Pages

Monday, December 16, 2013

වැටත් නියරත් ගොයම් කානම්! අල්ලස්‌ කොමිසම ඉතිහාසයේ ලොකුම කළු පැල්ලම??? සභාපතිටම චෝදනා...

<--- ශ්‍රේෂ්ඨාධිකරණයේ සිට අල්ලස්‌ කොමිසමට ගිය විනිසුරු බාල පටබැඳි

ජාත්‍යන්තර අල්ලස්‌ හා දූෂණ විරෝධී දිනය යෙදී තිබුණේ පසුගිය සඳුදාටය. සෑම වසරකම දෙසැම්බර් මස නව වැනිදාට, අල්ලස්‌, දූෂණ විරෝධී දිනය ලෙස නම්කර තිබෙන්නේ අල්ලස හා දූෂණය විසින් සමාජයට කර තිබෙන හා කරමින් තිබෙන හානියේ බරපතළභාවය නිසාමය. දූෂණය හා අල්ලස විසින් සහස්‍ර සංවර්ධන ඉලක්‌ක වෙත බාධා කරමින් තිබෙන බව, මෙවර අල්ලස්‌ හා දූෂණ විරෝධී දිනය වෙනුවෙන් පණිවුඩයක්‌ නිකුත් කරමින් එ. ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් සඳහන් කර තිබේ.

අල්ලස්‌ විරෝධී දිනය සමඟ එළඹී තිබෙන මෙම සතියේ ශ්‍රී ලංකාවේ අල්ලස්‌ හා දූෂණ ගැන කතා කිරීම අපේ පැත්තෙන් විය යුතු කාර්යයකි.

1994 දෙසැම්බර් මස 16 වැනිදා දැනට පවතින ක්‍රමයේ, අල්ලස්‌ හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවක්‌ මුලින්ම ආරම්භ කෙරිණි. එය සාමාජිකයන් තිදෙනකුගෙන් සමන්විත වන අතර, ඔවුන්ගෙන් දෙදෙනකු විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිශ්චයකාරවරයන් විය යුතුය. අනෙක්‌ සාමාජිකයා අපරාධ විමර්ශන හා නීතිය ක්‍රියාත්මක කිරීමට අදාළව පුළුල් පළපුරුද්දක්‌ ඇති අයෙකු විය යුතුයá යනුවෙන් අල්ලස්‌ හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් පනතේ සඳහන් වේ.

වත්මන් අල්ලස්‌ හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ සභාපතිවරයා බවට පත්වන්නේ විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජගත් බාලපටබැඳිය.

ශ්‍රී ලංකාව තුළ සිදුවන අල්ලස්‌ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ බලය පැවරී ඇත්තේ අල්ලස්‌ හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමටය. දැන් පැනනැඟී ඇත්තේ ඊට වෙනස්‌ තත්ත්වයකි. අල්ලස්‌ සම්බන්ධයෙන් දැන් චෝදනා ලබා ඇත්තේ කොමිසමේ සභාපතිවරයාය. ජගත් බාලපටබැදිය.

මේ කතාවේ ආරම්භය සනිටුහන් වන්නේ පසුගිය දා පාර්ලිමේන්තුවේදී නීතිඥ සුජීව සේනසිංහ කරන ලද ප්‍රකාශයකිනි.

"බොරු පැමිණිල්ලක්‌ දමලා Commission to Investigate Allegations of Bribery or Corruption   එකෙන් කනගසබෙයි රාජන් කියන මහත්තයාව ඇල්ලුවා. ඒ ඇල්ලුවේ කාර්වල කොටස්‌ ගේන මනුස්‌සයෙක්‌. එතුමාගේ හරි නම මොකක්‌ද? හඳුන් හර්ෂ ප්‍රභාත් ද සිල්වා Identity Card එකේ තිබෙන නම මොකක්‌ද? ජේ. එම්. කරුණාරත්න. පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, 2013, ජුනි මාසයේ 17 වැනිදා මෙන්න මේ සාධක ඉදිරිපත් කළා. එතුමා Commission to Investigate Allegations of Bribery or Corruption එකෙන් අත්අඩංගුවට ගත්තා. මොකක්‌ද මේ කොමසාරිස්‌තුමාට ලැබුණු පගාව.? මේ පැමිණිල්ල කරපු පුද්ගලයා හදන වාහනයේ වර්ගය මොකක්‌ද? 'Toyota  Carina' කියන වාහනයට වෙන නමක්‌ ගහගෙන. උසාවියෙන් තීන්දුවක්‌ ලැබුණා. උසාවියෙන් තීන්දුව දෙනකොට මෙම කොමසාරිස්‌තුමා ඒ විනිසුරු මඬුල්ලේ හිටියා. එතුමා තමයි කාර් 140 ක්‌ නිදහස්‌ කළේ. ඒ කාර් එකට ලබාදෙන නම තමයි Emperor. ජපානයෙන් කෑලි ගෙනැල්ලා මේවා හදනවා. මේ නව නිර්මාණයක්‌ නොවෙයි. Emperor කියලා කියන්නේ. ඒ කාර් එකේ නොම්මරය කේ ජී/9321, Sri Lanka Customs එක සහ RMV එකෙන් 2013.06.05 වැනිදා මේක පරීක්‍ෂා කළා. මේ පැමිණිල්ල කළ පුද්ගලයාගේ වාහනය කොමසාරිස්‌තුමා පාවිච්චි කරන්නේ. එතුමා තමයි මේ රටේ අල්ලස්‌ පිළිබඳව විභාග කරන්නේ. මේ වාගේ කාර්ය භාරයක්‌ කරන පුද්ගලයෙක්‌ කොහොමද අල්ලස්‌ විභාග කරන්නේ? පරීක්‍ෂා කර බලන්න, එතුමාගේ බැංකු ගිණුමක්‌ මෙහේ තිබෙනවා. නමුත් සල්ලි තිබුණේ නැහැ. මේ වාහනය එතුමාට ලැබෙනවා. මෙය එතුමාගේ නමට ලියාපදිංචිවෙලා තිබෙනවා. ඒ වාහනයේ අයිතිකාරයා අර පැමිණිලි කළ පුද්ගලයායි. ඔහු අහිංසක කෙනෙක්‌. කනගසබෙයි රාජන් මහත්මයා. අප දිගින් දිගටම මේ පිළිබඳව ජනාධිපතිතුමා දැනුවත් කළා. ජනාධිපතිතුමා එතුමාට සාධාරණය ඉටුකරන්න යම්කිසි විමසීමක්‌ කර තිබුණා.

ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, මෙතුමා අහිංසක මනුස්‌සයෙක්‌. මේ රටේ කෝටි ගණන් හොරකම් කරනවා, කෝටි ගණන් කොමිස්‌ ගහනවා. මේවාට තරග කිරීමක්‌ ලබා දෙන්නේ නැහැ. චීනයේ එක කොම්පැනියකට පමණක්‌ ලබා දෙනවා. ගරු ඇමැතිතුමනි, දෙන්නයි තුන් දෙනයි මේ "බිස්‌නස්‌" එක කරන්නේ. මිලියන 3,500 ක බිස්‌නස්‌. නිකම් නොවෙයි. මේකේ සියයට 20 ක්‌ කොමිස්‌ මුදල් වශයෙන් දමලා. බිලියන 600 ක විතර වත්කමක්‌ අද මේ කට්‌ටිය සොයා ගෙන තිබෙනවා. මේ පුද්ගලයන් සම්බන්ධයෙන් අල්ලස්‌ හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් කිසිම පරීක්‍ෂණයක්‌ කරන්නේ නැහැ. එතුමන්ලා පරීක්‍ෂණ කරන්නේ පොලිසියේ අහිංසක නිලධාරි මහත්මයෙක්‌, එහෙම නැත්නම් රජයේ අපේ අහිංසක ලිපිකරුවෙක්‌ ගැන තමයි. මෙන්න මේ ආකාරයෙන් කොමසාරිස්‌තුමාට අද වෙනකොට විශාල චෝදනා තිබෙනවා."

මේ ප්‍රකාශයෙන් චෝදනාවට ලක්‌වන්නේ සුළුපටු චරිතයක්‌ නොවේ. අල්ලස්‌ හෝ දූෂණ චෝදනා විමර්ශන කමිටුවේ සභාපතිවරයාය. ඔහු හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකි. චෝදනාව එල්ලවන්නේ ඔහු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකුව සිටි කාලයේ පටන් අල්ලස්‌ කොමිසමේ සභාපති කාලය දක්‌වාම දිව යන්නක්‌ ලෙසය.

වෙහිකල්ස්‌ ලංකා සමාගම සිය වෙළෙඳාම ලෙස කරගෙන යන්නේ එකලස්‌ කළ හැකි ආකාරයෙන් වාහන ගෙන්වීමයි. එහි හිමිකරු හර්ෂ ප්‍රභාත් ද සිල්වාය. 2006 වසරේදී මෙසේ ගෙන්වන ලද වාහන එකසිය හතළිස්‌පහක්‌ නිදහස්‌ කිරීම නවත්වමින් පරීක්‍ෂණ කිරීමට රේගුව තීරණය කරන ලදී. රේගුව විසින් තමා ගෙන්වන ලද වාහන නවතා තබා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්‌ ගොනු කිරීමට ප්‍රභාත් තීරණය කළේය. 2008 වසරේදී මේ සම්බන්ධයෙන් වන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලැබුණි. එහිදී විනිසුරු මඬුල්ලේ ප්‍රධානියා ලෙස කටයුතු කරන ලද්දේ ජගත් බාලපටබැඳිය. මෙම නඩුව අට වරක්‌ විමසීමට භාජන කර තිබූ අතර බාලපටබැඳි විනිසුරුවරයා එම අවස්‌ථා අටේම සභාපති විනිසුරු ලෙස අසුන්ගෙන සිටින ලදී. වාහන එකසිය හතළිස්‌ පහම නිදහස්‌ කිරීම සඳහා අධිකරණය නියෝග කරන ලද අතර ඒවා ටොයෝටා වර්ගයට අයත් වුණත් එම්පර් වෙළෙඳ නාමය යටතේ, එම වාහන අලෙවි කරන ලෙස අධිකරණය විසින් නියෝග නිකුත් කළේය.

නිදහස්‌ කරන ලද වාහන එම්පර් වෙළෙඳ නාමය යටතේ අලෙවි කිරීම වෙනුවට ටොයෝටා නාමය යටතේම අලෙවි කළ අතර එම වාහන ගොනුවෙන් එකක්‌ විනිසුරු බාලපටබැඳි සිය වාහනය ලෙස භාවිතා කළේය. KG 9321 දරණ මෝටර් රථය (චැසි අංකය AT 211 - 6018287) 2013 වසරේ ජුනි මස දක්‌වාම පාවිච්චි කරන ලද්දේ බාලපටබැඳි විසිනි. වාහන නිදහස්‌ කිරීම සඳහා නියෝග ලබාදුන් විනිසුරුවරයා එම වාහන අතරින් එකක්‌ පාවිච්චි කරන ලද්දේ අහම්බෙන්ද? 

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්‌ දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව (2013 ජුනි 27 ලා පැහැති) KG 9321 දරණ වාහනයේ හිමිකරු ලෙස සඳහන්ව ඇත්තේ ධම්මික ජගත් ද සිල්වා බාලපටබැඳිය. නමුත් එම වාහනයේ බලපත්‍රයේ දී හිමිකරු ලෙස සඳහන්ව ඇත්තේ, සම්පත් මුදියන්සේලාගේ සුජීව නවෝද්‍ය වැලිගල නම් අයෙකුගේ නමය. එහි රක්‌ෂණාවරණය ලබා ගෙන ඇත්තේද සුජීව නවෝද්‍ය නමටය. අයිතිකරු ජගත් බාලපටබැඳි වෙද්දී, අනෙකුත් ලියකියවිලිවල සුජීව නවෝද්‍ය හිමිකරු ලෙස සඳහන් වන්නේ ඇයි?

පුහුල් හොරකම් කළේ නම් කරේ අළු තියෙනවා.... යෑයි කියූ ගමන් එක්‌ අයෙක්‌ කර පිසදා ගත්තා සේ මේ කතාව හෙළිවේගෙන එනවිටම අදාළ වාහනය ජුනි මාසයේදී වෙනත් අයෙකුට බාලපටබැඳි විනිසුරුවරයා විසින් විකුණා දමන ලදී. මෙහි දෙවන කතාවක්‌ද තිබේ. මෙවැනි එකලස්‌ කරන ලද වාහන රේගුවෙන් නිරන්තරයෙන්ම පරීක්‍ෂා කරන අතර, ඒවා සම්බන්ධයෙන් දඩ නියම කරන ලද අවස්‌ථාද තිබේ. මේ නිසා වාහන ගෙන්වන ප්‍රභාත් හා රේගු නිලධාරීන් අතර නිරන්තරයෙන්ම ගැටුම් ඇතිවෙමින් තිබුණි. රේගු නිලධාරියෙක්‌ වන රාජන් කනගසබේ, රේගුව තුළදීම ප්‍රභාත්ගෙන් රු. ලක්‍ෂ දෙකක අල්ලස්‌ මුදලක්‌ ලබා ගත්තා යෑයි අල්ලස්‌ නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්වේ. මේ වන විට අල්ලස්‌ හෝ දූෂණ කොමිසමේ සභාපති පුටුවට බාලපටබැඳි පත්වී සිටියි. ප්‍රභාත් හා බාලපටබැඳි අතර තිබූ මිත්‍රත්වයක්‌ හේතුවෙන් මෙසේ අල්ලස්‌ විමර්ශන කොමිසම විසින් කනගසමේ සිද්ධිය සඳහා මැදිහත් වූවාද යන සැකය මතුවී තිබේ.

අල්ලස්‌ හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම සාමාන්‍ය ව්‍යවහාරයේදී හඳුන්වනු ලබන්නේ, අල්ලස්‌ කොමිසම නමිනි. මෙම චෝදනාව සත්‍ය නම් ඒ නම කොමිසමට වඩාත් ගැලපේ යෑයි කිව හැකිය.

මනෝඡ් අබයදීර
http://www.divaina.com/2013/12/15/feature16.html

0 comments: