Pages

Friday, December 13, 2013

අභියෝග හමුවේ ඉලක්‌ක ජයගත හැකිද?

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කළ "මෑතකාලීන ආර්ථික ප්‍රවණතා" නම් වූ නවතම වාර්තාව පසුගියදා නිකුත් විය. එහි මේ වසරේ (2013) ආර්ථික ක්‍රියාකාරීත්වය පිළිබඳ තොරතුරු මෙන්ම ලබන වසරේ (2014) ආර්ථික අපේක්‍ෂාවන් ගැන ද සඳහන්ය. එසේම මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වසරේ (2013) මුල් මාස අටේ ආර්ථිකයේ විදේශ අංශයේ ක්‍රියාකාරීත්වයට අදාළ තොරතුරුද ප්‍රකාශයට පත් කර ඇත. මේ තොරතුරු ඇසුරින් මේ වසරේ අපේ ආර්ථික ගමන් මග සහ ඉදිරි ආර්ථික අභියෝග පිළිබඳව අපි සාකච්ඡා කරමු.

ආර්ථික වර්ධනය

මේ වසරේ (2013) පළමු මාස හයේදී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 6.3 කින් වර්ධනය වී ඇත. ලෝකයේ බොහෝ නැගී එන වෙළෙඳපොළ ආර්ථිකයන්ට වඩා ශ්‍රී ලංකා ආර්ථිකය වර්ධනය වූවද, මේ වසර (2013) සඳහා පැවැති මුල් අපේක්‍ෂාවන්ට සාපේක්‍ෂව අපේ ආර්ථිකය වර්ධනය වී ඇත්තේ මන්දගාමීවය. විශේෂයෙන් අහිතකර කාලගුණික තත්ත්වයන්ගේ බලපෑම ලෝක ආර්ථික වර්ධනයේ පසුබෑම සහ 2012 වසරේ පෙබරවාරි මස සිට හඳුන්වා දෙන ලද දැඩි මුදල් ප්‍රතිපත්ති ක්‍රියා මාර්ගවල පසුකාලීන බලපෑම් යනාදී සාධක හේතුවෙන් මෙසේ ආර්ථික වර්ධනය මන්දගාමී වූ බව මහ බැංකුව කියයි. ඉන් පසු තුන් වන කාර්තුවේදී සියයට 7.8 ක ඉහළ ආර්ථික වර්ධනයක්‌ වාර්තා කිරීමට අප සමත්ව තිබේ. මේ ආර්ථික වර්ධනයට ආර්ථිකයේ සියලු ප්‍රධාන අංශයන් ධනාත්මකව දායක වී ඇති අතර විශේෂයෙන් කෘෂිකාර්මික අංශය දෙවෙනි කාර්තුවේදී පෙන්නුම් කළ පසුබෑමෙන් මිදී තෙවන කාර්තුවේදී සියයට 7 කින් වර්ධනය වී තිබේ. තුන්වන කාර්තුවේ මෙම සියයට 7.8 ක ඉහළ ආර්ථික වර්ධනයට කාර්මික අංශය සියයට 8.1 කින් සහ සේවා අංශය සියයට 7.9 කින්ද වර්ධනය වෙමින් දායක වී තිබේ. මේ අනුව මහ බැංකුව පවසන්නේ තෙවන කාර්තුවේ ඇති වූ හිතකර පුළුල් පදනමකින් යුත් ආර්ථික වර්ධන ක්‍රියාකාරීත්වය වසර තුළදී සියයට 7 ඉක්‌ම වූ ආර්ථික වර්ධනයක්‌ සඳහා වූ අපේක්‍ෂාවන් සවිමත් කරන බවයි. එහෙත් මේ වසර සඳහා මුලින් අපේක්‍ෂා කළේ සියයට 8 ක ආර්ථික වර්ධනයකි. ඒ නිසා අපේ මුල් ඇස්‌තමේන්තුවලට සාපේක්‍ෂව ආර්ථික වර්ධනය මන්දගාමී වී තිබේ. කවරක්‌ නමුත් තුන්වන කාර්තුවේ වාර්තා කළ ආර්ථික වර්ධනය, සිව්වන කාර්තුවේදී ද නොවෙනස්‌ව පැවතුනහොත් අපට මේ වර්ෂයේදී සමස්‌තයක්‌ ලෙස සියයට 7 ක පමණ ආර්ථික වර්ධනයකට ළගා විය හැකිය. එහෙත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇස්‌තමේන්තු අනුව මේ වසරේ (2013) ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සියයට 6.5 කට සීමා වනු ඇත. මෙහිදී වෙළෙඳ කටයුතු මන්දගාමී ලෙස වර්ධනය වීම, බදු ආදායම සහ රාජ්‍ය වියදම් (ප්‍රාග්ධන වියදම් ද ඇතුළුව) සාපේක්‍ෂව අඩු වීම සහ පෞද්ගලික අංශයේ ණය වර්ධනය අඩු වෙමින් පැවතීම යන කරුණු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවධානයට ලක්‌ව තිබේ.

අපනයන

මැදිකාලීන වශයෙන් සියයට 8 කට වැඩි ආර්ථික වර්ධනයක්‌ අඛණ්‌ඩව පවත්වා ගැනීමටද රජය අපේක්‍ෂා කරයි. එහිදී අපගේ අපනයන ආදායම් වර්ධනය කර ගැනීමද අත්‍යවශ්‍ය කාරණයකි. විශේෂයෙන් වැඩි වටිනාකමක්‌ ඇති භාණ්‌ඩ හා සේවා නිෂ්පාදනය තුළින් ශ්‍රී ලංකාවේ අපනයන නිෂ්පාදිතයන් විවිධාංගීකරණයට ලක්‌ කිරීම අත්‍යවශ්‍ය කරුණකි. ඒ නිසා අනාගතයේදී ඉහළ අපනයන ආදායමක්‌ ලබා ගැනීම සඳහා අපගේ සාම්ප්‍රදායික අපනයන භාණ්‌ඩ අපනයනය කිරීම වෙනුවට විවිධ සහ එකතු කළ අගය වැඩි නිෂ්පාදනයන් අපනයනයට යොමු වීමත්, නව අපනයන වෙළෙඳපොළ (රටවල්) කරා යොමු වීමත් අත්‍යවශ්‍ය කරුණක්‌ වනු ඇත. මෙහිදී නැගී එන චීන වෙළෙඳපොළ තුළද සැළකිය යුතු අපනයන අවස්‌ථා උදා කර ගැනීමට අප වෙහෙසිය යුතු වේ.

මේ වසරේ (2013) පළමු මාස දහයේදී (ජන සිට ඔක්‌තෝබර් දක්‌වා) අපගේ අපනයන ආදායම වර්ධනය වී ඇත්තේ සියයට 3.6 කින් පමණකි. එනම් ගිය වසරේ (2012) පළමු මාස දහයේ ඇමෙරිකානු ඩොලර් මිලියන 8075 ක්‌ වූ අපනයන ආදායම, මේ වසරේ (2013) පළමු මාස දහයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 8368.3 ක්‌ දක්‌වා වර්ධනය විය. මේ වසරේ අවසන් මාසවල දී අපනයන ආදායමේ වර්ධනය වේගවත් වෙමින් තිබුණත්, මුල් මාසවලදී අපනයන ආදායම පසුබෑමකට ලක්‌ වු බව අපි දනිමු. සමස්‌ත අපනයන ආදායමේ වර්ධනය අඩු මට්‌ටමක්‌ ගැනීමට එය හේතු වී තිබේ. මේ අතරම ඔක්‌තෝබර් මස අපනයන ආදායම ඉතිහාසයේ ප්‍රථම වරට ඇමෙරිකානු ඩොලර් බිලියනය ඉක්‌මවා යමින් පසුගිය වසරේ ඔක්‌තෝබර් මස අපනයන ආදායමට සාපේක්‍ෂව සියයට 35.1 කින් වර්ධනය වී තිබේ. මේ වසරේ (2013) ජුනි මස සිට අපනයන ආදායම වැඩිවීමේ ප්‍රවණතාවයේ උච්ච අවස්‌ථාවක්‌ ලෙස මෙම ඔක්‌තෝබර් මස අපනයන ආදායමේ වර්ධනය හඳුන්වා දිය හැකිය. මේ අනුව ගිය වසරේ (2012) ඔක්‌තෝබර් මස වාර්තා වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 770.4 ක අපනයන ආදායම මේ වසරේ (2013) ඔක්‌තෝබර් මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 1041.1 දක්‌වා ඉහළ ගොස්‌ තිබේ. මෙය 2011 මැයි මාසයෙන් පසු වාර්තා වූ ඉහළම අපනයන වර්ධන ප්‍රතිශතයයි. ඔක්‌තෝබර් මස අපනයන ආදායමෙන් සියයට 74 කට වැඩි දායකත්වයක්‌ දක්‌වා ඇත්තේ කාර්මික අපනයන ආදායමයි. ඔක්‌තෝබර් මාසයේදී කාර්මික අපනයන ආදායම සියයට 34 කින් වර්ධනය වී ඇති අතර ඒ සඳහා රෙදිපිළි ඇගලුම් අපනයන අපනයන ආදායමේ සියයට 46.8 ක වර්ධනය ප්‍රධාන වශයෙන්ම දායක විය.

ආනයන

මේ වර්ෂයේ (2013) පළමු මාස දහයේදී ආනයන වියදම සියයට 1.1 කින් අඩු වී තිබේ. ගිය වසරේ පළමු මාස දහයේ ආනයන වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 15752.2 ක්‌ විය. එය මේ වසරේ (2013) පළමු මාස දහයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 15583.9 ක්‌ දක්‌වා අඩු වී තිබේ. මේ නිසා අදාළ කාලය තුළ වෙළෙඳ හිඟය (අපනයන ආදායම සහ ආනයන වියදම අතර පරතරය) ද ඇමෙරිකානු ඩොලර් මිලියන 7677.3 සිට 7215.7 දක්‌වා සියයට 6 කින් අඩු විය. ආනයන වියදම් අඩු වීමත්, වෙළෙඳ හිඟය අඩුවීමත් හොඳ දෙයකි. එහෙත් තවමත් අපේ ආනයන වියදම, අපනයන ආදායම මෙන් දෙගුණයකට ආසන්නය. එනම් අපනයන ආදායමෙන් ආනයන වියදම් ආවරණය කර ගත හැක්‌කේ සියයට 53.6 ක පමණ ප්‍රමාණයකි. ඛණිජ තෙල් ඇතුළු අත්‍යවශ්‍ය ආනයන වියදම් අඩු කරගත නොහැකි වූවත් අනවශ්‍ය සහ අත්‍යවශ්‍ය නොවන ආනයන වියදම් තවදුරටත් අඩුකර ගත හැකිය. ඒ සඳහා අප තවදුරටත් ක්‍රියා කළ යුතුය. පසු ගියදා ඉදිරිපත් වූ අයවැයෙන් ද රජය ආනයන භාණ්‌ඩ සඳහා සෙස්‌ බදු හා විශේෂ වෙළෙඳ භාණ්‌ඩ බදු පැනවීම, තවදුරටත් ආනයන අධෛර්යමත් වීමට හේතුවක්‌ වනු ඇත. එහෙත් මෙසේ බදු පැනවූ ඇතැම් ආනයනික නිෂ්පාදන සම්බන්ධයෙන් තවමත් ප්‍රමාණවත් දේශීය නිෂ්පාදනයක්‌ නොමැති තත්ත්වය හමුවේ ඒවායේ මිල ගණන් ඉහළ යාමසිදු වේ. මෙහිදී අප තේරුම් ගත යුතු කරුණක්‌ වන්නේ ආනයන පාලනය කරගත හැක්‌කේ කිසියම් උපරිම සීමාවක්‌ දක්‌වා පමණක්‌ බවයි. " සිය රටදේ සිරි සැපදේ" වුවත් රටකට අවශ්‍ය සෑම දෙයක්‌ම ඒ රටටම නිෂ්පාදනය කළ නොහැකිය. ඒ නිසා යම් කිසි භාණ්‌ඩ ප්‍රමාණයක්‌ අනිවාර්යයෙන්ම විදේශයන්ගෙන් ආනයනය කිරීමට සිදුවීම වැළැක්‌විය නොහැකිය. අපේ භාණ්‌ඩ වෙනත් රටවලට අලෙවි (අපනයනය) කරනවා නම් අපටත් වෙනත් රටවල භාණ්‌ඩ මිලදී ගැනීමට සිදු වේ. මේ නිසා හැකිතාක්‌ අපනයන ආදායම් වැඩි කර ගැනීම තුළින් අපගේ වෙළෙඳ හිඟය සීමා කරගත යුතු වේ.

සංචාරක ව්‍යාපාරය

ඉදිරි ආර්ථික සංවර්ධන ගමන් මගේදී සංචාරක ව්‍යාපාරය මත රජය ඉහළ බලාපොරොත්තු රඳවා ගෙන සිටී. ගිය වසරේ (2012) දශලක්‍ෂයක්‌ වූ අපේ සංචාරක පැමිණීමේ ඉලක්‌කය අභිබවා යමින් 1005605 ක සංචාරකයින් ප්‍රමාණයක්‌ ශ්‍රී ලංකාවට පැමිණියේය. මේ වර්ෂයේ (2013) ඉලක්‌කය වූයේ 12,50,000 ක සංචාරකයින් පිරිසක්‌ මෙරටට ගෙන්වා ගැනීමටයි. නොවැම්බර් මස අගදී අපගේ සංචාරක පැමිණීමේ ප්‍රමාණය දශලක්‍ෂය ඉක්‌මවා ගියද, මේ වර්ෂය අවසානයට පෙර 12,50,000 ක ඉලක්‌කය සපුරා ගැනීමට අපහසුය. එකොළොස්‌ ලක්‍ෂය ඉක්‌මවා ගිය මුළු සංචාරකයින් පිරිසක්‌ මේ වසරේ (2013) දී පැමිණීමට ඉඩ තිබුණත් මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් දශලක්‍ෂ 2.5 ක සංචාරක ඉලක්‌කය සපුරා ගැනීම ඉතා අභියෝගාත්මකය. පැමිණෙන සංචාරකයන්ගේ ඔළු ගෙඩි ගණනින් පමණක්‌ සංචාරක ඉලක්‌ක සපුරා ගැනීම ඵලදායි නොවිය හැකි නමුත් මෙය බලධාරීන් විසින්ම ප්‍රකාශයට පත් කර ඇති ඉලක්‌කයකි.

මේ ඉලක්‌කයට ගමන් කිරීමට අපහසු අභියෝගාත්මක තත්ත්වය ට මේ මොහොතේ අප පැමිණ සිටින නමුත්, මේ ලියුම්කරුගේ අදහස වන්නේ වර්ෂ 2016 දී මේ ඉලක්‌කය සපුරා ගැනීමේ විභවතාව අප සතුව තිබෙන බවයි. එහෙත් යුද ජයග්‍රහණයෙන් පසු අපේ සංචාරක ව්‍යාපාරය දියුණු කර ගැනීමට ලැබුණු මහඟු ඉඩ ප්‍රස්‌ථාවෙන් අප තවමත් උපරිම ප්‍රයෝජන ගැනීමට සමත් වී නැත. ඒ නිසා සංචාරක ව්‍යාපාරය තුළ ඇති එම විභවතාවයෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට සමත් වැඩපිළිවෙළක්‌ වහාම රටට අවශ්‍ය කර තිබේ. උපරිම කාර්යක්‍ෂමතාවයෙන් ක්‍රියාත්මක වුවද ශ්‍රී ලංකා සංචරණයට පමණක්‌ මේ අභියෝගය තනිව ජයගත නොහැකිය. එය සංචාරක විෂය අයත් ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට වුවද තනිව සපුරා ගත නොහැකි එකකි. ඒ නිසා වහාම සංචාරක ක්‍ෂේත්‍රයට සෘජුව හා වක්‍රව සම්බන්ධ සියලු අමාත්‍යාංශ, ආයතන සහ අංශවල සහාය හා දායකත්වය ඇතිව සංචාරක සංවර්ධනය පිළිබඳව යම් ඒකාබද්ධ වැඩපිළිවෙළක්‌ දියත් කිරීමට අවශ්‍ය මොහොතකට අපි එළැඹ සිටින බවට, අප දැන් ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතාට යෝජනා කර සිටිමු. එම ඒකාබද්ධ වැඩපිළිවෙළ දියත් කරන යාන්ත්‍රණය කුමක්‌දැයි රජයට හෝ ඇමැතිවරයාට තීරණය කළ හැකිය. මෙහිදී අපට කළ හැකි වන්නේ පෙනෙන්නට තිබෙන අනාගත අවධානම් තත්ත්වයකින් මිදීම සඳහා යම් යෝජනාවක්‌ ඉදිරිපත් කිරීමට පමණි. ඒ අනුව ක්‍රියාත්මක වීම හෝ නොවීම රජයේ වැඩකි. 

සංචාරක ඉලක්‌ක ජය ගැනීමේදී අපේ රටේ ප්‍රධාන සංචාරක ස්‌ථාන ආශ්‍රිත සංචාරක යටිතල පහසුකම් නැංවිය යුතු වුවත් එය ශ්‍රී ලංකා සංචරණයට තනිව කළ නොහැකිය. ඒ සඳහා වෙනත් අමාත්‍යාංශ හා ආයතනවල සහාය හා දායකත්වයද අත්‍යවශ්‍ය වෙයි. සීගිරියට යන අබලන් මාර්ග පද්ධතිය නවීකරණය කළ යුතු වුවත් එය, එම ස්‌ථානයේ පවතින පුරාවිද්‍යා උරුමයද සුරැකෙන පරිදි සිදුවිය යුත්තකි. ඒ නිසා එතන මාර්ග ප්‍රතිසංස්‌කරණය ශ්‍රී ලංකා සංචරණයට තනිව කළ නොහැකිය. එහෙත් සංචාරක සංවර්ධනයට ශ්‍රී ලංකා සංචරණය ක්‍රියාත්මක වෙද්දී, මධ්‍යම සංස්‌කෘතික අරමුදල හෝ වෙනත් රජයේ ආයතන කකුලෙන් අදින්නේ නම් එය සංචාරක ඉලක්‌ක ජය ගැනීමට බාධාවකි. එමතු නොව රට ගමන් කළ යුතු තැනට ගෙන යැමටද එය බාධාවකි. සංචාරක සංවර්ධනයට සාමූහික ප්‍රයත්නයක්‌ ඇවැසි තීරණාත්මක මොහොතකට පැමිණ සිටින බව අප කියන්නේ මේ නිසාය. එම සාමුහික වැඩපිළිවෙළ දියත් කිරීමට අවැසි නිසි යාන්ත්‍රණයක්‌ වහාම ඇතිකර නොගතහොත් ඉදිරි සංචාරක ඉලක්‌ක ජය ගැනීම ඉතාම අභියෝගාත්මක තත්ත්වයට පත්වනු ඇති බව නම් අපට කීමට සිදුවේ. මෙය පංගු බේරු නොබලා රට වෙනුවෙන් ඉටුකළ යුතු මෙහෙයක්‌ වුවත් එය ඉටු කිරීමට යැමේදී ප්‍රායෝගික ගැටලු රැසකට මුහුණ දීමට සිදුවන බැවින් ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතාට අප කියා සිටින්නේ අප කියන මේ කාරණය ගැන ඔබේ කඩිනම් අවධානය යොමු කළ යුතුව ඇති බවයි. ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් සහ වෙනත් අදාළ අමාත්‍යාංශවල ඇමැතිවරුන් සහ ආයතනද නියෝජනය කෙරෙන යම් යාන්ත්‍රණයක්‌ මේ සඳහා අවශ්‍යය. විවේචනාත්මක සහාය ලබාදෙමින් මාධ්‍යවේදීන් ලෙස ඒ සඳහා දායකවීමට අපටද පුළුවන. සංචාරක ක්‍ෂේත්‍රය සම්බන්ධයෙන් අප දැනටමත් ඒ කාර්යය ඉටු කරමින් සිටින බවද බැසිල් රාජපක්‍ෂ ඇමතිවරයාට අපි සිහිපත් කරමු.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
http://www.divaina.com/2013/12/12/feature01.html

0 comments: