Pages

Wednesday, December 25, 2013

රාජ්‍ය පාලනයට දසරාජ ධර්මය මුසු කර ගන්නේ කෙසේද?

මෙම උතුම් දිවයිනේ ජාතික, ආගමික, සංස්‌කෘතික සාරධර්ම ඇතුළු සෑම සියලු අංශයක්‌ ගැනම සිතා බලා ආගමික ප්‍රධානීන් ඇතුළු ලක්‍ෂ සංඛ්‍යාත දැහැමි ප්‍රඥවන්ත ජන නායකයන් විසින් ප්‍රතික්‍ෂේප කරන්නා වූ කැසිනෝ වැනි සූදු ක්‍රීඩා ඇතුළු පස්‌ පවෙන් සහ දස අකුසල් වලින් මිදී, සියලු දුරාචාරයන් ව්‍යාප්ත නොකිරීමටත්, ඒවා නතර කිරීමටත් පියවර ගැනීම ජනතාවට පමණක්‌ නොව රජයටත් යහපතම සැලසෙනවා යෑයි "කැසිනෝ එපා" යනුවෙන් ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් විසින් අතිගරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා වෙත යවන ලද ලිපියක සඳහන්ව තිබූ බව පසුගිය දිනෙක මාධ්‍ය තුළින් දැක ගන්නට හැකි විය.

අතීතයේ දී අප රජ දරුවෝ චක්‌කවත්තිසීහනාද සූත්‍රය, අපරිහානි ධර්ම ඇතුළු ධර්මයන් තුළින් සිල්වත්, ගුණවත් පාලකයෝ වූ බවත් දානය, ශීලය, පරිත්‍යාගය, සෘජු බව, මෘදු බව, තවුස්‌ ගුණ, අක්‍රෝධී බව, අවිහිංසාව, ක්‍ෂාන්තිය, අවිරෝධීතාව (ජනතා හැඟීම් විමසා බලා විරුද්ධව නොයැම) ආදී දසරාජ ධර්ම ප්‍රතිපත්ති වලින් රට පාලනය කළ බවත් උන්වහන්සේලා වැඩි දුරටත් පෙන්වා දී තිබිණ. ඒ අනුව උන් වහන්සේලා තව දුරටත් පෙන්වා දී තිබුණේ, එදා අද මෙන් දරුණු ලෙඩරෝග නොතිබූ බවත්, මිනිසුන් තුළ කරුණාව, මෛත්‍රිය පැවැති බවත්, රට සෞභාග්‍යමත්ව පැවැති බවත්ය. එහෙත් විදේශ ආක්‍රමණත් සමඟ අප රට තුළ ධර්මය වැනසී අධර්මය රජ වූ බවත්ය.

එදවස ධර්මානුකූලව අප රට තුළ රාජ්‍ය පාලනය එසේ සිදු වුවත්, වර්තමාන ගෝලීකරණය සහ සංකීර්ණත්වය තුළ දේශපාලන කෝණයෙන් බලා එසේ කරන්නේ කෙසේද යන්න ප්‍රායෝගිකව ගැටලු සහගත යෑයි අපගේ දේශපාලනඥයා කල්පනා කරන බව නම් නොඅනුමානය. එහෙත් මුළු ලොව පුරාම ක්‍රියාත්මක වන නීති පොත් ගෙන බැලුවත් එම සෑම නීතියක්‌ම සම්පාදනය වී ඇත්තේ පස්‌ පවෙන් සහ දස අකුසලයෙන් සිදු වන හානි සහ අසාධාරණ කම් වලට එරෙහිව බව පැහැදිලිය. එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය සහ සමාජවාදය රැක ගන්නවාය යන්නෙහි තේරුම වන්නේද එයම නොහොත් දසරාජ ධර්මයම ය. එනිසා දසරාජ ධර්මය රාජ්‍ය පාලනයට මුසු කර ගන්නට නම්, ප්‍රජාතන්ත්‍රවාදය සහ සමාජවාදය යන්න බෝඩ් ලෑල්ලට පමණක්‌ සීමා නොකර රාජ්‍ය පාලනයේ අභ්‍යන්තර ක්‍රියාකාරිත්වය බවට පත් කර ගත යුතුමය. එහෙත් මෙදවස පවතින රාජ්‍ය පාලනය දෙස බලන කල දැක ගන්නට ඇත්තේ නාමමාත්‍රික ප්‍රජාතන්ත්‍රවාදයක්‌ සහ සමාජවාදයක්‌ මිස අන් කවරෙක්‌ද යන්න ඉතාමත්ම පැහැදිලිය. එහෙත් ඊට හේතුව කුමක්‌ද, උන්වහන්සේලා පවසන දසරාජ ධර්මයට අනුව මෙ රට පාලනය කරන්නේ කෙසේද, ඒ සඳහා භාවිත කළ යුතු වන ප්‍රායෝගික වැඩපිළිවෙළ ඇතුළත් දේශපාලන න්‍යාය පත්‍රය කුමක්‌ද, එවන් දේශපාලන න්‍යායපත්‍රයක්‌ අපට තිබෙනවාද, අප ඒ ගැන කල්පනා කර තිබෙනවාද, යනුවෙන් මේ වන විට අපට ඇත්තේ ප්‍රශ්න ගණනාවකි.

එනිසා දසරාජ ධර්මය මෙදවස දේශපාලනයට ප්‍රයෝගිකව මුසු කරනු පිණිස දන් දෙන්නටවත්, සිල් රකින්නටවත්, පරිත්‍යාග කරන්නටවත්, එහි සඳහන් වන අනෙකුත් කරුණු කාරණා වෙන වෙනම ගෙන ක්‍රියාවට නංවන්නටවත් නොහැකි වන බව තේරුම් ගත යුතුය. එහෙත් දසරාජ ධර්මයෙන් කියෑවෙන කරුණු කාරණා සියල්ල තුළ ඇති සංවේදීතාවයන්ට අනුව නම් අදාළ දේශපාලන න්‍යාය පත්‍රය සම්පාදනය කරගන්නට හැකිය. එම දේශපාලන නයාය පත්‍රය යනු අන් කිසිවක්‌ නොව ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජවාදී රාමුව තුළ යහ පාලනය රැක ගැනීමේ ක්‍රියා පිළිවෙතයි.

එම දේශපාලන න්‍යාය පත්‍රය මෙවැන්නකි,

දර්ශනය(- යථාර්ථවාදී බව, සත්‍යවාදී බව, අව්‍යාජ බව සහ සද්දහමේ හරයට අනුව දැකීම.

පදනම(- සමාජ සාධාරණය සඳහා වන ප්‍රජාතන්ත්‍රවාදය සහ සමාජවාදය සුරැකීමය.

රාජ්‍ය ප්‍රතිපත්තිය(- ධනය, සම්පත්, සේවය, සුබ සාධනය සහ ජනතා පරමාධිපත්‍ය, සාධාරණව බෙදී යන ප්‍රතිපත්තියේ පිහිටා සිටීමය. (වෙනත් බලය බෙදීමකින් තොර, ඒකීය රට යන සංකල්පය තුළ) මෙම දේශපාලන න්‍යාය පත්‍රයට අනුව කැබිනට්‌ ක්‍රියාකාරකම විය යුතු වන්නේ ද මෙම පංච විධ වූ මූලික ප්‍රතිපත්තියයි. මේ සඳහා පංච පුද්ගල කැබිනට්‌ මණ්‌ඩලයක්‌ ද ප්‍රමාණවත්ය.

ජාතික ප්‍රතිපත්ති(- රාජ්‍ය අංශය සහ පෞද්ගලික අංශයද, සියලුම වෘත්තීය ක්‍ෂේත්‍රයන් සහ සමාජ ස්‌ථරයන්ද, 100% ක්‌ම ආවරණය වන පරිදි සහ ඉහත සඳහන් රාජ්‍ය (මූලික) ප්‍රතිපත්තියට හානි නොවන පරිදි මෙන්ම එය හොඳින් පෝෂණය වන පරිදි සහ එයට යටත් වන පරිදි සම්පාදනය කරගත යුතු අංශානුකූල වන ජාතික ප්‍රතිපත්ති 20 ක්‌ තරම්ය. ඒ අනුව අමාත්‍ය මණ්‌ඩල ක්‍රියාකාරකම් වන්නේ ද එම ජාතික ප්‍රතිපත්ති කීපය පමණි. එමෙන්ම එම ප්‍රතිපත්ති සුරකිමින් සහ පෝෂණය කරමින් කටයුතු කිරීම සඳහා විෂය භාර අමාත්‍යාංශ ද ඊට සමාන කළ හැකිය.

අරමුණ සහ ඉලක්‌කය(- ජාතියක්‌ ලෙස මුහුණ දීමට සිදුව ඇති අභියෝග ක්‍රමානුකූලව ජය ගැනීමයි. එපරිදි ඕනෑම රටක්‌ රාජ්‍යයක්‌ හමුවේ පිළිවෙළින් නිර්මාණය වන විරැකියාව, ආර්ථිකය, මානව හිමිකම්, සමාජ අරගල සහ බාහිර බලපෑම් යන අභියෝග පහම එලෙසින්ම ජය ගැනීමේ පොදු අභියෝගය අපට තිබෙන බව යථාවබෝධ කර ගැනීම සහ ආරෝහණ ක්‍රමයට ඒවා ජය ගැනීම අරමුණ සහ ඉලක්‌කය කර ගැනීමය.

තවද විරැකියාව 100% ක්‌ම ජය ගැනීමෙන් පසු ආර්ථිකය ජය ගත යුතු වන බවත්, විරැකියාව සහ ආර්ථිකය සාර්ථකව ජය ගැනීමෙන් අනතුරුව මානව හිමිකම් කඩ නොවන බවත්, එම අභියෝග තුන එපිළිවෙළින්ම ජය ගැනීමෙන් පසු සමාජ අරගල නිර්මාණය නොවන බවත්, එනිසාම බාහිර බලවේග එල්ල කරන්නට කිසිවෙකුටත් අවකාශ නොවන බවත්, වෙනත් ප්‍රබල අභියෝග කිසිවක්‌ නැති බවත්, අවබෝධයෙන් යුතුව ක්‍රියාකිරීම, මෙම අභියෝග සහ එලෙසින්ම ජය නොගෙන රටක්‌ රාජ්‍යයක්‌ තුළ යහපාලනය ස්‌ථාපිත කළ නොහැකි වන බව අවබෝධ කර ගැනීම, මෙම අභියෝග එලෙසින්ම ජය ගෙන ඇති රටවල් තුළ ඉතාමත්ම පහසු ලෙස යහපාලනයෙන් යුතු සාර්ථක රාජ්‍යයන් ගොඩනඟා ඇති බව යථාවබෝධ කර ගැනීම, පමණක්‌ නොව මෙම ප්‍රධාන අභියෝග පහ ජය ගැනීම යනු අනෙකුත් විවිධ අර්බුද සහ ගැටලු නිර්මාණය වන්නට බලපාන හේතුව විනාශ වීම නොහොත් එවන් අර්බුද නිර්මාණය නොවන්නට අවශ්‍ය වටපිටාව නිර්මාණය වීම බවද වටහා ගැනීම.

පරිපාලනමය වශයෙන් ව්‍යqහාත්මකව සිදු කළ යුතු වන සංශෝධන ත්‍රිත්වය(-

1. රාජ්‍ය අංශය සහ පෞද්ගලික අංශය යථාවාදීව වෙන්කර ගැනීම.

2. රාජ්‍ය ආදායම සහ වියදම (අය-වැය) යථාවාදීව වෙන්කර ගැනීම.

3. රටේ සංවර්ධනය පිණිස දායක කර ගත යුතු සහ බැහැර කළ යුතු දේ යථාවාදීව වෙන්කර ගැනීම.

ප්‍රායෝගික ක්‍රමවේදය(- 

01. කම්කරුවෝ ද ඇට ලේ මස්‌ නහරවලින් එක සේ නිර්මාණය වූ මනුස්‌සයන් සහ ජාතික නිෂ්පාදනයෙහි කොඳුනාරටිය ලෙසද, ඔවුන්ට ද සමාජයේ සමතැන හිමි විය යුතුය යනුවෙන්ද, සලකා සමස්‌ත කම්කරුවන්ගේ එක්‌ පැයක වැටුප රු. 250/- ක්‌ වන පරිදි, දෛනිකව රු. 2,000/- ක්‌ බවට නිගමනය කිරීම.

02.රජයේ සහ පෞද්ගලික අංශයේ සියලුම පරිපාලකයන්ගේ සහ සේවකයන්ගේ මෙන්ම විශ්‍රාමිකයන්ගේ මාසික මූලික වැටුප රු. 50,000/- ත්, රු. 100,000/- ත් අතර අවමයකට සහ උපරිමයකට යටත් කිරීම.

03. සියලුම කෘෂි නිපැයුම් (වැවිලි, පශු, ධීවර) අස්‌වනු සඳහා හිමි විය යුතු වන වටිනාකම වර්තමානයට සාපේක්‍ෂව දෙගුණයකින් පමණ ඉහළ නංවා (උදා(- වී කි.ග්‍රෑ. 1 ක්‌ රු, 70/- ක්‌, කිරි ලී. 1 ක්‌ රු. 100/- ක්‌ සහ එළවලු, අල, ලූණු කි. 1 ක්‌ රු. 150 ක්‌ පමණ වන පරිදි එම මිල ගණන් ස්‌ථාවර කර දේශීය අවශ්‍යතාවයන්ට අනුව නිෂ්පාදනය ඉලක්‌ක ගත කිරීම).

04. අනෙකුත් සියලුම ස්‌වයං රැකියා සහ කර්මාන්ත නිපැයුම් අස්‌වනු සඳහා ද හිමි විය යුතු වන වටිනාකම් ඉහත සඳහන් පරිදිම 75% පමණ වැඩි කිරීම. (උදා(- කොහු ලණු කැරැල්ලක වර්තමාන මිල රු. 20/- ක්‌ නම්, එය රු. 32.50 ක්‌ බවටද, ඉදලක්‌ රු. 100/- ක්‌ නම් එය 175/- ක්‌ද, තල කැරැල්ලක්‌ රු. 10/- ක්‌ නම් එය රු. 17/50 ක්‌ බවට ද නිගමනය කිරීම) සහ එම නිෂ්පාදන ඉලක්‌ක ගත කිරීම.

05. පෞද්ගලික අංශය විසින් සපයන සේවා ගණයේ වෘත්තීන් සහ ව්‍යාපාර සඳහා වර්තමානයට සාපේක්‍ෂව එම වටිනාකම් ද වැඩි කිරීම. (උදා(- වර්තමාන අවම බස්‌ ගාස්‌තුව රු. 09 ක්‌ නම් එය රු. 12 ක්‌ බවටද, කොණ්‌ඩයක්‌ කපන්නට අය කරන මුදල රු. 100 ක්‌ නම් එය රු. 125 ක්‌ බවට නිගමනය කිරීම).

06. පාරිභෝගික වැඩි විශ්වාසය තහවුරු වන පරිදි සියලුම දේශීය නිපැයුම්, ඉදිකිරීම් සහ සේවාවන් ප්‍රමිතිගත කිරීම මෙන්ම දේශීය සමබර ආහාර වට්‌ටෝරු කීපයක්‌ හඳුන්වා දීම තුළින් දේශීය ආහාර පාන පරිභෝජනයට පෙළඹවීම සහ හුරු කරවීම.

07. සියලුම දේශීය නිපැයුම්වලට ආදේශ වන ආනයනය සාපේක්‍ෂව සීමා කිරීම සහ අදාළ වටිනාකම් හිමි වන අපනයනයට පමණක්‌ පිවිසීම.

08. මහ බැංකු අණපනත්වලට යටත්ව, සියලුම මූල්‍ය ආයතන විසින් ගෙවනු ලබන සහ අය කරනු ලබන පොලී ප්‍රතිශතයන් දශම ගණන් දක්‌වා පහත හෙළීම. (නුදුරු අනාගතයේ ද ශූන්‍ය කරන අරමුණින් යුතුව).

09. රාජ්‍ය ආදායම ආවරණය කරගනු පිණිස 15% ක පාරිභෝගික පිරිවැටුම් (භාණ්‌ඩ සහ සේවා) බද්දක්‌ අඛණ්‌ඩව, අතපසුවකින් සහ මග හැරවීමකින් තොරව අය කිරීම, ඒක පුද්ගල වාර්ෂික ශුද්ධ ආදායමෙන් රු. මිලියනයක්‌ නිදහස්‌ කිරීමෙන් අනතුරුව උපයනු ලබන අතිරික්‌ත ආදායමෙන් අදියර පහක්‌ ඇතුළත 100% ක්‌ දක්‌වා සෘජු (ආදායම්) බදු අය කර ගැනීම සහ මුද්දර, ලියාපදිංචි සහ බලපත්‍ර ගාස්‌තු ද රජයේ ආදායම් අවශ්‍යතාවය පරිදි වැඩියෙන් අය කර ගැනීම.

10. රජය විසින් සපයනු ලබන පූර්ණ සහන සහ නිදහස්‌ සේවාවන්ගෙන් මිදීමටද, ඒවා පූර්ණ පහසුකම් සහිත සේවාවන් ලෙස පවත්වාගෙන යැමටද, පාඩු නොලබන සීමාව දක්‌වා අදාළ ගාස්‌තු අය කිරීම. (ලාභ ලබන ව්‍යාපාර නොවන පරිදි)

11. අත්‍යාවශ්‍ය ආනයනික භාණ්‌ඩ හෝ අමුද්‍රව්‍ය ලෙස සැලකෙන ඉන්ධන, ගෑස්‌, පොහොර යනාදිය සඳහා සහනාධාර ලබා නොදීම සහ රජය සතු විය යුතු සාධාරණ බදු පංගුව අය කර ගැනීම.

12. අපේක්‍ෂිත සංවර්ධන ඉලක්‌ක සපුරා ගන්නා තුරු අධි සුඛෝපභෝගී භාණ්‌ඩ ආනයනය වැළැක්‌වීම සහ සුඛෝපභෝගී නොවන, මෙරට නිෂ්පාදනය නොකෙරෙන, අත්‍යාවශ්‍ය භාණ්‌ඩ සඳහා පමණක්‌ බදු ලිහිල් කිරීම.

13. ප්‍රමුඛතාවය ලබා දිය යුතු කෘෂිකාර්මික සහ කාර්මික මෙන්ම ග්‍රාමීය මට්‌ටමේ සංවර්ධන ඉලක්‌ක සපුරා ගන්නා තුරු, දස අතේ ණය වෙමින් නගරාසන්න වන මහා පරිමාණ ඉදිකිරීම් සහ දීර්ඝ කලකින් ඵල ලබන්නට අපේක්‍ෂිත මෙන්ම අවිනිශ්චිත, දැවැන්ත මෙන්ම සංකීර්ණ ව්‍යාපෘති තාවකාලිකව නතර කිරීම සහ ඒ වෙනුවට කඩිනම්ව යහඵල ලබන්නට හැකි වන සරල ව්‍යාපෘති අදේශ කිරීම.

14. සහල් සලාකය, ජනසවිය, සමෘද්ධිය, පිං පඩි, වැනි සහනාධාර මුලුමනින්ම නතර කිරීම සහ ඒ වෙනුවට 100% ක්‌ම සුබසාධනය සැපයීම.

15. අදාළ අලුත් නීති රීති සම්පාදනය කර ගැනීම සහ පවතින නීති රීති සංශෝධනයකින් පසු බාධාවකින් තොරව ක්‍රියාවට නැංවීම මෙන්ම දැඩි නීති රීති මතම ජනතාව පීඩනයට ලක්‌ නොකිරීම.

මෙම පසොළොස්‌ විධ ක්‍රමවේදය යනු දසරාජ ධර්මය රාජ්‍ය පාලනයට ප්‍රායෝගිකව මුසුකර ගන්නට ඇති ඉතාමත්ම සරල, සෘජු මෙන්ම සමීප නව ක්‍රමවේදයයි. වෙනත් ආකාරයකින් සඳහන් කරනවා නම් සියලු අභියෝග සහ අර්බුද ජයගෙන වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය සහ සමාජවාදය රැක ගන්නා ක්‍රමවේදයයි. ඒ අනුව ගොවියා, කම්කරුවා, ධීවරයා සහ සේවකයා අතර (ශ්‍රම බළකායෙන් 50-60% කගේ පමණ) වැටුප් පරතරය රු. 50,000/- සහ රු. 100,000/- පමණ වන තරමින් අවමයකට සහ උපරිමයකට සීමා කරන්නට ද කාර්මිකයන්, ඉදිකරන්නන්, සේවා සපයන්නන් සහ ව්‍යාපාරිකයන් අතර (ශ්‍රම බළකායෙන් ඉතිරි කොටසෙහි මාසික ආදායම් පරතරය රු. 50,000/- සහ රු. 200,000/-) පමණ වන තරමින් අවමයක සහ උපරිමයක රඳවා ගන්නටත්, එතුළින් වැඩ කරන ජනතාවට ලැබෙන උත්තේජනය හේතුවෙන් විවිධාංගීකරණ නිෂ්පාදන ඵලදායිතාවය ඉලක්‌ක ගත අයුරින් ශක්‌තිමත් කර ගන්නටත්, එමගින් දළ ජාතික ආදායම වැඩිකර ගන්නටත්, ඒක පුද්ගල ආදායම දළ වශයෙන් රු. 1,000,000/- ක (ඇ.ඩො. 10,000) සීමාවකට වර්ධනය කර ගන්නටත්, එය බෙදී යැමේ විෂමතාව රු. 600,000/- සහ රු. 2,500,000/- පමණ වන අවමයකට සහ උපරිමයකට (නාමික වශයෙන් නොව ඇ. ඩොලරයට සාපේක්‍ෂව ඩො. 6,000 - 25,000 පමණ ගෝලීය වටිනාකමක්‌ දක්‌වා) වැඩි කර ගන්නටත් හැකි වනු ඇත.

එමෙන්ම මෙය අපට අලුත් දෙයක්‌ වුවත් කම්කරුවා, ගොවියා, නිෂ්පාදකයා, නිර්මාණකරුවා ජාතියේ කොඳුනාරටිය සේ සලකා මුලින්ම ඔවුන් ආරක්‍ෂා කරමින් සියලු බාධක මැඬ අභියෝග ජයගෙන සංවර්ධනයේ හිනි පෙත්තටම ළඟා වූ, දිගින් දිගටම ධනාත්මක වූ සංවර්ධන වේගයක්‌ ඇත්තා වූ, දශක හයකටත් වැඩි කාලයක්‌ උද්ධමන වේගය සියයට බිංදුවෙහි රඳවා ගන්නට සමත් වූ, ප්‍රජාතන්ත්‍රවාදය සහ සමාජවාදය එලෙසින්ම රැක ගත්තා වූ, ජපානය 50 දශකයේ මුල (සියලු ශක්‌තීන් අතින් අපත් සමඟ කරට කර සිටි අවදියේ) සිටම අනුගමනය කර ඇත්තේ මෙවන් ක්‍රමවේදයක්‌ බව සිහි කල්පනාවෙන් විමසා බලන ඕනෑම කෙනෙකුට දැක ගන්නට හැකිය.

එනිසා ෙත්‍රෙනිකායික මහානායක ස්‌වාමීන් වහන්සේලාගේ ඉල්ලීම පරිදි කැසිනෝ නැති කරන්නට පමණක්‌ නොව නන් අයුරින් ප්‍රශ්න නැති ස්‌වයංපෝෂිත රටක්‌ බවට පත් කරන්නටත් දසරාජ ධර්මය මුසු වූ මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය සහ සමාජවාදය රැකුනා වූ, සාර්ථක රාජ්‍යයක්‌ නිර්මාණය කර ගැනීමටත්, දශක ගණනාවක සිට පීලි පැන ඇති දේශපාලන ගමන් මග පීලි මතට ගන්නටත්, හැකි වන්නේ මෙවන් දේශපාලන න්‍යාය පත්‍රයක්‌ හරහාම වන බව ඉතාමත්ම පැහැදිලිය.

බී. එම්. එස්‌. බාලසූරිය
http://www.divaina.com/2013/12/21/feature.html

0 comments: