Pages

Monday, December 16, 2013

කුඩු සැකකරු පොලීසියට බාරදුන්නෙ නැත්තේ ඇයි? - ඕමල්පේ සෝභිත හිමි

මේ නින්දා සහගත අර්බුදය තවත් කෙසේ නම් තේරුම් කර දිය යුතු දැයි අපට නම් වැටහෙන්නේ නැත. අපේ රටේ ගරු අග්‍රාමාත්‍යතුමා මෙන්ම සම්බුද්ධ ශාසනයේ චිරස්‌ථිතිය සඳහා රාජ්‍ය බලය සහිතව කැප වුණ ගරු බුද්ධ ශාසන ඇමතිතුමා ලංකාවේ මෙතෙක්‌ හමුවුන ලොකුම කුඩු තොගය ගෙන්වීමට සම්බන්ධ ජාවාරමට චෝදනා ලබමින් හිඳී. සාධාරණ හේතු සාධකත් සහිතව මේ චෝදනා එල්ලවෙමින් ඇත්තේ මේ සමාජයෙනි. 

කුඩු කන්ටේනරය

ග්‍රීස්‌ ටින් අතරේ සඟවා ලංකාවට ගෙන්වු මෙතෙක්‌ රටින් හමුවන දැවැන්තම කුඩු තොගය ගැන රටට හෙළිවන්නේ පසුගිය ජුලි මාසයේදීය. කිලෝ 261 වු මේ දැවැන්ත කුඩු තොගය නැව්ගත කර තිබුණේ පකිස්‌ථානයේ කරච්චි නුවරිනි. ඒ පසුගිය ජුනි 17 වැනිදාය. මේ කුඩු තොගය කොළඹ වරායට පසුගිය ජුනි 22 දා ගොඩබා තිබිණි. මේ කන්ටේනරය ගැන ලද බුද්ධි තොරතුරකට අනුව පොලිස්‌ මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් කන්ටේනරය මුදා හරින විට එය පරීක්‌ෂා කිරීමට ඉල්ලීමක්‌ රේගුවට කර තිබු බවත්, රේගු මත්ද්‍රව්‍ය කාර්යාංශය එම කන්ටේනරය මුදා හැරීම ප්‍රමාද කර රේගු විමර්ශනය ආරම්භ කළ බවත් මාධ්‍ය වාර්තා කර තිබුණේය. 

ඒ වාර්තාවලට අනුව කන්ටේනරය මුදාහැරීම ප්‍රමාද වනවිට පකිස්‌තානයේ සිට පැමිණ සිටි ජාවාරම් කාරයින් රුපියල් මිලියන ගණන් විවිධ පුද්ගලයන්ට අල්ලස්‌ ලබා දුන් ආකාරයත්, එක්‌තරා ප්‍රබල දේශපාලනඥයෙක්‌ හා එක්‌ව රේගුවට බලපෑම් කළ ආකාරයත්, මේ ප්‍රබල දේශපාලකයාගේ පුතා සමග එක්‌ව එම දේශපාලකයාගේ ලේකම්වරුන් මගින් ඔහුගේ ලිපි ශීර්ෂ වලින්ම ශ්‍රී ලංකා රේගුවට නියෝග නිකුත් කර ඇති බවත් රටට හෙළිදරව් කරන ලද්දේ මාධ්‍ය විසිනි. 

ඒ වාර්තාවලට අනුව එක්‌ නියෝගයක්‌ ලබා දී ඇත්තේ ග්‍රීස්‌ කන්ටේනරයට සියයට 15 කින් වැට්‌ බද්ද අඩු කරන ලෙසටය. දෙවන නියෝගයෙන් කියන බව පැවසුණේ එම කන්ටේනරය හැකි ඉක්‌මනින් නිදහස්‌ කරන ලෙසය. මේ බව මාධ්‍ය අනාවරණය කළේය. එම නියෝග සහිත ලිපිවල මුල් පිටපත් මෙන්ම ඡායා පිටපත් ද හෙරොයින් කන්ටේනරය ගැන පරීක්‌ෂණ පවත්වන ශ්‍රි ලංකා රේගු නිලධාරීන් සහ පොලිස්‌ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් සතුව තිබෙන බව රටට හෙළිදරව් වුණේ මීට මාස ගණනකට පෙරය. මේ සියලු සිදුවීම් මාධ්‍යය හරහා ඕනෑම මෝඩයෙකුට වටහාගත හැකි වන සේ රටට හෙළි කළේය. 

මේ නින්දා සහගත චෝදනාව ලබන්නේ රටේ අගමැතිවරයා බව රටම දැනගෙන සිටියේය. මේ කුඩු කන්ටේනරය නිදහස්‌ කරගන්නට අගමැතිවරයාගේ ලිපි ශීර්ෂ යටතේ ලියුම් යෑව්වේ ඔහුගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක්‌ බවට වන ලිත සාධක අදාල අංශ සතුව ඇති බව කියෑවුණේය. කුඩු ග්‍රෑම් දෙකක්‌ ලඟ තබාගෙන සිටියත් ජීවිතාන්තය දක්‌වා සිරදඬුවම් නියම වන නීතියක්‌ සහිත රටක, රටට ගෙන්වු ලොකුම කුඩු තොගය පිටුපස ඇති ජාවාරමේ සිටින බව බැලූ බැල්මට පෙනෙන අගමැති වරයාගේ සම්බන්ධීකරණ නිලධාරියාට හෙණයක්‌වත් තිබුණේ නැත. ඔහු අගමැති සම්බන්ධීකරණ ලේකම් රස්‌සාව කරගෙන යනු පෙනුණේය. මෙපමණ දෙයක්‌ වනවිට අගමැතිවරයාත් සිටියේ මළමිනියක්‌ සේ හැඟීම් නොදැනෙන ලෙසය. 

අප විසින් කියන මේ කතාව පැහැදිලිව වටහාගත යුතුය. ජාතියක්‌ සාහසික ලෙස විනාශ කරන මේ නින්දිත අපරාධයට අගමැතිවරයා හෝ ඔහුගේ සම්බන්ධීකරණ ලේකම්වරයා වැරදිකරුවන්දැයි තවම අප දන්නේ නැත. එහෙත් මේ ජාවාරම සම්බන්ධ කාරණාවලදී ඔවුන් හැසිරෙන මුග්ධ ආකාරය රටට සැක උපදවන්නේය. 

මගේ පන්සලේ ඇබිත්තයෙක්‌ මිනී මරයි නම්, මංකොල්ලකා ප්‍රදේශය වනසානම් ඒ පිළිබඳ සැලවු මුල්ම මොහොතේ මා කළ යුත්තේ මේ සැකකාර අපරාධකරුවා පොලිසියට භාර දීමය. නීතිය මගින් කටයුතු කිරීමට අවශ්‍ය පහසුකම් සපයා දීමය. මා මේ දීන අපරාධවලට සම්බන්ධ නැති බව පෙන්වා මගේත් චීවරයේත් ගෞරවය රැක ගැනීමය. අප අපේ රටේ ගරු අගමැතිතුමා මෙන්ම ගරු බුද්ධ ශාසන ඇමතිතුමාගෙන් බලාපොරොත්තු වුයේ මෙවැනි ගෞරවනීය හැසිරීමකි. අවට සිටින කාලකණ්‌ණින් පිස්‌සු කෙළිය හැකිය. එහෙත් ඒ පිස්‌සුවලින් අප විනාශ විය යුතු නැත. තමන්ගේ සම්බන්ධීකරණ ලේකම්වරයා ලංකාවේ දැවැන්තම කුඩු තොගය නිදහස්‌ කරගැනීමට තමන්ගේ නිල මුද්‍ර සහිත ලිපි ශීර්ෂ පාවිච්චි කර ඇත්නම් ඌ මරා දමන්නට තරම් කේන්තියක්‌ මුලින්ම ගරු අගමැති තුමා තුළ ඇතිවනු ඇතැයි අපේක්‌ෂා කළත් අනේ එසේ වුයේ නැත. තමන්ගේ පැරණි දේශපාලන ජීවිතය මෙන්ම තමන් ගොඩ නගන්නට තතනන දරුවන්ගේ දේශපාලන අනාගතයත් වනසා දැමු මේ සැකකාර අපරාධකාරයා පොලිස්‌ අත්අඩංගුවට පත්කර පරීක්‌ෂණ නිසි ආකාරයෙන් කරගන්නට ඉඩ හසර ලබා දෙනු ඇතැයි සිතූ නමුත් එයත් සිදු වුයේ නැත. මේ සැකකරුවා අඩුම තරමින් මේ චෝදනා ලබා පැය 24 යන්නට මත්තෙන් තනතුරෙන්වත් ඉවත් කළේ නැත. මේ අපරාධය පසුපස අගමැතිවරයා ඇතැයි යන සාධාරණ සැකය උපදවා ගැනීමට මේ මුග්ධ හැසිරීම ප්‍රමාණවත්ය. 

එහෙත් රටේ බරපතලම අපරාධය ඉදිරියේ මේ සැකකටයුතු හැසිරීම කරන රටේ අගමැතිවරයා පොලිsස්‌ අත්අඩංගුවට පත් නොවිය. යුත්තේ කුමන පදනමකින්දැයි අපට වැටහෙන්නේ නැත. අප විසින් කරන ලද බරපතල ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව සමාජයෙන් නැගෙන දැවැන්ත විරෝධය හමුවේ මීට දෙදිනකට පෙර තනතුරින් ඉල්ලා අස්‌වන අගමැතිගේ සම්බන්ධීකරණ ලේකම්වරයා පරීක්‌ෂණ කටයුතු නිමාවනතුරුවත් පොලිස්‌ අත්අඩංගුවට පත්නොවන්නේ ඇයිදැයි අපට තේරෙන්නේ නැත. අප ප්‍රශ්න කරන්නේ මේ යථාර්ථයයි.

මේ අතර බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශය නිවේදනයක්‌ නිකුත් කරමින් මත්කුඩු කන්ටේනරයට අදාළ ලිපියක්‌ කීර්ති වීරසිංහ නැමැති සම්බන්ධීකරණ ලේකම්වරයා විසින් නිකුත් කර ඇත්තේ ගරු අගමැතිවරයාගේ හෝ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමැතිවරයාගේ කිසිදු විමසීsමකින් හෝ උපදෙස්‌ ලබාගැනීමකින් නොවන බව කියා සිටින්නේය. 

එම නිවේදනයට අනුව කුඩු කන්ටේනරය නිදහස්‌ කරන්නට ලියුම් යවන කීර්ති වීරසිංහ අගමැතිවරයාගේ හෝ අගමැති කාර්යාලයේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක්‌ නොවේ. හෙතෙම බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශයේ ඇමැතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකි. ඊට අමතරව ඔහුට භාෂා කීපයක්‌ හැසිර විය හැකිය. කලක්‌ විවිධ ආයතනවල විවිධ ඉහළ තනතුරු හොබවා තිබේ. දැන් අගමැතිවරයා වෙනුවෙන් හෝ එතුමා යම්කිසි ආකාරයකට සම්බන්ධ වන ආකාරයෙන් හෝ ලිපි නිකුත් නොකරන ලෙස දැන් එතුමාගේ කාර්ය මණ්‌ඩලයට ලිත උපදෙස්‌ දී තිබේ. මත්කුඩු කන්ටේනරයක්‌ නිදහස්‌ කිරීමට නොව, එවැන්නක්‌ ලංකාව දෙසට ගමන් ගන්නා බව දැනගතහොත් ඊට එරෙහිව ක්‍රියා කරන්නට අගමැතිතුමා නොපසුබට වේ. දැන් කීර්ති වීරසිංහ සම්බන්ධීකරණ ලේකම්වරයා තනතුරින් ඉවත් වී පරීක්‌ෂණ කටයුතු නිසි ලෙස කරගෙන යැමට ඉඩ සලසා තිබේ. 

මේ එක කාරණාවක්‌වත් මේ අපරාධයට සම්බන්ධව අප නගන තර්කයට අදාල නැත. රටක අගමැතිවරයා රටේ සමස්‌ත දේශපාලන හා මානුෂීය චර්යා නියෝජනය කරන්නේය. ඔහු අගමැතිවරයෙක්‌ ලෙස පත්වන්නේ ඒ සඳහාය. ඔහුගේ හැසිරීම ඔහුගේ පවුලටත් දරුවන්ටත් පමණක්‌ බලපාන්නේ නැත. එය බලපාන්නේ මුළු රටටමය. අර්බුදයක්‌ මතුවුන විට අගමැතිවරයෙකුගෙන් තාර්කික පිළිතුරු විනා රටකට වැල් බයිලා අවශ්‍ය නැත්තේ ඒ නිසාය.

නිවේදනය ප්‍රකාරව සැකකාර ලේකම්වරයාගේ භාෂා ඥානය ඔහු කළා යෑයි සැක කෙරෙන අපරාධයේ ප්‍රමාණය අඩු කරන්නට කෙසේ ගැලපා ගතහැකි දැයි අපට වැටහෙන්නේ නැත. මේ සම්බන්ධීකරණ ලේකම්වරයා අගමැතිගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක්‌ වීමට වඩා අගමැතිවරයාම ඇමති තනතුර දරන බුද්ධ ශාසන ඇමතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක්‌ වීමේ බරපතලකම බුද්ධ ශාසන අමාත්‍යංශය වෙනුවෙන් මේ නිවේදනය නිකුත් කළ තකතිරුවන්ට නොවැටහීම අප කම්පනයට පත් කර ඇත. ලංකාවට එන කුඩු නැව් මුහුද මැද්දේදී නවත්වා වික්‍රම පෑමේ පුරාඡේරු කීමට පෙර අතට හසු වී විලි ලඡ්ජාවට පත් වු අපරාධයේ සැකමුසු තැන් වලින් නිදහස්‌ව තම නිදොස්‌ කම පෙන්වන්නට බැරිවු වියපත් අගමැතිවරයාත්, වැඩේ පත්තු වු විට පරීක්‌ෂණ කටයුතු නිසි සේ කරගෙන යන්නට ඉඩදී අස්‌වන බව පවසන ඔහුගේ සම්බන්ධීකරණ ලේකම්වරයාත් තැබිය යුතු තැන ගැන තීන්දු ගත යුත්තේ මේ සමාජය විසින්ය. 

මේ රට යන ආකාරය ගැන අප එකිනෙකා පුද්ගලිකව කම්පා විය යුතුය. රටේ අගමැතිවරයා රටේ ලොකුම කුඩු ජාවාරමට චෝදනා ලබන්නේය. පරීක්‌ෂණවල විනිවිද භාවය ගැන සමාජය තුළ කුකුස උපදින්නේය. එතැන් සිට ප්‍රාදේශීය තලය දක්‌වා දුෂණය වංචාව හා අවනීතිය ඔඩුදුවා තිබෙන්නේය. ප්‍රාදේශීය දේශපාලකයෝ ස්‌ත්‍රී දූෂණය, කොල්ල කෑම ඇතුළු සකලවිධ අපරාධ කරන්නෝය. ත්‍රස්‌තවාදයෙන් බේරාගත් රට යළිත් ගිලගෙන ඇත්තේ අවනීතියේත්, අසංස්‌කෘතියේත් ත්‍රස්‌තවාදය විසින්ය. මේ පසුබිමේදී කැමරන්ලා පිස්‌සු කෙළීම අරුමයක්‌ වන්නේ නැත. ජිනීවාවලදී රට නන්නත්තාර වීම අරුමයක්‌ වන්නේ නැත. ජාත්‍යන්තරය හමුවේ ජාතියක්‌ ලෙස නිරුත්තරවීමේ නින්දාව අපේක්‌ෂාවක්‌ සේ ගත යුතු මොහොත එළඹ ඇත. අප තුළ ඇත්තේ මේ අනාගත ව්‍යසනයෙන් උපන් වේදනාවය.

මේ වග ලියා තැබිය යුතුය. 

මේ ආණ්‌ඩුව හැදුවේ අපය. ඒ සඳහා උපවාස කරමින් ජීවිත පරිත්‍යාගයෙන් කැප වුයේ අපය. අප මේ ආණ්‌ඩුව තැනුවේ ජාතියක්‌ අභිනන්දනය කරනු සඳහා මිස මෙවැනි නින්දාසහගත අපරාධ ඇස්‌ පනාපිට දැක දැක හූල්ලන්ට නොවේ. ජරපත්ව වයසට යා නම්, දෑත් දෙපා අවසඟ නම්, සිහි මද ගතියෙන් පෙළේ නම් අගමැති වරයා නොව, අග රජු වුවත් කළ යුත්තේ සිහි බුද්ධිය සහිත මනුෂ්‍යයෙකුට එම අවස්‌ථාව දී යථාර්ථයට මුහුණදීමය. දැන් ගරු අගමැතිතුමා එම යථාර්ථයට මුහුණ දිය යුතු බව අපගේ හැඟීමය. 

එසේම මේ කරන චෝදනාවේ බරපතලකම අපට වැටහෙන්නේය. රටේ ලොකුම අපරාධයට අප චෝදනා කරන්නේ රටේ අගමැතිවරයාටය. පවත්නා නීතිය යටතේ ඔහු අත්අඩංගුවට ගතයුතු බවට කියන මේ චෝදනා අසත්‍යනම් ආණ්‌ඩුව තව යමක්‌ කළ යුතුය. එනම් මේ අස්‌ථාන, ද්වේෂ සහතගත, සාපරාධි අපහාස සහිත චෝදනා ඉදිරිපත් කරන ඕමල්පේ සෝභිත නැමැති මා අත්අඩංගුවට ගැනීමය. 

මේ කාරණා දෙකෙන් එකක්‌ වන තුරු අප උපේක්‌ෂාවෙන් යුතුව බලා ඉන්නේය.

අගමැති සම්බන්ධීකරණ ලේකම් කීර්ති ශ්‍රී වීරසිංහ, "ඉරිදා දිවයින" සමග කළ සාකච්ඡාවේදී කීවේ කුඩු කන්ටේනරය සම්බන්ධයෙන් ලිපියක්‌ නිකුත් කළ දිනට පසු දින එහි ඇති බරපතළ තත්ත්වය අනාවරණය වූ සැණින්, අගමැති දි. මු. ජයරත්න තමන් විසින් දැනුවත් කළ බවය. එහෙත් සිදුවීමට පසු දිගින් දිගටම ඒ ගැන මාධ්‍ය වාර්තා පළවෙද්දීත්, විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් ඒ ගැන ප්‍රශ්න කරද්දීත්, අගමැතිවරයා ඊට නිශ්චිත පිළිතුරක්‌ ලබාදුන්නේ නැත. අප කීර්ති ශ්‍රී වීරසිංහ සමග සම්මුඛ සාකච්ඡාව කළේ 2013.12.12 වැනිදා රාත්‍රි 7.30 ට පමණය. අගමැතිවරයා එදින පෙරවරුවේ ඒ ගැන පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය පහත ස`දහන් ආකාරයෙනි. එදින ද අගමැතිවරයා කීර්ති ශ්‍රී වීරසිංහ විසින් කළ දැනුවත් කිරීමට අදාළ කිසිවක්‌ නොකීමට ප්‍රවේසම් වී තිබිණි. ඊට හේතුව වශයෙන් දක්‌වා තිබුණේ අදාළ පරීක්‍ෂණවලට බාධාවක්‌ එල්ල වන නිසා කිසිවක්‌ නොකියන බවය. එහෙත් අගමැතිවරයා නොකියන දේ කීර්ති ශ්‍රී වීරසිංහ වගකීමෙන් යුතුව මාධ්‍යයට ප්‍රකාශ කර අවසන්ය.

අගමැති සම්බන්ධීකරණ ලේකම් කීර්ති ශ්‍රී වීරසිංහ, "ඉරිදා දිවයින" සමග කළ සාකච්ඡාවේදී කීවේ කුඩු කන්ටේනරය සම්බන්ධයෙන් ලිපියක්‌ නිකුත් කළ දිනට පසු දින එහි ඇති බරපතළ තත්ත්වය අනාවරණය වූ සැණින්, අගමැති දි. මු. ජයරත්න තමන් විසින් දැනුවත් කළ බවය. එහෙත් සිදුවීමට පසු දිගින් දිගටම ඒ ගැන මාධ්‍ය වාර්තා පළවෙද්දීත්, විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් ඒ ගැන ප්‍රශ්න කරද්දීත්, අගමැතිවරයා ඊට නිශ්චිත පිළිතුරක්‌ ලබාදුන්නේ නැත. අප කීර්ති ශ්‍රී වීරසිංහ සමග සම්මුඛ සාකච්ඡාව කළේ 2013.12.12 වැනිදා රාත්‍රි 7.30 ට පමණය. අගමැතිවරයා එදින පෙරවරුවේ ඒ ගැන පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය පහත සඳහන් ආකාරයෙනි. එදින ද අගමැතිවරයා කීර්ති ශ්‍රී වීරසිංහ විසින් කළ දැනුවත් කිරීමට අදාළ කිසිවක්‌ නොකීමට ප්‍රවේසම් වී තිබිණි. ඊට හේතුව වශයෙන් දක්‌වා තිබුණේ අදාළ පරීක්‍ෂණවලට බාධාවක්‌ එල්ල වන නිසා කිසිවක්‌ නොකියන බවය. එහෙත් අගමැතිවරයා නොකියන දේ කීර්ති ශ්‍රී වීරසිංහ වගකීමෙන් යුතුව මාධ්‍යයට ප්‍රකාශ කර අවසන්ය.

අගමැතිගේ ප්‍රකාශය

කුඩු කන්ටේනරයක්‌ මුදාහරින ලෙස තමාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු ලිපියක්‌ යවා ඇත්නම් එය වරදක්‌ ලෙස පිළිගන්නා බව අගමැති දි. මු. ජයරත්න පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. තමන් මේ පිළිබඳ පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක්‌ කිරීමට කතානායකවරයාගෙන් ඉල්ලීමක්‌ කළද මේ මොහොතේ ඒ ගැන කිසිවක්‌ ප්‍රකාශ නොකරන්නැයි පක්‍ෂ විපක්‍ෂ මන්ත්‍රීවරුන් ඉල්ලා සිටි නිසා තමන් නිහඬව සිටින බවද අගමැතිවරයා කීවේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කරන ප්‍රකාශයක්‌ මගින් පරීක්‍ෂණ කටයුතුවලට බාධාවක්‌ විය හැකි බැවින් තමා ඒ පිළිබඳව ප්‍රකාශයක්‌ නොකරන බවද අගමැතිවරයා කීවේය.

"මම මෙතරම් කාලයක්‌ නිහඬව සිටියේ මේ ගැන පරීක්‍ෂණ පවත්වන නිසා. මම මොනවා හරි කිව්වොත් ඒක පරීක්‍ෂණවලට බාධාවක්‌ වෙන්න පුළුවන්. ඒ නිසා මම නිහඬව ඉන්නවා. පක්‍ෂ විපක්‍ෂ දෙගොල්ලොම මේ ගැන මොකුත් කියන්න එපා කියලා මට කිව්වා. අද මේ කතා කරන මන්ත්‍රිවරයාගෙන් කියන්නේ පත්තරවල තියෙන දේවල් විතරයි. 

පත්තර විකුණ ගන්න මොන මොනවාහරි දානවා. මම ඒ පත්තර බලලා හිනාවෙනවා. කුඩු නිදහස්‌ කරන්න කියලා ලිපියක්‌ යෑව්වා නම් ඒක වරදක්‌ බව මම පිළිගන්නවා.


Pic Source

සබැඳි ලිපි -
[

හෙරොයින් කන්ටේනරය ගැන පුළුල් පරීක්‍ෂණයක්‌ ඕනෑ - ඕමල්පේ හිමි පොලිස්‌පතිගෙන් ඉල්ලයිhttp://denethharinna.blogspot.com/2013/12/blog-post_2517.htmlකුඩු කන්ටේනරයේ සුලමුල හෙළිවේ යැයි අගමැති ලේකම් බයවෙලා - ඕමල්පේ සෝභිත හිමිhttp://denethharinna.blogspot.com/2013/12/blog-post_598.htmlකුඩු කන්ටේනරයේ සුලමුල රටට හෙළි කරන්න - ඕමල්පේ සෝභිත හිමිගෙන් අගමැති ලේකම්ට ලිපියක්‌http://denethharinna.blogspot.com/2013/12/blog-post_13.htmlකුඩු කන්ටේනරයේ සිද්ධිය: අගමැති, නිලයෙන් ඉවත් විය යුතුයි - ඕමල්පේ සෝභිත හිමිhttp://denethharinna.blogspot.com/2013/12/blog-post_10.html
]

0 comments: