_6556.html
ගොවිතැන සහ වකුගඩු රෝගය - 'වකුගඩු මාවත'http://denethharinna.blogspot.com/2013/09/blog-post_8541.htmlවකුගඩු රෝගයට හේතුව කැඩ්මියම් සහ ආසනික්‌ - ලෝක සෞඛ්‍ය සංවිධානයhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_28.htmlඅතීතයේ රජරට ජනශූන්‍ය කළ මහ ලෙඩේ වකුගඩු රෝගය ද?http://denethharinna.blogspot.com/2013/09/blog-post_7144.html
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවසන් වාර්තාව අනුව රජරට වකුගඩු රෝගීන්ගේ මුත්‍රාවල ආසනික්‌ ප්‍රමාණය ග්‍රෑම් 1කට මයික්‍රෝ ග්‍රෑම් 92.44 තෙක්‌ වැඩියි - චන්න ජයසුමන
http://denethharinna.blogspot.com/2013/08/1-9244.html

]

0 comments: