Pages

Thursday, December 12, 2013

යතිවිරු, බොදු සිහ හඬ, සෝම හිමි සඳුනි, යළි වඩිනු මැනවි! බැටකෑ බොදුනුවන් වෙනුවෙන් නැගි ජනතා සංඝ රාජ කාහල නාදය නිවීගොස් දස වසරයි!

සිංහල බෞද්ධයන් අතර සදා වන්දනීයත්වයට පත්වූ ගංගොඩවිල සෝම හිමියන් දැයෙන් සමුගෙන අදට (12 දා) වසර දහයක්‌ සම්පූර්ණ වේ.

සෝම හිමියන් අපවත් වූයේ 2003 දෙසැම්බර් 12 වැනිදා රුසියාවේ ශාන්ත පීටර්ස්‌බර්හී නගරයේදීය. උන්වහන්සේ අපවත්වන විට 55 හැවිරිදි වියේ පසුවිය.

මහරගම සිරි වජිරඥන ධර්මායතනයේ වැඩ සිටි සෝම හිමියන් පැවිදි දිවියට පිවිසියේ 1974 වර්ෂයේයි. උන්වහන්සේ අතිපූජ්‍ය අග්ගමහා පණ්‌ඩිත මඩිහේ පඤ්ඤාසීහ මහනාහිමියන්ගේ ශිෂ්‍යයෙකි.

පොදු ජනතාවගේ හාමුදුරුවෝ ලෙසින් විරුදාවලිය ලැබූ සෝම හිමියෝ රට පුරා වැඩම කරමින් ධර්ම දේශනා පවත්වමින් රට ජාතියට ශාසනයට ඇති අභියෝග මෙන්ම අන්‍යාගමික ආක්‍රමණය ගැන බොදු ජනතාව දැනුවත් කළහ.

සාමාන්‍යයෙන් බණක්‌ පවත්වන්නේ පැයක කාලයක්‌ වුවත් සෝම හිමියන් පැය 3 ක ධර්ම දේශනාවක්‌ සිදුකළහ. උන්වහන්සේගේ ධර්ම දේශනාවලට සවන් දෙන්නට මහජනතාව දහස්‌ ගණනින් රැස්‌වීම නිසා රට පුරාම බොදු පුබුදුවක්‌ ඇතිවිය.

උන්වහන්සේ ආරම්භ කළ ජනවිජය ව්‍යාපාරය වටාද දහස්‌ ගණනින් ජනතාව එක්‌රොක්‌ වූහ.

එහෙත් හදිසියේම සෝම හිමියන් අපවත්වීම මෙරට බොදු ප්‍රජාව තුළ බලවත් සැකයක්‌ උපදවන්නක්‌ විය. එනිසාම හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය මේ ගැන සොයා බැලීමට ජනපති කොමිෂන් සභාවක්‌ද පත් කළාය.

සෝම හිමියන්ගේ දේහය රුසියාවේ සිට මෙරටට ගෙන එනු ලැබුවේ 2003 දෙසැම්බර් 18 වැනිදා වන අතර ආදාහන උත්සවය පැවැත්වුණේ දෙසැම්බර් 24 වැනිදාය. එය ඉතිහාසයේ විශාලතම ජනකායක්‌ සහභාගි වූ ආදාහන උත්සවයයි. 

සෝම හිමි අභාවය නිසා දැයේ දහම් පහන නිවී ගියේය. කෙසේ නමුත් ඒ හරහා ඇතිවූ සමාජ දේශපාලන වෙනස්‌කම් නම් රාශියකි. බෞද්ධයාට දේශපාලන තීරක බලය ලැබීමට සෝමහිමි අභාවයෙන් පසුව ඇතිවූ දේශපාලන පෙරළිය බෙහෙවින් ඉවහල් විය.

සෝම හිමි දසවන සැමරුම වෙනුවෙන් අද රට පුරා පිංකම් හා අනුස්‌මරණ වැඩසටහන් රැසක්‌ පැවැත්වේ.

චතුර පමුණුව
http://www.divaina.com/2013/12/12/news14.html

Pic Source

රටත් - දැයත් පුබුදුවා ලූ වාදීභසිංහයාණෝ

අතිපූජ්‍ය ගංගොඩවිල සෝම හිමිපාණන්ගේ 10 වැනි අනුස්‌මරණය 2013.12.12 දිනට (අදට) යෙදී ඇත.

ගංගොඩවිල සෝම හිමි වන් යතිවරයාණන් වහන්සේලා ඉතා අල්පය. ශීලයෙන්, ගුණයෙන් හා ඥාණයෙන් පරිපූර්ණ වූ සහ ජාතික හා සාමාජික සේවා අංශයෙන් ප්‍රමුඛස්‌ථානයෙහි වැඩ සිට රටට හා ශාසනයට මිල කළ නොහැකි සේවාවක්‌ කළ උන්වහන්සේ මීට වසර දහයකට පෙර අපට අහිමි විය. එය මුළු ජාතියේම අභාග්‍යයකි.

උන්වහන්සේ සසරින් පතාගෙන ආවේ පැවිද්දටමයි. අති පූජ්‍ය අම්පිටියේ රාහුල ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ සමග ඇතිවූ ඇසුර හා කතාබහ විකසිත වන්නට තිබූ පුෂ්පයකට හිරු එළිය වැටුණා හා සමාන විය. තරුණ සෝමරත්නයන්ගේ සිත කෙමෙන් කෙමෙන් පැවිදි වීම කෙරෙහි යොමු විය. මේ පුෂ්පය විකසිත වීමට අවශ්‍ය පෝෂණය සහ ජලය නිරන්තරව රාහුල ලොකු හාමුදුරුවන් විසින් සපයන ලදී.

තම ජ්‍යෙෂ්ඨ පුත්‍රයාගේ පැවිදි වීම සඳහා ඇති නැඹුරු වීම අවබෝධ කරගත් සෝමරත්න තරුණ මහතාගේ දෙමවුපියෝ එයට විරුද්ධ වූහ. පැවිද්දට තමන් තුළ ඇති බලවත් කැමැත්ත තම දෙමවුපියන්ට ඒත්තු ගැන්වීමට සහ ඔවුන්ගේ කැමැත්ත ඒ සඳහා ලබා ගැනීමටත් ඔහු වර්ෂ ගණනාවක්‌ මහත් ඉවසීමෙන් බලා සිටියහ. තම ගමේ පන්සල වූ ගංගොඩවිල සුභද්‍රරාමයෙන් ඔහු ලැබූ ආගමික පරිසරය සහ වජිරාරාම දහම් පාසලේ ගුරුවරයකු ලෙස ලැබූ අත්දැකීමත් ඔහුට පැවිද්ද ලබා ගැනීම සඳහා මහත් සේ බලපෑමක්‌ ඇති කළේය.

ඒ අනුව 1974 සැප්තැම්බර් මස 24 වැනි දින පරම පූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානායක මාහිමිපාණන් වහන්සේගේත් අම්පිටියේ ශ්‍රී රාහුල මාහිමියන් වහන්සේගේ ආචාර්ය උපාධ්‍යායත්වයෙන් උක්‌ත උපශාන්ත තරුණයා "ගංගොඩවිල සෝම" නමින් ප්‍රවෘජ්‍යා භූමියට ඇතුළත් වූයේ එපරිද්දෙනි.

පැවිදි බිමට ඇතුළත් වූ දා සිට උන්වහන්සේ ත්‍රිපිටකය හදාරන්නට පටන් ගත්හ. උන්වහන්සේ මහඔය වෙහෙරගල ආරණ්‍යයේ සහ මාතලේ ෙචේතියගිරි ආරණ්‍යයේ වැඩ විසූ කාලවල මෙම කාර්යයට මුල්තැන දුන්හ. මේ හැදෑරීමේ ප්‍රතිඵලයක්‌ වශයෙන් පසු කලක බොහෝ දෙනාගේ මවිතයට හේතු වන අයුරින් ධර්මදේශනා හා ධර්ම සාකච්ඡාවන්හිදී විෂය කරුණුවලට අදාළ වන සේ බුද්ධ වචනය නිවැරැදිව උපුටා දක්‌වන්නට උන්වහන්සේ සමත් වූහ.

උන්වහන්සේ තුළ තිබූ අනලස්‌ ස්‌වභාවය හා ධෛර්ය සම්පන්න භාවය සමග විශේෂ සංවිධාන හැකියාවත් සෝම හාමුදුරුවන් සතුව තිබූහ. මෙම විශේෂ හැකියාව හොඳින් අවබෝධ කරගත් පරම පූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ "තරුණ සවිය වැඩසටහන" තවදුරටත් ඉදිරියට ගෙන යැමේ වගකීම සෝම හාමුදුරුවන්ට පැවරූහ. තරුණ ශක්‌තිය නිවැරැදි ලෙස රට- දැය - සමයට වැඩ ඇති ලෙස, ගොඩනැංවීමේ අරමුණින් මහානායක හාමුදුරුවන් ආරම්භ කළ වැඩසටහනකි. තරුණ සවිය, මහානායක මාහිමියන් වහන්සේ බලාපොරොත්තු වූ ලෙස එම කටයුතු විධිමත් ලෙසත් දීර්ඝ කාලීන ලෙසත් වර්ධනය වූයේ සෝම හිමියන් හා උන්වහන්සේ හා සංවිධානය වූ පිරිසගේත් බලවත් උනන්දුව නිසාය. මෙම ක්‍රියාකාරකම් අතර. සීල සමාදාන, චාරිකා, ධර්ම දේශනා, රෝහල් පිළිසකර කිරීම, ශ්‍රමදාන කටයුතු ආදී ශුභසාධන ක්‍රියාවන් විය.

සෝම හාමුදුරුවන් කළ ධර්මදේශනා විශේෂයෙන්ම තරුණ පිරිස ඉලක්‌ක කරගත් අතර එම දෙසුම් තරුණ තරුණියන්ගේ මහත් ප්‍රබෝධයට ලක්‌ විය.

භික්‍ෂුවක්‌ වශයෙන් උන්වහන්සේගේ දිවිය ඉතාමත් ජනප්‍රිය විය. එසේම ඉතාම කාර්ය බහුල විය. තමන් වහන්සේගේ දහම් අරමුණු, මිනිසා සුචරිතවත් කිරීමේ ආධ්‍යාශයන් මුදුන් පමුණුවා ගැනීමට ඒවා සුදුසු අවස්‌ථාවන් කොට කල්පනා කළ උන්වහන්සේ දොම්නසක්‌ නැතිව පසුබෑමක්‌, උකටලී වීමක්‌. මැසිවිලි නැඟීමක්‌ නැතිව, ලාභාපේක්‍ෂාවලින් තොරව එම ආරාධනා ඉටු කර දුන්හ. උන්වහන්සේගෙන් සම්බුද්ධ ශාසනයට, ජාතියට සහ ජනතාවට සිදුවූ සේවය මිණිය නොහැකි තරම් විශාලය. උන්වහන්සේගේ අපවත්වීමෙන් ඇතිවූ හිඩැස වෙනත් කිසිවකුගෙන් පිරවිය නොහැකිය.

ධෛර්ය සම්පන්න භාවය උන්වහන්සේගේ දිවියෙහි තිබූ විපුල ගුණයකි. ලාභයන් හා අපහාසයේදීත් එකම අයුරින් පිළිගැනීමට උන්වහන්සේ සතුව තිබූ ධීර ගුණය ආදර්ශවත්ය. විපතෙහිදී ධෛර්යයත් - සැපතෙහිදී, ඉවසීමත් උන්වහන්සේ ප්‍රගුණ කළහ. ඔස්‌ට්‍රේලියාවේදී සසුන් සේවා ආරම්භ කොට වැඩිකල් යන්නට මත්තෙන් එහි ජීවත් වූ ශ්‍රී ලාංකිකයන් කිහිපදෙනකු උන්වහන්සේට නින්දා - පරිභව - චෝදනා කරමින් වාස වීසාව අවලංගු කර දමන තරමට විරුද්ධ ව්‍යාපාරයක්‌ ආරම්භ කර තිබිණි. එවැනි අවස්‌ථාවකට වෙනත් භික්‍ෂුවකට මුහුණ දෙන්නට සිදු වූවා නම් ඒවා සිවුරු හැර යන තරමට කලකිරීම් උපදවන දරුණු චෝදනාය. උන්වහන්සේ ඒ කිසිවකිනුත් සැලුණේ නැත. ධර්මය පුරුදු පුහුණු කරමින් ලැබූ දැඩි අධිෂ්ඨානයෙන් නිර්භයව හා ඉවසීමෙන් කවරදා හෝ සත්‍යය එළිවේය යන අදහසින් සිය පුරුදු කටයුතු කරගෙන යැමට සමත් වූහ.

සුඛ විහරණ අපේක්‍ෂා නොකළ උන්වහන්සේ අල්පේච්ඡ සන්තුෂ්ටි ගුණයන්ගෙන් ශෝභමාන වූහ. ලැබෙන හැම දෙයක්‌ම උන්වහන්සේ ප්‍රත්‍ය ලාභය හිඟ පන්සල්වලට සහ අසරණ දුගී ජනතාවට පරිත්‍යාග කරන්නට පටන් ගත්හ. ඈත පිටිසර ප්‍රදේශවලට ගොස්‌ තමන් වහන්සේට ලැබුණු පිරිකරත් දායක දායිකාවන්ගේ දානමානාදියත් පිරිනැමීමට උන්වහන්සේ ඉතා රුචි වූහ.

අවිවාදයෙන් ම සෝම හිමියෝ ඉතා දක්‍ෂ ධර්ම සන්නිවේදකයකු වූහ. උන්වහන්සේට විචාරශීලීව දහම් විවරණ, නිර්භය විවේචන නිසා පැසසුම් මෙන්ම ගැරහුම් ද තදින් එල්ල වන්නට විය.

"අපගේ ධර්ම දේශනා සෑම විටම ඉලක්‌ක වන්නේ බුදුන් වහන්සේගේ බොදු මගට පිටුපාන බෞද්ධයන් වෙතයි. බුදු සසුනේ වර්තමානය පිළිබඳව කරුණු සලකා බලන බෞද්ධ භික්‍ෂුවකට එවන් වැදගත්කමක්‌ ඇති වෙනත් මාතෘකාවක්‌ ඇතැයි අප සිතන්නේ නැත."

"බෞද්ධ භික්‍ෂුවක වශයෙන් මා ධර්ම දේශනා කරන්නේ බුදුන් වහන්සේගේ නියම ධර්ම මාර්ගය දක්‌වමින්, ඔවුන් නැවතත් බොදු මගට යොමු කරවා ගැනීමේ අරමුණ ඇතිවයි."

මෙම අරමුණ සාක්‍ෂාත් කර ගැනීම සඳහා මහත් පරිශ්‍රමයෙන් සහ නිරන්තරව ක්‍රියාත්මක වූ කළ උන්වහන්සේ ඒ වෙනුවෙන් ලැබෙන පැසසුම්වලදී උපේක්‍ෂා වූ අතර. ගැරහුම් කිසිත් ගණනකට නොගත්හ. "බොහෝදෙනා බැණුම් අහන්නේ හොර - මැරකම් කරලා. මා බැණුම් අහන්නේ බණ පදයක්‌ කියලාය" සෝම හිමියන්ගේ ප්‍රාචාර්ය වූ පැළෑණේ ශ්‍රී වජිරCදාණ මහානායක මාහිමියන් වරක සඳහන් කළ මෙම අදහස උන්වහන්සේගේ සිතෙහි ලැගුම් ගත්තාට සැකයක්‌ නැත.

සෝම හිමිපාණන් වහන්සේ දක්‍ෂ ලේඛකයකු වශයෙන්ද, පද්‍ය රචකයකු වශයෙන් ද ජන සම්මානනීය වූහ. උන්වහන්සේ විසින් රචිත පොත්පත් හා ලිපි සිය ගණනකි. ජාතිය සුචරිතවත් කිරීමේ අභිලාෂයට මේ හැම ලිපියක්‌ම සාක්‍ෂි දරයි. උන්වහන්සේ පසුකලෙක ආරම්භ කළ ජනවිජය පදනමේ තේමාව හැටියට ගනු ලැබුවේ "සදාචාරය ජාතියක සෞභාග්‍යය උදා කරයි" යන්නය. එය මඩිහේ මහානායක මාහිමිපාණන් වහන්සේගේ "මිනිහා හැදීමේ" තේමා පාඨය විද්‍යමාන කරයි.

සෝම හිමිපාණන් සෙසු භික්‍ෂූන් වහන්සේලා සමග නිරහංකාරව හා නිහතමානීව ජීවත් වූ භික්‍ෂුවකි. උන්වහන්සේ ඉතා ශ්‍රද්ධා සම්පන්න සහ මහණකමට ඉතා ආදරය කළ මහණකමේ වටිනාකම අනුන්ටත් කියා දුන් භික්‍ෂුවකි. සිය මහණකම නොකෙළෙසා ගැනීමට උන්වහන්සේ බොහෝ පරිස්‌සම් වූහ. "වජිරාරාම සම්ප්‍රදාය" අති ඉහළින් පෝෂණය කළ විශේෂ චරිතයකි. සෝම හිමිපාණෝ උන්වහන්සේගේ දේශනා ශෛලියෙන් ප්‍රභාවත් වූයේ එකී අනන්‍යතාවයි.

1977 න් පසු මේ රටේ ක්‍රියාත්මක කළ විවෘත ආර්ථික ක්‍රමයත් සමග සමාජයෙහි ඇතිවූ ශීඝ්‍ර සදාචාර පරිහානිය සංස්‌කෘතියක්‌ ගැන සිතූ හැමදෙනාටම බෙහෙවින් රිදුම් දෙන්නක්‌ විය. මෙම ආර්ථික රටාව නිසා ඉක්‌මනින් පෝසත් වන්නටත්, තරගකාරීව අනෙකා අභිබවා ආත්මාර්ථකාමීව නැඟෙන්නට මිනිසා පෙළැඹීමෙන් සංස්‌කෘතික ධර්ම වේගයෙන් බිඳ වැටෙන්නටත් පටන් ගත්තේය. සෝම හිමිපාණන් දීර්ඝ වශයෙන් මේ කරුණු පිළිබඳව සාකච්ඡා කළහ. "හොඳ නරක පිළිබඳ විශ්වාසය මෙන්ම ලැජ්ජා භය පිළිබඳ සම්මතය ද මේ සමාජයට වලංගු නැත. ඒ නිසාම මිනිස්‌ වෙසින් පෙනීසිටින රකුස්‌ සමාජයක්‌ අප වටා නිර්මාණය වී තිබේ. නමුත් එයට එරෙහිව නැඟෙන සමාජ විරෝධයක්‌ නැත. "රාජා භවතු ධම්මිකෝ" යනුවෙන් සම්මත වූ ධර්මිෂ්ඨ සමාජය වෙනුවට අද බිහිවී තිබෙන්නේ ප්‍රචණ්‌ඩ වූද, සාහසික වූද, සමාජයකි."

මේ සමාජය තුළ රජයන්නේ මෘග සංස්‌කෘතියකි. මානව සබඳතාවන් බිඳී ගොස්‌ තිබේ. මෛත්‍රීය, දයාව, ආදරය, පරාර්ථ චර්යාවන් වැනසී තිබේ. යසස්‌ කාමයෙන්ද, තෘෂ්ණාවෙන් ද අන්ධව පුද්ගලයන් සිය පැවැත්ම සඳහා නොකරන නොපහත්කමක්‌ නොවෙයි. සෙස්‌සන් පසුකොට දමා දිව යැමට තැත් කරන මිනිසුන්ගේ මී පොරය හැම තැනකම දැකගත හැකිය. මේ නිසා ම ආධ්‍යාත්මික ගුණ වගාවෙන් පිරිපුන් පුද්ගලයා සමාජය තුළ හුදෙකලා මිනිසකු බවට පත් වේ.

දිවයිනේ අස්‌සක්‌ මුල්ලක්‌ නෑර ධර්ම දේශනා සඳහා වැඩම කළ සෝම හිමිපාණන්ට සමාජය කැඩී බිඳී යන ආකාරය පසක්‌ විය. හුදෙක්‌ ධර්ම දේශනා තුළින් පමණක්‌ මේ සමාජ ව්‍යසනයෙන් ජනතාව ගලවා ගත හැකිදො යන සැකය උන්වහන්සේගේ සිත තුළ ක්‍රම ක්‍රමයෙන් ලියලන්නට විය. මෙම තත්ත්වය උන්වහන්සේ ගේ සිත රිදුම් දෙන්නක්‌ විය.

අති පූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ විසින් බුද්ධ ශාසනයට පරිත්‍යාග කරන ලද ශීලය, විනය සහ ප්‍රඥාවෙන් හෙබි විශිෂ්ටතම භික්‍ෂුව වූ සෝම හිමිපාණන් අපට අහිමි වූයේ උන්වහන්සේ මෙරටට හා ශාසනයට අත්‍යවශ්‍යම අවධියේදීය.

වැරදි දෘෂ්ටි අනුගමනය කරමින් අඳුරේ දුක්‌ වින්ද ජනතාවට නිවැරැදි මාර්ගය අවබෝධ කර ගෙන ඒ මග තෝරා ගැනීමට සෝම හිමිපාණන්ගෙන් සිදුවූ සේවාව එම ජනතාවට මහත් අස්‌වැසිල්ලක්‌ ලබා දුන්හ. දෙවිවරුන් යදිමින් මේ පිළිබඳව උන්වහන්සේ හුදෙක්‌ම කතා කළේ නැත. ඒ පිළිබඳව සත්‍ය තොරතුරු" සංඛ්‍යා ලේඛන සහිතව, රජයට මේ වසංගත දෙකෙන් ලැබෙන ආදායම අභිබවා එයින් රටකට සිදු වන පරිහානිය (රටකට සහ පවුල්වලට මිනිස්‌ ජීවිත අකාලයේ අහිමි වීම ශාරීරික දුබලතා සහ රජයකට එයින් රෝගී වූවන්හට ප්‍රතිකාර සඳහා වැය වන අධික වියදම) පැහැදිලි කළහ.

වෙනත් භික්‍ෂූන් ශ්‍රාවකයන්ට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන ලෙස පැහැදිලි කරන විට,සෝම හාමුදුරුවෝ තෝරා ගත්තේ, වෙනත් ක්‍රමයකි. උන්වහන්සේ ඉල්ලා සිටියේ මිස දිටු අදහස්‌ අත්හැර පංචශීලය රකින ලෙසයි. නමුත් උන්වහන්සේගේ ක්‍රමය ශ්‍රාවකයන් අත් නොහළහ. ඔවුහු උන්වහන්සේගේ දේශනා වැළඳ ගත්හ.

සිංහලයන්ට තම ඇස්‌ කන් විදහා සත්‍යය අවබෝධ වීම ආරම්භ වීමට හේතුභූත වූයේ මෙම නව චින්තනයයි. අලුත් තරුණ පරම්පරාවක්‌ මෙම උත්තරීතර බුද්ධ පුත්‍රයා අනුගමනය කළහ. ත්‍රිපිටකය ඉතා සරල ආකාරයෙන් උන්වහන්සේ පැහැදිලි කළහ. එම ධර්ම දේශනා සඳහා පැය ගණන් ගත වුවත් ඔවුන් විඩාවට පත් නොවුණි. එම කාලය ප්‍රමාණවත් නැතැයි ඔවුහු සිතූහ. උන්වහන්සේගේ ධර්මදේශනා තුළින් ඇතිවූ ආගමික ප්‍රබෝධය අතිමහත්ය. විශේෂයෙන් තරුණ පිරිස අතර මේ ප්‍රබෝධය හා වෙනස ඇති කළේ එක්‌ කටකිනි.


යුග ගණනාවකට තවත් එවැනි උත්තරීතර බුද්ධ පුත්‍රයකු පහළ වේ යෑයි අපට සිතාගත නොහැකිය. නමුත් උන්වහන්සේ දෙසූ ඒ ධර්මිෂ්ඨ වදන් ඉවත් කළ නොහැකිය. අමතක කළ නොහැකිය. ජාති ආගම් බේදයකින් තොරව ජනතාව උන්වහන්සේගේ දේශනාවලට ඇලුම් කළහ. එය එක්‌ දෙයක්‌ පැහැදිලි කරයි. සත්‍යයට ජාති ආගම් බේදයක්‌ නොමැති බවයි. බුද්ධාගම ඒ උත්තරීතර සත්‍යයයි. මේ උත්තරීතර ධර්ම කරුණු අවබෝධ කර ගැනීමට නොහැකිවූ විට මිනිස්‌සු යුග සහ කාලවලට අනුව ධර්මයෙන් ඈත් වෙති.

සෝම හිමියන් අවසන් ගමන් යන විට සියලු දෙනාගේම ඇසට කඳුළක්‌ ඉනුවේය. එසේ වීමට හේතු කීපයක්‌ ඇත. අපි අපගේ ජාතියට සහ ආගමට ආදරය කරමු. අප දේශප්‍රේමීන් බවට පත් වූයේ උන්වහන්සේගේ විශිෂ්ට පැහැදිලි කිරීම් නිසාය.

කවුරු මේ ලොව අතහැර ගියත් ඉරු සඳු පවතින තාක්‌. කිසිවකුට බුද්ධ ධර්මය විනාශ කළ නොහැකිය.

සකස්‌ කළේ, මන්ජරී පීරිස්‌
http://www.divaina.com/2013/12/12/feature02.html

0 comments: