Pages

Monday, October 28, 2013

සිසුන් අතර තවමත් ජනප්‍රිය 'මඩොල්දූව'

පාසල් සිසුන් අතර තවමත් ජනප්‍රිය වී පවතින්නේ මාර්ටින් වික්‍රමසිංහ ශූරීන්ගේ "මඩොල් දූව" පොත බව ජාතික පුස්‌තකාල හා ප්‍රලේඛන සේවා මණ්‌ඩලය විසින් කරන ලද සමීක්‍ෂණයකින් අනාවරණය වී ඇත. ඊට අමතරව වැඩිම සිසුන් පිරිසක්‌ කියවා ඇත්තේ "හීන්සැරය", "හත්පණ", "අඹ යාළුවෝ", "මඟුල් කෑම", "අපේ ගම", "ෂර්ලොක්‌ හෝම්ස්‌" වැනි පොත් යෑයි ද එම සමීක්‍ෂණයෙන් තවදුරටත් හෙළිවී තිබේ.

උතුරු නැගෙනහිර හැර සෙසු සියලුම පළාත්වලින් අහඹු ලෙස තෝරාගත් පාසල් පන්සීයක හය ශේ්‍රණියෙන් ඉහළ සිසුන් දසදහස්‌ හයසිය විසි දෙනකු යොදා ගනිමින් මෙම සමීක්‍ෂණය සිදු කරනු ලැබ ඇත.

එම සමීක්‍ෂණ වාර්තාවට අනුව සිසුන්ගෙන් බහුතරය එනම් සියයට 91 ක්‌ම නවකතා හා කෙටිකතා කියවීමට ද සියයට 89 ක්‌ අධ්‍යාපන පොතපත කියවීමට ද සියයට 82 ක්‌ ආගමික පොතපත කියවීමට ද රුචියක්‌ දක්‌වති. කවි හා ගීත සඳහා සියයට 78 ක්‌ද, සඟරා කියවීමට සියයට 74 ක්‌ද කැමැත්ත දක්‌වන බව සමීක්‍ෂණ වාර්තාව පෙන්වා දෙයි. එමෙන්ම කාටූන් සඳහා සියයට 70 ක්‌ද, සංයුක්‌ත තැටි සඳහා සියයට 66 ක්‌ද කැමැති බව ද එම වාර්තාවේ සඳහන්ව තිබේ.

තවද ජ්‍යෙෂ්ඨ සිසුන් අතරින් "ගොදුරුලොබ" හා "ගුරු ගීතය" යන පොත්වලට බහුතරයක්‌ කැමැත්ත පළ කර ඇත. එමෙන්ම සිසුන් අතර තවමත් ජනප්‍රිය මාර්ටින් වික්‍රමසිංහ, මුනිදාස කුමාරතුංග, ටිබෙට්‌ ජාතික එස්‌. මහින්ද හිමි, ඒ. වී. සුරවීර, ටී. බී. ඉලංගරත්න වැනි පැරණි ලේඛකයන් වීම විශේෂත්වයකි. මෑතකාලීන පොත් වර්ග අතරින් සිසුන් අතර ඉතාමත්ම ජනප්‍රිය අභිරහස්‌ පොත් වේ.

මෙම කරුණු අනාවරණය වූයේ ජාතික පුස්‌තකාල හා ප්‍රලේඛන සේවා මණ්‌ඩලයේ පසුගිය සිකුරාදා (25 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදීය.

අධ්‍යාපන සේවා ඇමැති දුමින්ද දිසානායක, එම මණ්‌ඩලයේ සභාපති මහාචාර්ය සෝමරත්න බාලසූරිය, අධ්‍යක්‍ෂ ජනරාල් ඩබ්ලිව්. සුනිල් යන මහත්වරු සහභාගි වූහ.

නිලන්ත මදුරාවල
http://www.divaina.com/2013/10/28/news14.html

0 comments: