Pages

Monday, October 14, 2013

මේ ලෝකෙ පාලනය කරන්නෙ දේශපාලකයෝ නොවේ, බහු ජාතික සමාගම්! - මතට එරෙහි සටනේ රජරට විරුවා මෛත්‍රිපාල

අපේ රටේ අවුරුද්දකට විසිදාහක්‌ දුම් පානයෙන් මැරෙනවා...

ඇමැතිකම් කරන්න කලින් මං අමද්‍යප ව්‍යාපාරයේ නායකයෙක්‌...

මේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව බලාපොරොත්තු වුණාට වඩා වෙනස්‌...

අපව පුදුමයට පත්කරමින් නඩු දිනේ අවුරුද්දකින් කල් ගියා...

පහුගිය කාලේ මරණ තර්ජන තිබුණා... ඒත් දැන් සතුරා එන්නේ වෙනස්‌ මුහුණුවරකින්...

එක්‌ පැත්තක ගින්දරය. අනෙක්‌ පැත්තේ මෝඩයෙකි. ඒ සිගරැට්‌ටුව පිළිබඳව තිබෙන හොඳම හා සරලම තේරවිල්ලය. ව්‍යසනයක්‌ මුදල් දී ගන්නවා පමණක්‌ නොව එම ව්‍යවසනය තම නිෂ්පාදනය කරගත් පිරිසගේ ආධිපත්‍යයද දරා ගැනීමට සමාජයක්‌ ලෙස අපට සිදුවී ඇත. හලාහල විෂ, නිදහසේ වෙළ¹මක්‌ ලෙස කෙරීගෙන යන්නේ ඒ හේතු මතය. ඒ "නිදහසට" බාධකයක්‌ දැමීමේ කර්තව්‍යයක නියෑළී සිටින රටක්‌ බවට ශ්‍රී ලංකාවද පත්ව තිබේ. තවමත් එහි පල නෙළා ගන්නා තැනට නොයා තිබුණද උත්සාහයම අගය කළයුතු හෙයින් එම කර්තව්‍යයේ නියමු චරිතයට පණ පොවන සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතා සමග මාතෘකාව අමද්‍යප සටන, තහනම් වචනය දේශපාලනය කරගනිමින් "දිවයින ඉරිදා සංග්‍රහය කතාබහක්‌ කරන ලද්දේද සටනේ බැරෑරුම්භාවය ඇමැතිවරයාගේ වචනයෙන්ම දැන ගැනීමටය.

ඉතිං කොහොමද.....? මොකද මේ පැත්තේ.....?

අමාත්‍යවරයා සිය කාර්යබහුලතාවය මැද්දේම අපව පිළිගත්තේ එසේය... 

අමද්‍යප ව්‍යාපාරය ගැන ඔබතුමත් එක්‌ක සාකච්ඡාවක්‌ කරන්නයි ආවේ...

අපි කාරණය පැහැදිලි කරනවාත් සමග සිනහවක්‌ පාමින් ඇමැතිවරයාගෙන් පිළිතුරක්‌ ලැබිණි.

ඒක ඉතිං ධර්මපාලතුමාගෙන් තමයි අහගන්න වෙන්නේ....

මේ මොහොතේ ඔබ, ලෝකයේ තිබෙන දැවැන්ත පෙරමුණු දෙකක්‌ සමග සටනක නියෑළෙනවා. එකක්‌, ඖෂධ මාෆියාව, අනික දුම්කොළ මාෆියාව, මීට කලිනුත් සෞඛ්‍ය අමාත්‍යවරු ගණනාවක්‌ හිටියා. මීට පෙර සිටි ඇමැතිවරු මේ මාෆියාව සමග සටන් කරන්න විශේෂ උනන්දුවක්‌ දැක්‌වූයේ නැහැ. දුම්වැටියට එරෙහිව, මෙතරම් ප්‍රබල සටනකට ඔබ යොමුවුණේ ඇයි...?

මම මේ අමාත්‍යාංශය භාරගෙන දැන් අවුරුදු තුනකට වැඩියි. සෞඛ්‍ය ඇමැතිවරයා වෙන්න කලින් නෙමෙයි, මම මැති ඇමැතිකම් කරන්නත් කලින් තමයි, අමද්‍යප ව්‍යාපාරයේ ක්‍රියාශීලී සාමාජිකයෙක්‌ වුණේ. අසූව දශකයේ අග භාගයේදී මම ඇඩික්‌ ආයතනයටත් සම්බන්ධවෙලා, ඒකේ දේශනවලටත් ගියා. මම අනූ හතරේ, නියෝජ්‍ය ඇමැතිවරයෙක්‌ වුණාට පස්‌සේ,මට තිබුණු දේශපාලන කටයුතුත් එක්‌ක ඒ වැඩවලින් මට ඉබේම ඈත්වෙන්න වුණා. අසූව දශකයේ අගභාගයේදී මම, පොළොන්නරුවේදී මත්ද්‍රව්‍ය විරෝධී කැදැල්ල, කියන සංවිධානය හැදුවා. මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් මගේ විරෝධය මෙන්ම ඒ පිළිබඳ වැඩපිළිවෙළ හදිසියේ මා තුළින් ආපු එකක්‌ නොවෙයි. මගේ පුද්ගලික ජීවිතයේ අවුරුදු තිස්‌ පහකට වැඩි ඉතිහාසයක්‌ තියෙනවා, මත්ද්‍රව්‍ය විරෝධී ව්‍යාපාරයේ කෙනෙක්‌ විදිහට. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇමැති ලෙස මම පත්වුණාට පස්‌සේ මූලික වශයෙන්ම ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තිය තුළත්, මම පෞද්ගලිකව දරන මතය තුළත් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන්, දැඩි පිළිවෙතක්‌ අනුගමනය කරනවා. අපේ ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තිය වගේම, අන්තර් ජාතික වශයෙන් කටයුතු කරද්දී, ලෝක සෞඛ්‍ය සංවිධානය තමන්ගේ සාමාජික රටවල් එකසිය අනූ හතරම, එහි ගන්නා තීරණ ක්‍රියාත්මක කළ යුතු වෙනවා. අපි දුම්වැටියට එරෙහිව වැඩපිළිවෙළක්‌ අරගෙන යැමට එයත් රුකුලක්‌ වී තිබෙනවා. සිගරැට්‌ පැකැට්‌ටුවට රූපමය අවවාද ඇතුළත් කිරීම, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියමය පරිදි ලෝකයේ රටවල් සියයකට වැඩිය අනුගමනය කරනවා. සිගරැට්‌ පැකැට්‌ටුවේ රූපමය අවවාදය, පැකට්‌ටුවෙන් 80% ක්‌ කියලා, මම ගැසට්‌ නිවේදනයක්‌ අත්සන් කළා. එතකොට ඊට වඩා ප්‍රමාණයක්‌ සිදුකර තිබුණේ ලෝකයේ එක රටයි. ඒ පැරගුවේ රට. එහි 95% ක්‌ දක්‌වා එම රූපමය අවවාදය පළකර තිබෙනවා. මම 80% ක්‌ කියලා ගැසට්‌ එක නිකුත් කරන කොට තායිලන්තයේ තිබුණෙත් 80% යි. අපි 80% කරනකොට තායිලන්ත රජය 85% ක්‌ කියලා ගැසට්‌ එක නිකුත් කළා. තායිලන්තයෙත් අපේ වගේම මේ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක්‌ තිබෙනවා.

ඇමැතිතුමනි, අපේ නඩුවේ තත්ත්වය කොහොමද...? දිනෙන් දින මෙම ක්‍රියාවලිය පරක්‌කු නොවී සිදු කරගන්නට අධිකරණයෙන් විශේෂ ඉල්ලීමක්‌ කළේ නැද්ද.....

ඇමැතිවරයා දිග හුස්‌මක්‌ පිටකර අසල තිබූ වීදුරුවෙන් වතුර උගුරු කිහිපයක්‌ද පානය කර අපේ ප්‍රශ්නයට පිළිතුරු ලබාදීම ආරම්භ කළේය.

මේ නඩුවේදී අභියාචනාධිකරණයෙන් අපට වාසිදායක විදිහේ තීරණයක්‌ ආවා. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අපි බලාපොරොත්තු වුණාට වඩා වෙනස්‌ තත්ත්වයක්‌ ඇතිවුණා. මම ඉතාම කනගාටු වෙනවා, මේ නඩුව දීර්ඝ කාලයක්‌ ඇදෙන්න පටන් අරගෙන තිබෙනවා. නඩු දිනය කල් යන්නේ විශාල කාල පරාස වලින්. පසුගිය මාසේ විසි වැනිදාට නඩුව ගත්තා. අපිව පුදුමයට පත් කරමින්, ඊළඟ නඩු දිනය ලබන අවුරුද්දේ, මැයි මාසේ හත්වැනි දාට මේ නඩුව කල් ගියා. සාමාන්‍යයෙන් නඩු දිනයක්‌ නියම කරනකොට එම නඩුවේ වැදගත්කම සලකා බලන්නත් ඕනේ. මෙහි මතුවී තිබෙන තත්ත්වය සංකීර්ණ සහගතයි. කෙසේ වෙතත් අපි ප්‍රබල මත්ද්‍රව්‍ය විරෝධී ව්‍යාපාරයක්‌ දැනටමත් ආරම්භ කරලා හමාරයි. ලංකාවේ දිනකට පනස්‌ පහත් හැටත් අතර ප්‍රමාණයක්‌ දුම්පානයෙන් මියයනවා. අවුරුද්දකට විසි දහසක්‌, විසි එක්‌දහසක්‌ අතර ප්‍රමාණයක්‌ මියයනවා. මෙච්චර ප්‍රමාණයක්‌ දුම් පානයෙන් මියයනවා නම් සෞඛ්‍යය ඇමැතිවරයාට මෙතැනදී අත්දෙක බැඳන් ඉන්න පුළුවන්කමක්‌ නෑ. විශේෂයෙන්ම ජනාධිපතිතුමාගේ ආශිර්වාදය මත මේ මරණ සංඛ්‍යාව හැකි තරම් අවම කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව නඩුවට අමතරව මේ ගැන ජනතාව දැනුවත් කිරීමද අපි කරගෙන යනවා.

පමාවන යුක්‌තිය, ආසන්න වශයෙන් අයුක්‌තියට සමානයි කියලා කතාවක්‌ තිබෙනවා. මේ අධිකරණයේ පමාව අවසානයේදී තවත් දහස්‌ ගණනකගේ ජීවිතවල ඉරණම තීන්දු කරන්නට පුළුවන්. තුනෙන් දෙකේ බලයක්‌ ගත්ත පාර්ලිමේන්තුවක්‌ ආණ්‌ඩු පක්‍ෂයට තිබෙනවා. විපක්‍ෂය පැත්තෙන් වුවත් මෙවැනි කර්තව්‍යකදී නියත වශයෙන්ම සහය ලැබෙනවා. මේ නිසා අධිකරණයේ පමාව පසෙක තබා පනතක්‌ ලෙස පාර්ලිමේන්තුගත කර රූපමය අවවාද සිගරැට්‌ පැකැට්‌ටුවට ඇතුළත් කිරීමට පියවර ගතහොත්....

ඔබ ඔය ප්‍රශ්නය අහන්නේ... මේ ලෝකය පාලනය කරන්නේ දේශපාලනඥයෝ කියලා හිතාගෙනයි... නැහැ... ලෝකය පාලනය කරන්නේ දේශපාලනඥයන් නෙමෙයි. අද මුළු ලෝකයම පාලනය තියෙන්නේ, ව්‍යාපාරිකයන් අතේ. ව්‍යාපාරිකයන් තමයි, ලෝකය දියුණු රටවල තීන්දු තීරණ ගන්නෙත්, මේ බහුජාතික සමාගම් අන්තර්ජාතික වශයෙනුත් බොහෝ සම්බන්ධකම් තිබෙන පිරිසක්‌. ඒ ගැනත් අපි දැනගන්න ඕනේ. ඔබ කියන ආකාරයට පාර්ලිමේන්තුවට මේක යැමේ වුවමනාවක්‌ නැහැ... විශේෂයෙන්ම දුම් පාලනය සම්බන්ධයෙන් තිබෙන නීති රීති තුළ ඇමැතිවරයාට තිබෙන බලතල මේ ගැසට්‌ නිවේදනයට ඉතාමත්ම ප්‍රමාණවත්. අපි ඒ තත්ත්වය බලලා තමයි, ගැසට්‌ නිවේදනය නිකුත් කළේ. අපිට පාර්ලිමේන්තුවට යැමේ අවශ්‍යතාවක්‌ ඒ තුළ නැහැ. පාර්ලිමේන්තුවට යන්න අවශ්‍යනම් අපි එතැනටත් යනවා. මම හිතනවා, අපි එතනටත් යා යුතුයි කියලා. ඇමැතිවරයාට තිබෙන බලතල අනුව කෙටි මාර්ගයකින් මේක කරන්නයි අපි බැලුවේ. මේක ජීවිත සම්බන්ධව ප්‍රශ්නයක්‌. මෙතැනදී සියලු ක්‍රියාමාර්ග අරගෙන හෝ අපි මේ කර්තව්‍යය ඉටුකළ යුතුයි. මේ මොන බාධක ආවත් අවසානයේ ජනතාව ජයග්‍රහණය කරයි කියලා මම හිතනවා.

මෙවැනි ක්‍රියාමාර්ග සඳහා අවතීර්ණ වන ප්‍රධාන චරිතවලට මරණීය අවදානමට පවා මුහුණ දෙන්න වෙනවා. මෙතැනදී ඔබට මරණ තර්ජන එහෙම එල්ල වුණේ නැද්ද...?

දැන්නම් එහෙම දැනගන්න මොකුත් නැහැ. මම කලින් මාධ්‍යයට කියලා තිබුණා, යම් යම් ප්‍රශ්න පහුගිය කාලවල තිබුණා. මෑතකදී නම් එහෙම නැහැ. සතුරා වෙනස්‌ වෙනස්‌ මුහුණුවරින් එනවනේ. මට හිතෙන්නේ, සතුරා දැන් එන්නේ මට තර්ජනය නොකර වෙන විදිහකට කියලයි. සතුරා එන දිශාව ගැන සතුරාගේ උපක්‍රමශීලීභාවයන් අපි හඳුනාගන්න ඕනේ. ඒ අනුව අපිට ඉරණම්වලට මුහුණ දෙන්න සිද්ධ වේවි.

94 චන්ද්‍රිකා ආණ්‌ඩුව එනවිට, කම්කරු ඇමැති මහින්ද රාජපක්‍ෂ මහතාත් මෙවැනි පෙරළිකාර දේ කළා. අවසානයේදී කම්කරු ප්‍රඥප්තිය පාර්ලිමේන්තුවට ගෙන ඒමට පෙර, මහින්ද රාජපක්‍ෂ මහතාට ධීවර ඇමැතිතුමා ලෙස පත් කළා.

අවසානයේ කම්කරු ප්‍රඥප්තිය කොළයකට හා කතාවකට පමණක්‌ සීමා වුණා. මෙම කර්තව්‍යයටත් ඒ ඉරණමම අත්වෙයිද?

මේවාට පිළිතුරු දෙන්නේ කාලයා විසින්. බොහෝ දේවල් දෙවියන්ගේ කැමැත්තටත් ඉෂ්ඨ වෙනවා. ජනතා කැමැත්ත, දෙවියන්ගේ කැමැත්ත, මේ සියල්ල සමගයි රටක ප්‍රශ්න විසඳෙන්නේ... ඒක අනාගතයේදී තීරණය වෙයි.

ඇමැතිවරයා ගත් පියවර අවසාන වශයෙන් ඔහු පවරමින් සිටින්නේ දෙවියන්ට හා ජනතාවටය. මාෆියාවේ තරම එතරම්ම ප්‍රබලය. මේ මාෆියාවේ බලය බිඳ දමන්නට ජනතාවද තමන්ගේ කොටස ඉටු කළ යුත්තේ, එය හෙට දවසේ රටේ ඉරණමේම කොටසක්‌ වෙන නිසාය. අපගේ සාකච්ඡාව අවසන් වූයේ අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් බලමු.... බලමු... යෑයි කියන ලද අධිෂ්ඨානශීලී හා බලාපොරොත්තුවේ වචන තුළිනි.

මනෝඡ් අබයදීර, එරික්‌ ගාමිණී ජිනප්‍රිය 
http://www.divaina.com/2013/10/13/feature01.html

සබැඳි ලිපි -
[

80%ක් දුන්නොත් වෙළඳ ලකුණ පේන්නෙ නැහැලු. නියෝගය ඉවත්කරන්න. මුස්තාපාගෙන් ගල් පැලෙන තර්ක. සිගරට් සමාගම් වෙනුවෙන් ෆායිස් මුස්තාපා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලයි. 80% නියෝගය ශේ්‍රෂ්ඨාධිකරණය අත්හිටුවයි!http://denethharinna.blogspot.com/2013/09/80-80-80.html
සිගරැට්‌ පැකට්‌වල රූපමය අවවාද ප්‍රදර්ශනය කිරීම ඉක්‌මන් කරන්න - ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_5670.html
හැම අතකම සිගරැට්‌ - ඇත්ත සඟවන දුම්වැටි මාෆියාව - දිවයින කතුවැකියhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_9229.html
දුම්වැටි විරෝධී සටන ජාතික අරගලයක් කරන සටනේ නායකයා මමයි - රටරටින් බිහිවූ දෙවන විශිෂ්ට මෛත්‍රීපාලයන්http://denethharinna.blogspot.com/2013/09/blog-post_6542.html
]

0 comments: