Pages

Monday, December 16, 2013

ටැප් එක ඇරි විට වතුර ගලනා සේ, ලංකාවට ගලනා කුඩු ගඟ

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආනයන භාණ්‌ඩය කුඩු බවට පත්වීම නුදුරේදීම සිදුවනවා ඇත. ටැප් එක ඇරියාම වතුර එන්නේ යම්සේද, එපරිද්දෙන්ම රට තුළට කුඩු එයි. යමක්‌ මැඬීමට බැරි විට එය නීතිගත කර එයින් බද්දක්‌ ලබාගැනීම සමහර රටවල සිරිත ය. ගණිකා වෘත්තිය, මෙයට හොඳ උදාහරණයකි. මෙයට ශතවර්ෂයකට පෙර එය තහනම් රැකියාවකි. එහෙත් එය මැඬීම දුෂ්කර බව තේරුම් ගත් සමහර රටවල් එය නීතිගත කර ගණිකාවන්ගේ ආදායමින් බදු ගැනීමට පුරුදුව සිටිති. සමලිංගික සම්බන්ධකම් තහනම් කරන්නට බැරි තැන එය නීතිගත කළ රටවල් ඇත. මේ කාරණා දෙකටම මානුෂික මුහුණුවරක්‌ තිබේ. එහෙත් කුඩුවලට ඇත්තේ අමානුෂික මුහුණුවරකි. එය කොතරම් අමානුෂිකද යත් කුඩු පාවිච්චියට ඇබ්බැහි වන එකා නියම කාලයට වඩා වසර කිහිපයකට පෙර මනසින් මියයයි. ඔහුගේ සියලු සංවේදනයන් වාෂ්ප කිරීමට කුඩුවලින් හටගන්නා රසායනික ප්‍රතික්‍රියාවලට පුළුවන් වෙයි. ඉන්පසු ඔහු ඇවිදින මළමිනියක්‌ බවට පත් වෙයි. ඔහුගේ ඇස්‌වලින් නිරන්තරව කඳුළු ගලා එන අතර අතපය වෙවුලයි. ශරීරයේ සියලු ඇට කැබලි ගණන් කිරීමට හැකි තරමට ඔහුගේ හම ඇඟට ඇලෙයි. ඔහුගේ ප්‍රතිශක්‌තිය අතුරුදන් වන අතර වාතයේ ගැටෙන ඕනෑම කුණු ලෙඩක්‌ ඔහුට වැළඳෙයි. ඔහුගේ අවසානය ඉතා දුක්‌තය. ස්‌වකීය ශරීර කූඩුවේ ඇට කැබලි අස්‌සට කටු කම්බි දමා කරකවනවාක්‌ මෙන් වේදනාවක්‌ අවසන් මොහොතේදී ඔහුට දැනෙයි. මෙවැනි උතුම් පොහොය දවසක, මෙවැනි කාලකන්නි තත්ත්වයක්‌ ගැන ලිවීමට සිදුවීම අපේද කරුමයකි. බ්‍රවුන් ෂුගර් නමැති මිල අධික කුඩු තොගයක්‌ සමග දෙදෙනෙක්‌ පසුගියදා අත්අඩංගුවට ගන්නා ලදී. පසුගියදා රේගුව හරහා එලියට යන්නට ගොස්‌ පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශයට ලැබුණු ඔත්තුවක්‌ මත අල්ලාගත් කුඩු කන්ටේනරය තුළ සිමෙන්ති කොට්‌ට පහක ප්‍රමාණයේ කුඩු තොගයක්‌ විය. ඉතාම ශෝකජනක තත්ත්වය වූයේ එම කන්ටේනරයට අදාළ ප්‍රමාද ගාස්‌තු අඩු කරන ලෙස ඉල්ලා අගමැතිතුමාගේ කාර්යාලයේ ලිපි ශීර්ෂයකින් රේගුවට ලිපියක්‌ යාම ය. අගමැතිතුමා යනු මේ රටේ බුද්ධශාසන ඇමැතිවරයා ය. ඉන්දියාව වැනි රටක මෙවැනි දෙයක්‌ වුණා නම්, එම සිද්ධියට ආණ්‌ඩුවේ ඇමැති කෙනකු සම්බන්ධ නම් ඔහුට සිදුවන්නේ වහ බොන්නට ය. ඉන්දියන් මාධ්‍ය තනිකර අවුරුද්දක්‌ පුරා මේ ගැන කතා කරනවා ඇත. මාධ්‍ය මගින් අතොරක්‌ නැතිව එකී දේශපාලනඥයා හම ගසනවා ඇත. එහෙත් ලංකාව වැනි රටකදී සිදුවන්නේ මේ සිද්ධි ගැන කතා කරන මාධ්‍යවලට වහ බොන්නට ය.

අගමැති කාර්යාලයේ ලිපි ශීර්ෂය භාවිතා කළ සම්බන්ධිකරණ ලේකම් පසුගියදා ඉල්ලා අස්‌විය. ඔහු කියන කතන්දරයට අනුව ඔහු නිවැරදිකාරයෙකි. එහෙත් තම සම්බන්ධීකරණ නිලධාරියකු එවැනි සිද්ධියකට ගෑවී ඇත්නම් එහි වගකීමෙන් කොටසක්‌ අගමැතිතුමාටත් යයි. එහෙත් එතුමා බලු කෑම වැඩි කිරීම ගැන විපක්‍ෂය අසන ගොන් ප්‍රශ්නවලට විකාර උත්තර සපයනු මිස කේන්ද්‍රීය ප්‍රශ්නය වූ 'කුඩු කේස්‌ එක' ගැන කිසිත් නොකියයි. මේ රටේ සුනඛයන් ඇති කරන අයගෙන් සියයට .0000001 ක්‌ වත් පිටරටින් ගෙන්වූ බලු කෑම පරිහරණය කරන්නේ නැත. එහෙත් ඉතාම බුද්ධිමත් විපක්‍ෂ නායක ලෙස වසර 17 කටත් වඩා විපක්‍ෂයේ සිටින රනිල් වික්‍රමසිංහ පවා මේ බලු කෑම ගැන කතා කරයි. පිරිසිදු පක්‍ෂයක්‌ ලෙස අප හැමගේ ගෞරවය දිනා සිටින ජනතා විමුක්‌ති පෙරමුණේ අනුර දිසානායක මන්ත්‍රීතුමා ද බලු කෑම ගැන කතා කරයි. එහෙත් කේන්ද්‍රීය ප්‍රශ්නය වූ කුඩු කන්ටේනරය සහ එයට අදාළ ලියුම ගැන කතා කරන්නේ සුජීව සේනසිංහ වැනි තරුණ මන්ත්‍රී කෙනකු පමණි. කුඩු යනු මේ රටේ ළමා පරපුරේ අවසානයයි. දැන් අප කළ යුත්තේ තෙල් නිපදවන රටවල් වෙනත් රටවලට තෙල් විකිණීම සඳහා ඉදිකර තිබෙන නල මාර්ග වැන්නක්‌ කුඩු නිපදවන රටවල් සහ අපේ රට අතර ඉදිකිරීමද? කුඩු ප්‍රශ්නය නිසා අගමැතිතුමා ඉල්ලා අස්‌විය යුතු බව අප කියන්නේ නැත. එහෙත් එසේ කියන විශාල බලවේගයක්‌ රට තුළ වර්ධනය වන බව මතක තබා ගත යුතුය.

http://www.divaina.com/2013/12/16/editor.html

සබැඳි ලිපි -
[

කුඩු සැකකරු පොලීසියට බාරදුන්නෙ නැත්තේ ඇයි? - ඕමල්පේ සෝභිත හිමිhttp://denethharinna.blogspot.com/2013/12/blog-post_5327.htmlහෙරොයින් කන්ටේනරය ගැන පුළුල් පරීක්‍ෂණයක්‌ ඕනෑ - ඕමල්පේ හිමි පොලිස්‌පතිගෙන් ඉල්ලයිhttp://denethharinna.blogspot.com/2013/12/blog-post_2517.htmlකුඩු කන්ටේනරයේ සුලමුල හෙළිවේ යැයි අගමැති ලේකම් බයවෙලා - ඕමල්පේ සෝභිත හිමිhttp://denethharinna.blogspot.com/2013/12/blog-post_598.htmlකුඩු කන්ටේනරයේ සුලමුල රටට හෙළි කරන්න - ඕමල්පේ සෝභිත හිමිගෙන් අගමැති ලේකම්ට ලිපියක්‌http://denethharinna.blogspot.com/2013/12/blog-post_13.htmlකුඩු කන්ටේනරයේ සිද්ධිය: අගමැති, නිලයෙන් ඉවත් විය යුතුයි - ඕමල්පේ සෝභිත හිමිhttp://denethharinna.blogspot.com/2013/12/blog-post_10.html
]

0 comments: