Pages

Saturday, October 19, 2013

පිංකම් අතර මහා පිංකම - අනන්ත අනුහස්‌ ඇති කඨින චීවර පිංකම

තිලෝගුරු බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද පිංකම් අතර මහා පිංකම් අටක්‌ (08) දේශනා කර ඇත. ඒ අතරින් පළමුතැන හිමිවන්නේ කඨින පිංකමටයි. කඨින පිංකමක අනුහස්‌ අනන්ත යෑයි දේශනා කර ඇති අතර කඨින චීවර පූජාව බුදුදහමේ පෙන්වා දී ඇති බලගතුම පිංකමයි.

බුද්ධ දේශනාවේ දානයට සුවිශේෂී ස්‌ථානයක්‌ හිමිවේ. දානය ආමිස දානය, අභය දානය හා ධර්ම දානය ලෙස කොටස්‌ තුනකට වෙන්කළ හැක. දානය පාරමිතාවක්‌ ලෙසද, දසරාජ ධර්ම අතර රාජධර්මයක්‌ ලෙසද, සතර සංග්‍රහ වස්‌තු අතර වස්‌තුවක්‌ ලෙසද, දස පුණ්‍යක්‍රියා අතර පිංකමක්‌ ලෙසද දක්‌වා ඇත.

මේ සියලු දාන අතරින් බුදුදහමේ සුවිශේෂී ස්‌ථානයක්‌ හිමිවන කඨින චීවර පූජාව නමැති බලගතු පිංකම පිළිබඳව දීර්ඝ විස්‌තරයක්‌ නාගිතාපදානය තුළින් දැකගත හැකිය. එහි වැඩිදුරටත් සඳහන් වන්නේ බුදුරදුන් දෙව්රම් වෙහෙරේ වැඩ වසන කාලයක බ්‍රාහ්මණ මහාසාර කුලයක උපන් "නාගිත" නම් වූ කුමරුවකු සසර කළ කඨින පිංකම්වල අනුහස්‌ බලෙන් බුදුරදුන් හමුවට පැමිණ බණ අසා පැහැදී ඒහි භික්‍ෂු භාවයෙන් පැවිදි වී සිව් පිළිසිඹියාවට පත්ව රහත් වීමේ කතා පුවතකි.

සීලයෙන් හා ගුණයෙන් උතුම් මහා සංඝයා විෂයෙහි කඨින චීවර පූජාව සහිත දන්දීමෙන් කල්ප මහා තිහක්‌ දුගතියෙන් තොරව ජීවත්වීමේ භාග්‍යය උදාවන බව එම නාගිතාපදානයේ ගාථා සමූහයකින් පෙන්වා දී ඇත.

මේ අයුරින් එම බලගතු පිංකම පිළිබඳව බුදුදහමේ කරුණු දේශනා කොට තිබියදී බෞද්ධයන් ලෙස අපද එම පිංකමට දායකවීමට උත්සාහ කළ යුතුය. මහපොළව මෙන් කිසිකලෙක කම්පා නොවන, මහාමේරු පර්වතය මෙන් අධික සුළඟකින් හෝ නොසෙල්වෙන, ඒකසන වජිර පර්වතය මෙන් නොබිඳෙන මහා බලගතු එකම පිංකම කඨින චීවර පූජාවයි.

අදින් එළඹෙන වප් පොහොයේ සිට ඉල් පොහොය දක්‌වා මෙම බලගතු පිංකමට අතහිත යොදවා පුණ්‍යශක්‌තිය වඩා වර්ධනය කර ගැනීමට අවස්‌ථාව උදාවනු ඇත. එබැවින් පසුබට නොවී එම බලගතු පිංකම කර ගැනීමට සෑම දෙනෙක්‌ම උත්සාහවත් වීම ප්‍රඥගෝචර ක්‍රියාවකි. ඒ තුළින් සංසාරයේ හමුවන සතර අපා දුක්‌වලින් මිදී දිව්‍ය සැප සම්පත් අනුභව කොට එයින්ද නොනැවතී නිවන් ලැබගෙන ඉපදීම අවසන් කිරීමටත් උත්සාහවත් විය යුතුය.

සැමට තෙරුවන් සරණයි!

වප් පෝදා සිතුවිලි - පරකඩුවේ සිරි සරණංකර නාහිමි
http://www.divaina.com/2013/10/18/news03.html

0 comments: