Pages

Friday, December 27, 2013

දුර දක්‌නා ඥනයක්‌ තිබූ බද්දේගම විමලවංශ අනුහිමියන් බුදුදහම ජාත්‍යන්තරයේ ප්‍රචලිත කළා - නාගොඩ අමරවංශ නාහිමි

අපවත්වී වදාළ බද්දේගම ශ්‍රී විමලවංශ අනුනාහිමියන් එදා බුදුදහම ජාත්‍යන්තරය තුල ප්‍රචලිත කළේ උන්වහන්සේට දුරදක්‌නා ඥනයක්‌ තිබූ නිසා බව බස්‌නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක ධුරයෙන් පිදුම් ලැබූ ශ්‍රී ලංකා මහ පිරිවෙන් විහාරාධිපති ආචාර්ය නාගොඩ අමරවංශ නාහිමියෝ පැවසූහ.

අපවත් වී වදාළ බද්දේගම විමලවංශ අනුනාහිමි ජන්ම ශත සංවත්සරය නිමිත්තෙන් කොළඹ මරදාන ශ්‍රී ලංකා විද්‍යාලයේ මහා පිරිවෙන් විහාරස්‌ථානයේ අභි නවයෙන් ඉදිකළ බද්දේගම විමලවංශ අනුනාහිමි ගුණානුස්‌මරණ ධර්ම මන්දිරය විවෘත කිරීම නිමිත්තෙන් පැවැති උත්සවයේදී උන්වහන්සේ මේ බව කීය.

ධර්ම මන්දරය විවෘත කිරීමත් ඊට සමගාමීව බස්‌නාහිර පළාත් ප්‍රධාන සංඝ නායක ධුරයෙන් පිදුම්ලත් විහාරාධිපති ආචාර්ය නාගොඩ අමරවංශ නාහිමියන් වෙත අක්‌ත පත්‍ර පිළිගැන්වීමත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එහිදී සිදුකෙරුණි. එම අක්‌ත පත්‍රය උන්වහන්සේට පිළිගැන්වූයේ ශ්‍රී විමලවංශ වංශාවතන්ස ශාසන කීර්ති ශ්‍රී ගෞරව නාමයද සමඟය.

<--- ජනාධිපති වරයා විසින් නාගොඩ අමරවංශ නාහිමිපාණන් වෙත සමරු තිළිණයක්‌ පිරිනැමූ අයුරු.

රාමඤඤ මහා නිකායේ මහා ලේඛකාධිකාරී රාජකීය පණ්‌ඩිත මාතලේ ධම්මකුසල නාහිමියන් එම අක්‌තපත්‍රය කියෑවීමෙන් අනතුරුව අග්ගමහා පණ්‌ඩිත නාපාන පෙමසිරි රාමඤඤ මහා නිකායේ මහා නාහිමියන් දුන් එම අක්‌ත පත්‍රය ජනාධිපතිවරයා අතින් අමරංවශ නාහිමියන් වෙත පිළිගන්වන ලදී.

මෙහිදී ශ්‍රී ලංකා රාමඤඤ මහා නිකායේ මහා ලේඛකාධිකාරී රාජකීය පණ්‌ඩිත මාතලේ ධම්මකුසල නාහිමියන්ට "ශ්‍රී සුමිත්ත ශාසනතිලක වංශාවතන්ස සද්ධර්ම කීර්ති ශ්‍රී" ගෞරව නාමය සහිත අක්‌තපත්‍රයද එම නිකායේ නියෝජ්‍ය මහා ලේඛකාධිකාරී ආචාර්ය වලේබොඩ ගුණසිරි නාහිමියන්ට "ශ්‍රී විමලවංශ වංශාලංකාර ප්‍රවචන කීර්ති ශ්‍රී" ගෞරව නාමය සහිත අක්‌ත පත්‍රයද පිළිගැන්විණි.

උත්සවයේදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ අමරවංශ නාහිමියෝ බද්දේගම විමලවංශ ගුරුදේවයන් වහන්සේ සිංහල ජාතිය ගැන කැක්‌කුමකින් සටන් කළ යුග පුරුෂයෙක්‌ බවත් එහෙත් කිසි විටක දෙමළ ජාතියට විරුද්ධ නොවූ බවත් සිංහල ජනතාවගේ අයිතීන් ලබාගැනීමට දෙමළ ජනයා තලා පෙලා දැමීමට ක්‍රියානොකළ බවත් පැවැසූහ.

මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා එදා උසස්‌ අධ්‍යාපනය ලැබීම සඳහා මේ මහා පිරිවෙනට ඔහුගේ පියා විසින් භාර කරනු ලැබූ බවත් එවැනි දහස්‌ ගණනක්‌ වියතුන් බිහිකළ පුණ්‍ය භූමියක්‌ මේ අද මෙලෙස ගොඩනැගෙන්නේ විදේශ ආධාර වලින් නොව දායකයන්ගේ ශ්‍රමය හා මුදල් ශක්‌තියෙන් බවත් කීය.

අද තමන් වහන්සේට ලැබුණු තනතුර සමඟ විශාල වගකීම් සම්භාරයක්‌ පැවරී ඇතැයිද ඒ නිසා ඉදිරියේදී තම කැපවීම තවත් වැඩිවන බවද ශාසනයේ උන්නතිය සඳහා අප සියලු දෙනා කටයුතු කළ යුතු බවද පැවැසූහ.

බද්දේගම ශ්‍රී විමලවංශ අනුනාහිමි ජන්ම ශත සංවත්සරය නිමිත්තෙන් තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ මුල්දින කවරය හා තැපැල් මුද්දරය තැපැල්පති එච්. එස්‌. අබේරත්න මහතා විසින් ජනාධිපති වෙත හා හිමිවරුන් වෙත පිළිගැන්වූහ. ඇහැලිය ගොඩ ධම්මපාල හිමියන් රචිත "ගතින් මිදුන සිතක්‌" නමැති කෘතිය මෙහිදී එළිදැක්‌විණි.

http://www.divaina.com/2013/12/27/news24.html

0 comments: