Pages

Wednesday, December 25, 2013

ජාතික ගීයේ අභිමානය සුරකිව්!

ශ්‍රී ලංකාවේ ජීවත්වන සියලු ජන කොටස්‌ විසින්ම ජාති, ආගම්, භාෂා, කුල යනාදී කිසිදු භේදයකින් තොරව ගෞරව කළ යුතු පොදු ජාතික උරුමයන් ලෙස හැඳින්විය යුතු යමක්‌ වේ නම් ඒ ජාතික කොඩිය හා ජාතික ගීය බව අපි නිර්භයවම ප්‍රකාශ කරන්නෙමු. අප පමණක්‌ නොව ලෝකයේ කවර රටක්‌ වුවද ස්‌වකීය ජාතික කොඩියට හා ජාතික ගීයට දක්‌වන්නේ ඉමහත් ගෞරවයකි. මේ නිසාම ජාතික කොඩිය හා ජාතික ගීය ඕනෑම රටක ජීවත්වන සියලුම ජාතීන්ගේ භාෂා, ආගම්, සංස්‌කෘතීන් පමණක්‌ නොව දුප්පත් පොහොසත් වැනි සීමාවන් ද නොතකා රටම එක්‌ කරනු ලබන පොදු සංකේත ලෙස පිළිගනු ලැබේ. ඒ පිළිබඳව නොතකා හෝ ඊට උඩින් පැන යැමට හෝ කිසිවකුට අයිතියක්‌ නැති බව ද අපි හඟිමු. එහෙත් පසුගිය 17 වැනි දා මේ රටේ උත්තරීතර ආයතනය වන පාර්ලිමේන්තුව තුළින් ඇසුණේ කුමක්‌ද?

ශ්‍රී ලංකාවේ ජාතික ගීය ද්‍රවිඩ භාෂාවෙන් ගායනා කිරීමට ඉඩ නොදෙන්නේ නම් උතුරට ජාතික ගීයක්‌ අනවශ්‍ය බව ද ශ්‍රී ලංකාව හින්දු රටක්‌ බැවින් හින්දු ජනයාගේ අයිතිවාසිකම් ආරක්‌ෂා කළ යුතු බව ද පාර්ලිමේන්තු සභා ගර්භය තුළදීම ප්‍රකාශ කරන ලද්දේ ද්‍රවිඩ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් දෙදෙනකු විසිනි. මේ දෙදෙනා එස්‌. යෝගේෂ්වරන් හා පී. අරියනේත්‍රන් යන මන්ත්‍රීවරුය. යෝගේෂ්වරන් මන්ත්‍රීවරයාගේ හින්දු කතාවට ඇමැති මර්වින් සිල්වා මහතා විසින් පිළිතුරක්‌ දෙන ලද බව වාර්තා විය. එහෙත් ජාතික ගීය ගැන අරියනේත්‍රන් මන්ත්‍රීවරයා විසින් කරන ලද ප්‍රකාශයට පිළිතුරක්‌ දී තිබේද?

අරියනේත්‍රන් ගරු මන්ත්‍රීවරයා එබඳු ප්‍රකාශයක්‌ කරන්නේ උතුරේ අයිතිය පිළිබඳ හොර ඔප්පුවක්‌ ලියා ගෙනවත් දැයි අපි නොදනිමු. එහෙත් එය දුෂ්ට, නිහීන, ජාතිද්‍රෝහී ප්‍රකාශයක්‌ පමණක්‌ නොව අනාගතයේදී පුපුරුවා හැරීමට අපේක්‌ෂා කරන ගිනි බෝම්බයක්‌දැයි අප තුළ බලවත් සැකයක්‌ මතුවේ.

ද්‍රවිඩ සන්ධානය තුළ තවමත් ඊළාම්වාදයේ හා බෙදුම්වාදයේ විෂබීජ තිබෙන බවට සමහරු චෝදනා නඟති. මෙබඳු ඊනියා ප්‍රකාශවලින් සිදු වන්නේද යළිත් දෙමළ බෙදුම්වාදයේ ගිනි පුපුරු මතුකරලීමක්‌ නොවේද? ඇතැම් විටෙක මේ කටහඬ දෙමළ ඩයස්‌ පෝරාවත් එය පසුපස සිටින ඊනියා ඊළාම්වාදී විකටයන්ගේත් එකක්‌ද විය හැකිය. එහෙත් එමගින් සිදුවිය හැකි ව්‍යසනය ඉතා බරපතල බව අපි කියන්නෙමු.

දෙමළ සන්ධානයේ නිත්‍ය ගැලවුම්කරු හා විශ්වාසවන්තයා බවට පත්ව සිටින ඉන්දියාවේ ජාතික ගීය ගැන මේ ගරු මන්ත්‍රීවරු දනිත්ද? අප දන්නා පරිදි භාෂාවන් ගණනාවක්‌ භාවිත කරනු ලබන ඉන්දියාවේ ඇත්තේද හින්දි භාෂාවෙන් පමණක්‌ ගායනා කෙරෙන "ජන ගන මන" නමැති ගීතයයි. ඒ හැර වෙනත් කිසිම භාෂාවකින් ඉන්දියාවේ ජාතික ගීය ගැයීමක්‌ සිදු නොවේ. දේශපාලන වල්මත් භාවයේ කරවටක්‌ ගිලී සිටින තමිල්නාඩු ප්‍රාන්තයේවත් ඉන්දියානු ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කෙරෙන්නේ ද නැත. එහිදීත් ජාතික ගීය ගැයෙන්නේ හින්දි භාෂාවෙන් ම පමණි.

ද්‍රවිඩ ජාතික සන්ධානයේ මේ වෑයම කුමක්‌ සඳහාද? දෙමළ ජනතාවට ජාතිවාදය එන්නත් කර ඔවුන් උසිගන්වා යළිත් මේ රට ලේ විලක්‌ බවට පත්කිරීමට ඔවුහු ක්‍රියාකරත්ද? උතුරට වෙනම ජාතික ගීයක්‌ ඉල්ලා සිටීම අප තේරුම් ගත යුත්තේ කෙසේද?

ඉන්දියාවේම විශිෂ්ට නායකයකු වූ ජවහර්ලාල් නේරුතුමා කළ ප්‍රකාශයක්‌ මෙහිලා දක්‌වමු.

"නිදහස තර්ජනයට ලක්‌වන අවස්‌ථාවන්හිදී හෝ යුක්‌තියට බාධා ඇතිවන විටකදී හෝ ආක්‍රමණකාරිත්වය ඉදිරිපිට හෝ අපට මධ්‍යස්‌ථ වීමට හෝ හැකිවන්නාක්‌ මෙන්ම අපි මධ්‍යස්‌ථ නොවන්නෙමු.

මේ ගරු මන්ත්‍රීතුමන් විසින් අපේ ජාතික ගීයට කරන ලද නිගරුව ඉතා පැහැදිලිවම ජාතික නිදහසට හා ජාතික සමගියට එල්ල කරන ලද යකුළු ප්‍රහාරයක්‌ බව මේ අනුව අපට පෙනී යයි. සැබැවින්ම එය උතුරේ පමණක්‌ නොව මුළු රටේම නිදහස බරපතල අනතුරක්‌ වෙත තල්ලු කරන සාහසික ප්‍රකාශයක්‌ නොවේද?

දෙමළ ඊළාම්වාදයේ අන්ධකාරය විසින් ගිලගන්නා ලද රටක අමිහිරි අත්දැකීම්වලින් පීඩාවට පත්වූ ජන මනසට ඇතුල් කළ යුත්තේ මේ වර්ගයේ දුෂ්ට හා ජාතිවාදී අදහස්‌ නොවන බව අපි ඉඳුරා කියමු. රටක නිදහස යනු මනසට හා හදවතට දැනෙන අපූර්ව වින්දනයකි. එය දේශපාලන විකටයන්ගේ වෛරයෙන් හා අගතියෙන් ඔද්දල් වූ මනසට උචිත පරිදි ප්‍රකාශ වන්නේ නම් ඒ රටේ නිදහස අනතුරකට වැටෙනු නොවැළැක්‌විය හැකිය. අපි මේ රටට හිමි වූ ඒ නිදහස ගිලිහී යනු දකිනු නො රිසියෙමු.

මේ රට හින්දු රටක්‌ ලෙස හැඳින්වීමද පැහැදිලිවම ඓතිහාසික පටලැවිල්ලකට වඩා වැඩි දෙයක්‌ බව ද අපට පෙනේ. ඉතිහාසය විකෘති කරමින් ඊළාම්වාදී දෘෂ්ටියෙන් මහාවංශයට ද ගැරහූ ඒ බෙදුම්වාදීන්ගේ හැසිරීම්ද අපට මතකය. ඒ සියලු විකෘති කිරීම්වලින් සාක්‌ෂාත් කර ගැනීමට අපේක්‌ෂා කරන්නේද ඊළම මිස අනෙකක්‌ නොවේ. ඉතිහාසය යනු ඕනෑම හාල්පාරුවකුට තමන්ගේ කටට එන දෙයක්‌ දෙඩවීමක්‌ නොව ඓතිහාසික සාක්‌ෂි මගින් පමණක්‌ නිරීක්‍ෂණය කළ යුතු ගාම්භීර විෂයකි. එහෙත් මේ දේශපාලන මුග්ධභාවය ඉතිහාසයට කරන අවමන ඉතිහාසඥයෝම බලා ගනිත්වා.

ප්‍රභාකරන්ගේ ෆැසිස්‌ට්‌වාදී චින්තනයේ රශ්මිය දැන් ප්‍රජාතන්ත්‍රවාදය තුළින් කාන්දු වෙමින් තිබෙන අයුරු ද්‍රවිඩ ජාතික සන්ධානයේ හැසිරීම්වලින් අපට පෙනේ. ප්‍රභාකරන්ගේ මිනීවළ සොයා යන ඊළාම්වාදී නරුමයන්ට මෙන්ම දෙමළ ඩයස්‌පෝරාව නමැති ඕවිල්ලේ නැළවෙන දෙමළ සන්ධානයට ද අපි එකක්‌ කියන්නෙමු. ජාතිකත්වයේ සංකේත විනාශ කරමින් ද ජාතිවාදයේ වසුරු තවරමින්ද කෙරෙන දේශපාලනය වූ කලී අතිශයින්ම බිහිසුණු වූද, කෲර වූද ත්‍රස්‌තවාදයටත් ෆැසිස්‌ට්‌වාදයටත් රටක්‌ ඇදගෙන යැමක්‌ විනා අන් දෙයක්‌ නොවේ.

ජාතික කොඩිය හා ජාතික ගීය යනු ජාතික සමගියේ සාඩම්බර ලකුණු විනා ජාතිවාදයෙන් අන්ධ වූ දේශපාලන නරුමයන්ගේ දුෂ්ට අභිලාෂ හා අරමුණු වෙනුවෙන් භාවිත කළ හැකි මෙවලම් නොවන බව ද අපි අවධාරණය කරමු. මේ රට ලෙයින් නැහැවූ ප්‍රභාකරන්ගේ ඊළාම් කොඩිය පච්ච කොටා ගන්නට ඊළාම්වාදී නරුමයන්ට ඉඩ තිබුණත් එයින් ජාතික කොඩිය හා ජාතික ගීය වසා දමන්නට, මකා දමන්නට, දේශප්‍රේමී සිංහල, දෙමළ, මුස්‌ලිම් ඈ කිසිවෙක්‌ ඉඩ නොදෙන බව ද අපට සහතිකය.

http://www.divaina.com/2013/12/22/editorial.html

0 comments: