Pages

Tuesday, December 10, 2013

අපරාධ වැළැක්‌වීම සහ එහි වගකීම

අනුරාධපුර විහාරපාලුගම ප්‍රදේශයේදී පුද්ගලයන් පස්‌දෙනකු ඉතා ම්ලේච්ඡ ලෙස ඝාතනය කර තිබිණි. පොලිසියේ දක්‍ෂ නිලධාරීන් විසින් එම ඝාතන සිදුකළ ප්‍රධාන සැකකරු ඉතා ඉක්‌මනින් අත්අඩංගුවට ගනු ලැබ ඝාතනය සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුගේ පාපෝච්චාරණයක්‌ද ලබාගෙන ඝාතනය පිළිබඳව සියලු තොරතුරුද හෙළිකරගෙන ඇත.

පසුගිය කාලය පුරාම මෙලෙස ම්ලේච්ඡ ලෙස මිනිස්‌ ඝාතන බොහොමයක්‌ සිදුවී ඇත. කොටි ත්‍රස්‌තවාදීන් විසින් කරනු ලැබූ ආකාරයේම වූ එම ඝාතනවල ම්ලේච්ඡත්වය, ඝාතනයට ලක්‌ වූ අයගේ මානුෂික අයිතිවාසිකම් යටපත් වූ ආකාරය ගැන කිසිම තැකීමක්‌ නොකළ පාලකයන් ඒ සියලු සිදුවීම් කාලයෙන් යටපත් වෙන්නට හැරියා මිසක එවැනි අපරාධ නැවතත් සිදුවීම වැළැක්‌වීම සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක්‌ නොගැනීම ඉතා කනගාටුදායකය. කොටි ත්‍රස්‌තවාදය අවසන් කළායෑයි කොතරම් උදම් ඇනුවත් කොටි ත්‍රස්‌තවාදය අවසන් වූවායෑයි ජයඝෝෂා නැගූ බොහෝ දෙනකු රටේ වෙනත් සාහසිකයන්ගේ ත්‍රස්‌තවාදයට ගොදුරුවී ඝාතනය වන විට පැහැදිලි වන්නේ කොටි ත්‍රස්‌තවාදය අවසන් වූවා යෑයි ඔවුන් විසින් ජය ඝෝෂා නැගීම අර්ථ විරහිත බව නොවන්නේද?

දේශපාලකයන් කොටි ත්‍රස්‌තවාදය අවසන් කරන්නට හැකි උපරිම උත්සාහය දැරුවේ එය තමන්ගේ ජීවිතවලටත් තර්ජනයක්‌ වූ බැවින් යෑයි හැඟේ. ඒ රටේ අනෙකුත් ත්‍රස්‌තවාදී ක්‍රියා මැඬලන්නට ඔවුන් දැඩි ක්‍රියාමාර්ග නොගන්නේ මහජන මුදලින් තමන් ලබාගන්නා ආරක්‍ෂාව කොටි ත්‍රස්‌තවාදීන්ගෙන් හැර අනෙකුත් ත්‍රස්‌තවාදීන්ගෙන් බේරෙන්නට ප්‍රමාණවත් යෑයි සලකන ආත්මාර්ථය නිසා නොවන්නේද? එසේ නම් තමන්ගේ ආරක්‍ෂාව සහතික වී ඇති හෙයින් තමන් බලයට පත්කළ ජනතාවද ආරක්‍ෂා කළ යුතුයෑයි දේශපාලකයන් විසින් නොසිතීම ජනතාවට නොතේරීම ද ඉතා අවාසනාවන්ත තත්ත්වයකි.

මේ රටේ බහුතර ජනතාව සැබෑ මිනිස්‌ බවින් යුක්‌ත වුවත් ම්ලේච්ඡ මෘග ගති පැවැතුම් ඇති ටික දෙනකුගේ ම්ලේච්ඡ, සාහසික ක්‍රියා මැඩ පැවැත්වීමට නම් රටේ නීතිය ඒ සඳහා සාධාරණ ලෙස ක්‍රියාත්මක විය යුතුය. නොමිනිස්‌ ම්ලේච්ඡ අපරාධ සිදුකරන මිනිසුන් සමාජයෙන් ඈත් කිරීම අවහිරවීමට බලපාන නීතියේ අඩුපාඩු, දුර්වලතා ඉවත්කරමින්. නීතිය සංශෝධනය කර අපරාධ කරන අයට නැවත නැවත අපරාධ කිරීමට ඇති ඉඩකඩ ඇහිරීම සඳහා කටයුතු කළ යුතුය. පොලිසියේ අති දක්‍ෂතාව මත අත්අඩංගුවට ගන්නා අපරාධකරුවන් නීතියේ දුර්වලතා හේතුවෙන් නැවත සමාජගත වී නැවත නැවතත් අපරාධ සිදුකර ඇති බව පසුගිය කාලයේ සිදුව තිබූ බොහෝ අපරාධවලින් හෙළිවී තිබිණ.

පසුගියදා අනුරාධපුරයේදී සිදුවූ මේ ම්ලේච්ඡ මිනිස්‌ ඝාතනයෙන් පසුවවත් රටේ පාලකයන් මෙවැනි අපරාධ යළි සිදුනොවීමට හා නොබියව මෙවැනි අපරාධ කිරීමට පෙළඹෙන වාතාවරණය වෙනස්‌ කිරීමට නොපමාව කටයුතු කළ යුතුය. මීට වසර ගණනකට පෙර මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය මහතා ඝාතනය කළ පසු ඒ ඝාතනය නිසා මහජනතාවගේත් විශේෂයෙන් නීතිඥවරුන්ගේ නොසන්සුන්තාව දැඩි විරෝධය මඟහැරවීම සඳහා එවකට රජය ප්‍රකාශ කළේ "අද මධ්‍යම රාත්‍රියේ සිට මරණ දඬුවම ක්‍රියාත්මක වේ" යනුවෙන්ය. එය කොතරම් රැවටිල්ලක්‌ දැයි හා තමන් රැවටුණේ කෙලෙසකදැයි ජනතාවට දැන්වත් තේරුම් ගොස්‌ තිබිය යුතුය. ම්ලේච්ඡ, නොමිනිස්‌ අපරාධ සිදුකර පොලිසියේ දක්‍ෂතා නිසා අත්අඩංගුවට ගන්නා සැකකරුවන් සම්බන්ධයෙන් ඉතා කෙටි කාලයකදී විනිශ්චයක්‌ ලබාදිය යුතුවාක්‌ මෙන්ම කුමන පදනමක්‌ මත හෝ ඔවුන්ට යළි සමාජගත වන්නට ඉඩ නොතැබිය යුතුය. ඒ එම අපරාධකරුවන් මිනිසුන් නොව මිනිස්‌ වෙසින් සිටින මෘගයන් ලෙස සැලකිල්ලට ගනිමිනි.

පාර්ලිමේන්තුවේ 2/3 බලය අහිංසක සිවිල් ජනතාවගේ ආරක්‍ෂාව සඳහාත් යොදාගත හැක්‌කේ අපරාධකරුවන්ට නිසි දඬුවම් ලබා දීමෙනි. විශේෂයෙන් ම්ලේච්ඡ ආකාරයේ අපරාධ සිදුකළවුන්ට යළි යළිත් අපරාධ සිදුකිරීමට ඉඩ නොසැලසෙන පරිදි ක්‍රියා කිරීමට අවශ්‍ය පරිදි නීති සංශෝධන හා නීතිය ක්‍රියාත්මක කිරීමේ ඉක්‌මන් මාර්ග ඇති කළ යුතුය. 

ම්ලේච්ඡ අපරාධ කිරීමට නොබියව පෙළඹෙන වාතාවරණය වෙනස්‌කර එවැනි අපරාධ කිරීමට බියක්‌ ඇතිවන වාතාවරණයක්‌ සකස්‌ කිරීම පාලකයන්ගේ යුතුකම මෙන්ම වගකීමද වේ. එසේ නොමැතිව කොටි ත්‍රස්‌තවාදය පරාජය කිරීම ප්‍රදර්ශනය කරමින් රටේ අනෙකුත් අපරාධවලට ඉඩ සලසා තිබීම බරපතළ අපරාධයක්‌ බව හා එම අපරාධ සඳහා තමන්ද වගකිවයුතු වන බව ඔවුන් තේරුම් ගත යුතුය. 

රටේ පූජ්‍ය පක්‍ෂය, සිවිල් සංවිධානවල වගකීම වන්නේද මෙවැනි අපරාධ වැළැක්‌වීමට සුදුසු ක්‍රියාමාර්ග නොපමාව ගැනීම සඳහා පාලකයන්ට උපදෙස්‌ දීමට හා දැඩි බලපෑම් කිරීමට කටයුතු කිරීමයි.

රත්න රාජපක්‍ෂ
http://www.divaina.com/2013/12/10/feature02.html

0 comments: