Pages

Tuesday, December 10, 2013

කිරිපිටි සමාගම්වල අලුත්ම රැවටිල්ල | මිල ඉහල යන අතරේ ලක්‍ෂ අසු හතරක කිරිපිටි හංගයි

බහුජාතික කිරි පිටි වෙළෙන්දන් හැමදාමත් කළේ අපිව රැවටීමය. කාලයක්‌ කිරිපිට වීදුරුවකින් තොරව අපේ දරුවන් නොවැඩෙන බව කීවේය, දවසට පිටි කිරි වීදුරු දෙකක්‌ පානය කළ යුතු බවට සමාජ මතයක්‌ ගොඩනැඟීමට වෙහෙසුණෝය. කිරි වල මේදය ඉවත්කර රොඩ්ඩ පමණක්‌ පැකට්‌ කර අපට එවන බවට විද්වතුන් හෙළිකරන විට කිරිපිටි සමාගම් පුන පුනා කීවේ කිරි පැකට්‌ටුව විටමින් සපිරි පෝෂ්‍යදායි පානය කියාය. කිරිපිටි වල ඩී.සී.ඩී. අඩංගු බවට පැන නැඟුන අර්බුදයේදී පරීක්‍ෂණවලින් එය තහවුරුව තිබියදී පවා වෙළෙඳ දැන්වීම් මගින් ජනතාව ගොනාට ඇන්දවීමට දත කෑවේය.

ඒ සියල්ල යටපත් වී එතරම් කාලයක්‌ නොවේ. නමුත් මේ බහුජාතික කිරිපිටි සමාගම් දැන් අලුත්ම සූදුවකට අතගසා තිබෙන්නේ ජනතාවගේ බොක්‌කේ තිබෙන දේද සූරා කෑමේ ෙච්තනාවෙන්දැයි සිතේ. නිතරම දැයේ දුවා දරුවන්ගෙ හෙට දවස ගැන කිඹුල් කඳුළු හෙලන මේ සේරිවාණිජලාගේ ඇතුළාන්තය නිර්වස්‌ත්‍ර කළ එය හෙළි වන්නේ පසුගිය දිනවල පාරිභෝගික අධිකාරිය කළ වැටලීම් කිහිපයකිනි.

මේ වන විට වෙළෙඳ පොළේ ළදරු කිරිපිටි හිඟයක්‌ තිබෙන බව මේ (ගොන්) කිරි රොඩ්ඩ දරුවන්ට පොවන අපේ දෙමාපියන්ට රහසක්‌ නොවේ. ජනමාධ්‍ය වලින්ද ඒ පිළිබඳ පුවත් පසුගිය දිනවල නිතර පළ විණි. ඒ ගැන පසු විපරම් කළ ඇතැම් ප්‍රවෘත්ති වාර්තා මගින් කියවුණේ ඩී.සී.ඩී. පරීක්‍ෂණය සඳහා කිරිපිටි තොග වරායේ සිරවී තිබීම මේ කිරිපිටි හිඟය නිර්මාණයට හේතුවී ඇති බවයි.

කිරිපිටි සමාගම් එවැනි මතයක්‌ ගොඩනඟමින් සිටියදී අනපේක්‍ෂිත ලෙස පාරිභෝගික කටයුතු අධිකාරියේ වැටලීම් ඒකකය වැලිසර පිහිටි කිරිපිටි ගබඩාවකට කඩා පනින්නේ නන්නාඳුනන දුරකථන ඇමතුමකින් ලැබුණු ඔත්තුවක්‌ හේතුවෙනි. එම නිලධාරීන් අදාළ කිරිපිටි සමාගම් පරිශ්‍රයට යන විටත් එහි කිරිපිටි ඇසුරුම් අංශය පැවතිව ඇත්තේ වසා දමාය. නමුත් ඒ ඇසුරුම් කිරීමට කිරිපිටි තොග නොමැති නිසා නොවේ. තවදුරටත් ගබඩාව පරීක්‍ෂා කර එම නිලධාරීන් දකින්නේ ආනයනය කළ අයුරින්ම පවතින කිලෝ ග්රෑම් 25 ක බරකින් යුතු කිරිපිටි බෑග් තොගයකි. වෙළෙඳපොළට නිකුත් නොකර ඉතා රහසේ සඟවා ඇති එම කිරිපිටි තොගයේ වටිනාකම රුපියල් ලක්‍ෂ 84 ක්‌ වන අතර එය ඇසුරුම් නොකළ කිරිපිටි බෑග් 480 ක්‌ බව පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් අනාවරණය කර ගනී.

මේ සිදුවීමෙන් දින කිහිපයකට පසු යළිත් පාරිභෝගික කටයුතු අධිකාරියේ වැටලීම් ඒකකයට දුරකථන ඇමැතුමක්‌ ලැබුණේ සීදුව ප්‍රදේශයෙනි. රටේ ප්‍රසිද්ධ සොසේජස්‌ සමාගමකට අයත් ගබඩාවක කිරිපිටි තොග විශාල ප්‍රමාණයක්‌ සඟවා තිබෙන බව එම දුරකථන ඇමතුමෙන් කියවිණි. ඒ තොරතුර ලද විගස වැටලීම් ඒකකයේ නිලධාරීන් හය දෙනෙක්‌ වහා සීදුවට ඉගිල ගියේ ඉන් දින දෙක තුනකට පෙර සිදුවූ වැලිසර අද්දැකීමද සිහියට ගනිමිනි.

වැලිසර වැටලීමත් එක්‌ක අපි වෙනදාට වඩා විමසිල්ලෙන් හිටියෙ. මේ කියන තැනත් හොරයක්‌ තියෙනවා කියල අපි එතනට යනකොටම සැක හිතුණා. මොකද මේ කිරිපිටි තොගය සඟවල තිබ්බෙ ඒ කිරිපිටි සමාගමේ ගබඩාවෙ නොවෙයි. වෙනත් සමාගමක ගබඩාවක. ඒක මහා පරිමාණයෙන් ගබඩා කටයුතු සිදුවන තැනක්‌. අපි ඇතුළට ගිහින් පරීක්‍ෂණ කරද්දියි ඒක තේරුණේ. මැෂින් වලින් ගබඩා කටයුතු සිදුවෙන්නෙ. එතන උඩ ඉස්‌ටෝරුවේ ග්රෑම් 400 කිරිපිටි පැකට්‌ දෙලක්‍ෂ පනස්‌ හත්දහස්‌ හයසිය පනස්‌ අටක්‌ (257658) ගබඩා කරල තිබුණා. ඒවායේ වටිනාකම රුපියල් ලක්‍ෂ 800 ක්‌. සති දෙකකින් එක කිරිපිටි පැකට්‌ටුවක්‌වත් වෙළෙඳපොළට නිකුත් කරල නෑ කියලා අපි එතන තිබුණ බිල්පත් පරීක්‍ෂා කිරීමේදී අසුවුණා. අපි මේ ගබඩාව භාරව හිටිය අයගෙන් ප්‍රශ්න කළාම ඔවුන් කිව්වෙ අපිට අදාළ සමාගමෙන් ඊමේල් එකක්‌ ආවොත් පමණයි මෙතනින් කිරිපිටි පැකට්‌ නිකුත් කරන්නෙ කියල. දැන් වෙළෙඳපොළේ කිරිපිටි වල ලොකු හිඟයක්‌ තියෙනවා. ඒ අතරේ කිරිපිටි සමාගම් කලෙක ඉඳන් කිරිපිටිවල මිල රුපියල් 250 කින් වැඩිකරන්න ඉල්ලනවා. ලෝක වෙළෙඳපොළේ කිරිපිටි මිල වැඩිවීම නිසා නුදුරේදීම කිරිපිටි මිල රුපියල් 250 කින්ම නොවුනත් කීයකින් හරි වැඩිවෙන්න පුළුවන්.

එසේ හෙළිදරව් කළේ සීදූව කිරිපිටි ගබඩාව වැටලීමට එක්‌වූ නිලධාරියෙක්‌ය. කාරණය වටහා ගැනීමට මීට වඩා කරුණු කාරණා අවශ්‍ය නැත. වෙළෙඳපොළ කිරිපිටි හිඟයක්‌ පැවතියදී අදාළ සමාගම් පවතින කිරිපිටි තොග සඟවා තබන්නේය. ඒ අතර කිරිපිටි මිල වැඩි කිරීමට කියා පාරිභෝගික කටයුතු අධිකාරිය සමඟ කේවල් කරන්නේය. ඔය අතරේද අනේ අපේ දරුවන්ගේ පෝෂණය කියා කිඹුල් කඳුළුත් හෙලන්නේය. මිල වැඩි කළ විට සැඟවුණු කිරිපිටි අලුත් මිලෙන් එළියට එන්නේය. 

එය හරියට අස්‌වනු නෙළන කාලයේ මහා පරිමාණ වී මෝල් හිමියන් ගේ ක්‍රියා කලාපයට සමානය. ගොවියා අස්‌වනු නෙලන කාලයේ සහල් මිල අඩු කිරීමට මේ මෝල් හිමියො තමන් සතු සහල් තොග වෙළෙඳ පොළට නිකුත් කරන්නේය. අනතුරුව අඩු සහල් මිල පවතිද්දී ගොවියාගෙන් වී මිලදී ගෙන ගබඩා කොට තබා වෙළෙඳපොළ තුළ සහල් හිඟයක්‌ මවා මිල ඉහළ ගිය විට නැවත වෙළෙඳපොළට සහල් නිකුත් කරන්නේ සාරධර්ම තුට්‌ටුවකට මායිම් නොකරමින්ය.

ලාභය පමණක්‌ හිතන වෙළෙඳ ක්‍රමය තුළ ජාතික විජාතිකකම් නැත. රැවටිල්ල කාටත් පොදුය. සහල් කෙසේ වෙතත් කිරිපිටි වලදී නම් හැමදාමත් කෙරුණේ ඔය ටිකය. (ගොන්) කිරි බොන උදවියට නම් මෙය කවදාවත් වටහා ගත නොහැකිය.

තිස්‌ස ගුණතිලක
http://www.divaina.com/2013/12/08/feature22.html

0 comments: