Pages

Tuesday, December 10, 2013

අපේ කාලේ අනේපිඬු සිටු වූ සිරිසේන මුදලාලි

යාන්තමින් දැලිරැවුල මෝදු වන වයසේ ගමෙන් පැනගොස්‌ අගනුවරදී මහා ධනකුවේරයන් වී ජයහෙහෙළි නැංවූවන්ගේ කතා අප කොතෙකුත් අසා ඇත.

මෙසේ මහා ධන කුවේරයන් වී රටම එළිය කළ චරිත ගැන වඩාත්ම කියෑවෙන්නේ දකුණු ලක පුද්ගලයන් ගැනය. එසේ ධන කුවේරයන් වී තමන් පමණක්‌ සුරසැප විඳ මිය පරලොව ගියවූවන්ට වඩා තමන් හරිහම්බ කළ දෙයින් තමන්ටද යහපත ළඟා කර ගනිමින් අනුන්ටද සේවයක්‌ කරමින් ජාතික ආගමික මෙහෙවරක යෙදුන දැ හිතකාමීන් ගැන ජනතාව නිතර සිහිපත් කරති. මේ එවැනි කතාවකි.

අකුරැස්‌ස මලිදූව කැටන්විල සිරිසේන යාන්තම් ගැටවර වියට පා තැබුවා පමණි. බෝපාගොඩ හා කැටන්විල පාසල්වලින් හතඅට පන්තිවලට ගිය සිරිසේනටද ගමෙන් පැන යැමේ සිතුවිල්ල හිතේ නලියන්නට විය.

ඒ කාලයේ හැටියට තුන්වේල හිතේ හැටියට කන්නට තරම් වත්පොහොසත් කම් ඇති සිරිසේනගේ පියා "යටිවගුරුගොඩ කොන්දොස්‌තර මහත්තයා"යි ගමේ අය හැඳින්වූ ගමේ සල්ලිකාරයෙකි.

සහෝදර සහෝදරියන් අට දෙනකුගෙන් යුතු පවුලේ දෙවැනියා වූ සිරිසේනට තුන්වේලම බඩට අහරක්‌ වැටුණත් ගෙදරින් පැන ගන්නා තෙක්‌ හිතට නිවනක්‌ නොවීය. වයස අවුරුදු දහහතට පා තැබූ සිරිසේන ගෙදරින් රුපියල් 25 ක්‌ අතපත ගාගෙන අලුයම බිමට එළිය වැටෙන්නට පෙර පාරට පැන ගත්තේය.

අදින් අටසැට වසරකට පෙර දිනක ඇඳ සිටි සරමට කමිසයට අමතරව තවත් සරමකුත් කමිසයකුත් ගුලිකරගෙන ගමෙන් පැනගිය සිරිසේන කොළඹට ආවත් යන්නට තැනක්‌, අඳුනන කෙනෙක්‌ නැතිව අතරමං විය.

ඇඟපත හොඳට හැදී වැඩී තිබුණ සිරිසේන මුලින්ම කඩයක බඩු කිරන්නට මුදලාලි කෙනකුට සම්බන්ධ විය. බඩු කිරනවාට අමතරව කඩයේ වෙනත් සුළු සුළු වැඩත් සිරිසේනට පැවරිණි. මාසය අවසානයේ මුදලාලිගෙන් පඩිය ලෙස රුපියල් විස්‌සක්‌ සිරිසේනගේ අතට ලැබිණි.

වසර පහක්‌ පමණ ස්‌වාමියාගේ හොඳහිත දිනාගෙන රැකියාව කළ සිරිසේනගේ සල්ලි මල්ල එදා කාලයේ හැටියට පිරෙන්නට වූයේ ඉතා අරපරෙස්‌සමෙන් විය පැහැදම් කළ නිසාය.

අනුන්ගේ යටතේ වුවත් වෙළෙඳාම ගැන හොඳට අත්දැකීම් ලැබූ සිරිසේනගේ ඊළඟ ඉලක්‌කය වූයේ තමනුත් වෙළෙඳ ව්‍යාපාරයක්‌ ඇරඹීමය.

මේ ගැන සෙවිල්ලෙන් සිටි සිරිසේනට කඩකාමරයක්‌ විකිණීමට ඇති ආරංචිය කන වැකුණි. දෙහිවල පාමංකඩ හන්දියෙන් කඩ කාමරය මිලට ගෙන "ජීවන ස්‌ටෝර්ස්‌" යයි නම තබා ගත් ඔහු සිරිසේන මුදලාලි විය. පාන්දර 6 ට කඩය අරින සිරිසේන මුදලාලි රාත්‍රි 10 වන තෙක්‌ පාමංකඩ දුටු ගැමුණු මාවතේ "ජීවන ස්‌ටෝර්ස්‌" ව්‍යාපාරය බලා සිටියදී දියුණු කළේය. ජීවන ස්‌ටෝර්ස්‌ ජනතාවට කොතරම් ළං වීද යත් සිරිසේන මුදලාලි දැන් ගජ පොහොසතෙකි.

ඔහුගේ ජීවිතය වෙළෙඳාම පමණක්‌ විය. විවාහයක්‌ කරගෙන එකලසක්‌ වීමටද වුවමනාවක්‌ නොවීය. උදේ පාන්දරම අවදිවීමත් රාත්‍රිය වනතෙක්‌ ගනුදෙනු කිරීමත් හැර ඔහුට වෙනත් ජීවිතයක්‌ නොවීය.

පැණිරස වුවත් තිත්ත රස වන දවසක්‌ එනවා වගේ සිරිසේන මුදලාලිටත් වසර හැට දෙකකට වඩා පවත්වාගෙන ගිය දින චරියාව ගැන කළකිරීමක්‌ ඇතිවිය. තනිකඩයකු වූ නිසා කාගෙන්වත් අසා නොබලා කැමැති තීරණයක්‌ ගැනීමේ නිදහස සිරිසේනට තිබිණ. ජීවිතයේ අනිත්‍ය බව අවබෝධ කරගත් සිරිසේන මුදලාලි තමා වසර 62 ක්‌ පුරා ඉතා දියුණුවට පවත්වා ගෙන ගිය ජීවන ස්‌ටෝර්ස්‌ ව්‍යාපාරය ගෙඩිය පිටින්ම විකුණා ලැබුණ ලක්‍ෂ ගණනක මුදල් පොදි බැඳගෙන තමා උපන් ගමට ආවේය.

දැන් සිරිසේන මුදලාලි තමා උපන් මලිදූව ගමට විත් නිදහසේ කල්ගත කළේ මිටින්හල කුරුල්ලකු මෙනි. ගමට විත් නිදහසේ ඇවිදින සිරිසේන මුදලාලිට තමා පොඩි කාලයේ ගිය පන්සලටද යැමට සිත්විය.

මහනුවර යුගයේ මෙයින් වසර හාරසීයකට පමණ පෙර පස්‌ගොඩ උපාසක රාළ විසින් ඉදිකරවූ බංගම ෙචේතියාරාම විහාරයයි ඒ. තමා පදිංචි නිවස අසල පන්සල මෙය නොවුවත් කුඩා කල දෙමාපියන් හා සහෝදර පිරිස සමඟ වඳින්නට පුදන්නට පැමිණි පන්සල මෙය විය.

සිරිසේන මුදලාලි ෙචේතියාරාම විහාරස්‌ථානයට ගොස්‌ වත්මන් විහාරාධිපති මලිදූව පඤ්ඤාලෝක හිමියන් හා කතාබහට වැටිණි. අවුරුදු සියයකට පමණ පෙර ඉදිකළ දැනට ගරාවැටෙමින් තිබුණු සංඝාවාසය දුටු සිරිසේනගේ හදවත ඉරිතලා ගියේය.

අසූපස්‌වැනි වියේ පසුවූ වන්නිආරච්චි කංකානම්ගේ සිරිසේන නොහොත් සිරිසේන මුදලාලිට පින් සිතුවිලි පහළ වීමට වැඩිවේලා ගත නොවීය.

සිරිසේන මුදලාලි විහාරාධිපති හිමියන්ට අදහසක්‌ මතුකළේය. "හාමුදුරුවනේ මා ළඟ සල්ලි ටිකක්‌ තියෙනවා. දෙන්නය කියලා කවුරුවත් ඉන්න එකක්‌යෑ. මගේ සල්ලි ටික දමලා මම මේ සංඝාවාසය හදවලා දෙන්නම්. මගේ අම්මල තාත්තලට පිං සිද්ධ වෙන්නත් එක්‌කල", යි පැවැසීය. පඤ්ඤාලෝක හාමුදුරුවන්ටත් සිරිසේන මුදලාලි හිටි අඩියේ කළ ඉල්ලීම ඇස්‌ අදහාගත නොහැකි තරම් විය. මුදලාලිගේ සල්ලි මල්ල දිග හැරුණේය. රුපියල් කෝටියකට ආසන්න මුදලින් දෙමහල් සංඝාවාසය වහ වහා උස්‌ මහත් වන්නට විය.

2014 ජනවාරි මස වන විට දෙමහල් සංඝාවාසය සඟසතුකොට පූජා කිරීමට දැන් ලහි ලහියේ ඉදිවෙයි. සිරිසේන මුදලාලිගේ වෑයමට අතදීමට තවත් මිතුරන් කිහිපදෙනකු හවුල් විය.

"ග්‍රීන් සිටිලයින්" වෙළෙඳ ව්‍යාපාරික එච්. කේ. පියසිරි, ඇඟලුම් කම්හල් ව්‍යාපාරික ආරියරත්න ගමගේ, කෝදාගොඩ තේ කම්හල හිමි උපාලි කෝදාගොඩ යන මහත්වරු සිරිසේන මුදලාලිට එකතු වී නිවනට යැමට මඟ කෙටිකර ගන්නා මිතුරු කැළය. තමා හරි හම්බකළ සේසතම දන්දී ඡේතවනාරාමය ඉදිකරවූ අනේපිඬු සිටුතුමා මෙන් නූතන අනේපිඬු සිටු වරයෙකුගේ කතාවයි මේ.

කේ. එච්. පියසේන - මාතර
http://www.divaina.com/2013/12/08/feature13.html

0 comments: