Pages

Tuesday, December 31, 2013

ජයලලිතාගේ අගමැති සිහිනය

65 හැවිරිදි ජයලලිතා ජයරාම් ගැන අපට යළිත් කතාකරන්නට සිදුව ඇත. සමස්‌ත ඉන්දීය අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් පක්‍ෂයේ නායිකාව ශ්‍රී ලංකාවට දැඩි බලපෑමක්‌ එල්ල කරන ඉන්දීය මහ ඇමැතිවරිය බවට විවාදයක්‌ නැත. සිය පක්‍ෂ සාමාජිකයන් අතරේ 'අම්මා' නමින් දේවත්වයෙන් අදහන ඇය තව මාස පහකින් පැවැත්වෙන ඉන්දීය මැතිවරණය දෙස උනන්දුවෙන් බලා සිටින්නේ එක්‌ පරමාර්ථයක්‌ මුදුන් පත්කර ගැනීම සඳහාය. ඒ අන්කවරක්‌වත් නොව ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයේ අගමැති පදවිය දරන පළමු දෙමළ ජාතිකයා වීමටය.

ජයලලිතාගේ අගමැති සිහිනය ශ්‍රී ලංකාවේ දේශපාලනයද උණුසුම් කරන සිද්ධියක්‌ බව අමුතුවෙන් කිවයුතු නැත. මියගිය ප්‍රභාකරන්ට යළිත් ප්‍රාණ වායුව පිඹීමට උත්සාහ දරන ඇය දිල්ලි ආණ්‌ඩුව හෙල්ලිය හැකි ප්‍රබලතම චරිතයක්‌ බව අවිවාදිතය. ඉකුත් 19 වැනිදා චෙන්නායි නුවරදී සිය පාක්‍ෂිකයන් ඇමතූ ජයලලිතා ප්‍රකාශ කළේ ශාන්ත ජෝර්ඡ් බලකොටුවේ සිට දිල්ලියේ රතු බලකොටුව තෙක්‌ සිය බලය පැතිරවීමට අවශ්‍ය බවයි. ලබන මැයි මාසයේ පැවැත්වෙන ඉන්දීය ලෝක්‌ සභා මැතිවරණයේදී අගමැතිවන්නේ ගුජරාට්‌ මහ ඇමැති නරේන්ද්‍ර මෝඩි බවට දැනටමත් අනාවැකි පළවී ඇත. එහෙත් ජයලලිතා තම පක්‍ෂ සාමාජිකයන් හමුවේ ලොව ප්‍රථම දෙමළ අගමැතිනිය වීමට අවශ්‍ය බව ප්‍රකාශ කිරීම වහසි බස්‌ දෙඩීමක්‌ද? ජයලලිතාගේ සිහිනය සැබෑ නොවුණද උණුසුම් වී ඇති මේ දේශපාලන සටන දෙස අපට ඇස්‌වසාගෙන සිටිය නොහැක. මීට පෙර ඉන්දීය මහමැතිවරණ ප්‍රතිඵල අනුව අනපේක්‍ෂිත පුද්ගලයන් අගමැති ධුරයට පත්වූ බව ප්‍රකට කරුණකි. අයි. කේ. ගුඡ්රාල්, දෙව් ගවුඩා යන අගමැතිවරුන් දෙපළ බිහිවූයේ සියලුදෙනා පුදුමයට පත්කරමිනි. ජයලලිතා උත්සාහ කරන්නේද තවත් ගුඡ්රාල් කෙනෙකු වීමටද?

ජයලලිතාට අවශ්‍ය භාරතීය ජනතා පක්‍ෂයටත්, කොංග්‍රස්‌ පක්‍ෂයටත් අභියෝග කරන තෙවැනි පෙරමුණක්‌ බිහි කිරීමටය. ඒ සඳහා ඇය සමාජවාදී පක්‍ෂයේ නායක මුල්යාම් සික්‌ යාදෙව්ට හා තෙලිඟු දෙශාබ් පක්‍ෂයේ නායක චන්ද්‍රබාබු නායිදුටත් වමේ දේශපාලන පක්‍ෂවලටත් ආරාධනා කර ඇත. ජයලලිතා අගමැති සිහිනය යථාර්ථයක්‌ කර ගැනීම සඳහා මැතිවරණ ජය ලබා ගත යුත්තේ කෙසේද යන්න සිය පාක්‍ෂිකයන්ට පැහැදිලි කර ඇත. එනම් ලෝක්‌ සභාවට තමිල්නාඩුවෙන් මන්ත්‍රීවරු 40 ක්‌ තේරීපත්විය හැකි අතර මේ හතළිහම තම පක්‍ෂය විසින් දිනාගත යුතු බව ඇය අවධාරණය කර තිබේ. එක්‌ පක්‍ෂයට තමිල්නාඩුවේ ආසන හතළිහම දිනාගත හැකිද යන්න වෙනම කරුණකි. බටහිර බෙංගාලයේ මහ ඇමැතිනි මමතා බැනර්ජි ද අගමැති සිහිනය දකින්නේ කලක සිටය. අකිලේෂ් යාදෙව් නිසා උත්තර් ප්‍රදේශ මහ ඇමැති පුටුවෙන් විසි වූ මායාවතීද අගමැති පුටුව සිහිනෙන්ද දුටුවාය. එලෙසම චිත්‍රපට 140 ක රඟපෑ මේ හිටපු නිළියද මන්මෝහන් සිං ට පසුව අගමැති නිල නිවස වෙත පිය නැගීමට උනන්දුවෙන් බලා සිටින්නීය. දෙමළ, තෙලිඟු, කණ්‌නඩ චිත්‍රපටවල රඟපෑ පමණින් ඇයට අගමැති වීමට නොහැකිය. එයට ජනතා කැමැත්තත් තිබිය යුතුය. දෙමළ ජාතිවාදය උත්සන්න කර ඒ හරහා ලැබෙන ඡන්දවලින් ඇයට අගමැතිකම ලබාගත හැකිද? ඉන්දීය මාධ්‍ය ප්‍රකාශ කරන්නේ ජයලලිතාගේ අගමැති සිහිනය භාරතීය ජනතා පක්‍ෂයට අවාසිදායක බවයි. භාරතීය ජනතා පක්‍ෂයේ තමිල්නාඩු නායකයකු වන එම්. වෙන්කටයියා නායිදු පවසන්නේ ජයලලිතාගේ පක්‍ෂය සමඟ සන්ධානගත වීමට තමන් සූදානම් නැති බවයි. අගමැති අපේක්‍ෂකයන් දෙදෙනකු සිටින පක්‍ෂ දෙකක්‌ අතර සන්ධානයක්‌ ඇති නොවන බව හෙතෙම කියයි. කෙසේ නම් ඉදිරි මාස කිහිපය තුළ ඉන්දීය දේශපාලනයේ කවර වෙනස්‌කම් ඇතිවේද යන්න කිව නොහැකිය. නමුත් ඉන්දීය පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබාගැනීම පිණිස තමිල්නාඩුවේ ආසන 40 තීරණාත්මක කාර්යභාරයක්‌ ඉටුකරන බව ප්‍රකට කරුණකි.

මීට වසරකට පමණ පෙර ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් පක්‍ෂයේ නායක මුතුවේල් කරුණානිධි ප්‍රකාශ කර සිටියේ දොaතිය ඇඳගත් දෙමළ ජාතිකයකු අගමැති පුටුවේ වාඩිවිය යුතු බවයි. කරුණානිධි අගමැති පුටුවට යෝජනා කළ දෙමළ පුද්ගලයා කවුද? වර්තමාන මුදල් ඇමැති පලනිඅප්පන් චිදම්බරම්ය. එහෙත් චිදම්බරම් මෙයට එකඟවූයේ නැත. ඔහු ප්‍රකාශකර සිටියේ තමා යා හැකි උපරිම දුර ගමන්කර ඇති බවය. කරුණානිධිට නම් අගමැති සිහිනයක්‌ දැකිය නොහැක. විශේෂයෙන්ම ඔහුගේ පුතුන් දෙදෙනා එනම් ස්‌ටාර්ලින් හා අලගිරි අතර ඇතිව තිබෙන් බලඅරගලය නිසා පක්‍ෂය දෙදරා ඇත. ජයලලිතාගේ ආධාරකරුවන් නම් ප්‍රකාශ කරන්නේ "අම්මා අගමැති වුණොත් ඉන්දියාව ඇමරිකාව වගේ වෙනවා. ඒක වළක්‌වන්න කාටවත් බැහැ" යනුවෙනි. ජයලලිතා දෙසැම්බර් 19 වැනිදා පැවැත්වූ පක්‍ෂ සමුළුව සඳහා එම්. ජී. රාමචන්ද්‍රන් හිටපු මහ ඇමැතිවරයා ලෙස සැරසුණු පුද්ගලයකුද පැමිණි සිටියේය. ඔහු එන්.ඩී.ටී.වී. රූපවාහිනි වාර්තාකරුට ප්‍රකාශ කර සිටියේ අගමැති පුටුවට යා හැකි එකම කාන්තාව ජයලලිතා බවයි. ජයලලිතාගේ අගමැති සිහිනය එම පක්‍ෂ සාමාජිකයන් කුල්මත් කර ඇති බව රහසක්‌ නොවේ. එහෙත් මේ අගමැති පුරාඡේරු ගැන කරුණානිධි නම් සිනහසෙන බව රහසක්‌ නොවේ.

ජයලලිතා ගැන කථාකරන විට එම්. ජී. රාමචන්ද්‍රන් ගැන සිහිනොකළහොත් එය බරපතළ වැරැද්දකි. මන්ද ජයලලිතාගේ දේශපාලන ගුරුවරයා වන්නේ එම්. ජී. ආර්. ය. 1983 දී ජයලලිතා සමස්‌ත ඉන්දීය අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් පක්‍ෂයේ ප්‍රචාරක ලේකම්වරිය බවට පත්වූ අතර එම්.ජී.අර්. විසින් ඇයව 1984 දී ඉන්දීය පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්‌ඩලයට එනම් රාජ්‍ය සභාවට පත් කරනු ලැබීය. ඇය 1984 දී සිට 1989 දක්‌වා මන්ත්‍රීවරියක ලෙස කටයුතු කළාය. 1987 දී රාමචන්ද්‍රන් මරණයට පත්වූ අතර වසර දෙකක්‌ තුළ එම පක්‍ෂයේ බලය තහවුරු කර ගැනීමට "අම්මා"ට හැකිවිය. ජයලලිතා මුලින්ම මහ ඇමැති වූයේ 1991 දීය. 1996 දී ඇය පරාජයට පත්වූ අතර 2001 දී යළි තමිල්නාඩු මහ ඇමැතිනිය වූවාය. 2011 දී ඇය තෙවැනිවරටත් තමිල්නාඩුවේ බලය අල්ලාගත් අතර 2011 මැයි 16 වැනිදා සිය ධුරයේ දිවුරුම් දුන්නාය.

ජයලලිතාගේ අගමැති සිහිනය පිළිබඳව අප වඩා උනන්දුවිය යුත්තේ ඇගේ ශ්‍රී ලංකා විරෝධී උග්‍ර ජාතිවාදි ක්‍රියා කලාපය නිසාය. ප්‍රායෝගිකව බැලූ කල ඇයට අගමැතිකම ලබා ගැනීම දුෂ්කරය. පසුගිය කාලයේ ඉන්දියාවේ වැඩිම ජනගහනයක්‌ වෙසෙන උත්තර් ප්‍රදේශ ප්‍රාන්ත මහා ඇමැතිනිය වූ මායාවතී ද මේ සිහිනය දුටු අතර එනිසාම ඇය ජාත්‍යන්තර මාධ්‍යයටද තරුවක්‌ විය. ලංකාවේ සිට චෙන්නායි නුවරට පැමිණෙන පාසල් ක්‍රීඩා කණ්‌ඩායම්ද නැවත හරවා එවන ජයලලිතා ඉන්දියාවේ අගමැතිනිය විය යුතු යෑයි ශ්‍රී ලාංකිකයන් වශයෙන් අප කිසිවිටකත් පැතිය යුතු නැත. මේ අගමැති ධුරය ඉලක්‌ක කිරීම ඇගේ දේශපාලන ආධාරකරුවන් කුල්මත් කිරීමේ ප්‍රයෝගයක්‌ මෙන්ම ප්‍රධාන දේශපාලන පක්‍ෂ තම දෙපතුල ළඟට කැඳවා ගැනීමේ උපක්‍රමයක්‌ද වන බව පැහැදිලිය. නරේන්ද්‍ර මෝඩි ජයලලිතාගේ උගුලේ වැටෙයිද? ජයලලිතා හා මෝඩි අතර එකඟතාවක්‌ ඇතිවුවහොත් එය ලංකාවට ඉතා අවාසිදායක බව නොකියාම බැරිය. කෙසේ නමුත් ජයලලිතාගේ දේශපාලන ක්‍රියාකාරකම් ගැන අප හොඳ අවබෝධයෙන් සිටිය යුතුය.

චතුර පමුණුව
http://www.divaina.com/2013/12/29/forign.html

Pic Source

0 comments: