Pages

Monday, December 30, 2013

බිලියන ගණන් කා දමා සතේ කාසි පහකිරීම - මූල්‍ය වංචා

මෙයට වසර 05 කට පමණ පෙර, එනම් වසර 2008 ඔක්‌තෝබර් මස 07 වැනි දින සක්‌විති රණසිංහ නුගේගොඩ පිsහිටි සිය ප්‍රධාන කාර්යාලයෙන් අතුරුදන් වන්නේ රුපියල් බිලියන 9 ක මහජන තැන්පතු මුදල්ද සමගය. අතුරුදන් වූ පසු පළමු පැය 72 තුළ ඔහුට විරුද්ධව පැමිණිලි 1400 කට වඩා පොලිසිවලට ලැබිණ. වසර 2008 ඔක්‌තෝබර් මාසය මැදදී රුපියල් මිලියන 100 කට ආසන්න මහජන තැන්පතු තොගයක්‌ වංචා කළ තංගල්ල හුංගම ගුරුපොකුණේ පදිංචිකරුවකු වූ පියදාස රත්නායක හෙවත් දඬුවම් මුදලාලි පොලිස්‌ අත්අඩංගුවට පත් වන විට ඔහු විටින් විට තැන්පතු සඳහා පොලී වශයෙන් නිකුත් කර තිබූ චෙක්‌ පත් පෝලිමක්‌ අගරු වෙමින් තිබිණ. තමන්ට සරු කාලයේදී දඬුවම් මුදලාලිගේ පොලී චෙක්‌ මාරු කිරීම සඳහා තංගල්ලේ බැංකුවල මිනිසුන් පෝලිම් ගැසී සිටි අතර එම පෝලිම් හඳුන්වන ලද්දේ "දඬුවම් පෝලිම" ලෙසය. කෙසේ වුවද ඔහු අත්අඩංගුවට පත්වන අවස්‌ථාවේදී ඔහුට විරුද්ධව මුදල් වංචා සම්බන්ධ පැමිණිලි 95 ක්‌ පොලිසිවල තිබිණි. ශ්‍රී ලංකාවේ පළමු වන ක්‍රෙඩිට්‌ කාඩ් සමාගම වූ Golden Key ආයතනය කඩා වැටුණේ තැන්පතුකරුවන් 9054 කගේ රුපියල් බිලියන 26 ක්‌ විනාශයට පත් කරමිනි. අවසාන වසර කිහිපයේදී ඒ ආයතනය අලුත් තැන්පතුකරුවන්ගේ මුදල්වලින් පරණ තැන්පත්කරුවන්ට පොලී ගෙවමින් සිටියේය. ඒ අතර අලුත් තැන්පත්කරුවන්ට පොලී ගෙවිය යුතු අවස්‌ථාව එළැඹුණ විට මුදල් නැති විය. 2009 දෙසැම්බර් වන විට ද ෆිනෑන්ස්‌ ඇන්ඩ් ගැරන්ටි එහි තැන්පතුකරුවන්ගේ හිස මතට කඩා වැටුණේ බංකොලොත් වූ කොම්පැණියක්‌ ලෙසය.

ගෝල්ඩන් කී ක්‍රෙඩිට්‌ කාඩ් සමාගම කඩා වැටීමෙන් පසු සහ ෆිනෑන්ස්‌ ඇන්ඩ් ගැරන්ටි සමාගම කඩා වැටීමට පෙර යන අන්තර්කාලය තුළ එළැඹි 2008 සැප්තැම්බර් 26 වැනිදා ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් තැන්පතු භාර ගැනීමට නෛතික බලයක්‌ නැති මූල්‍ය ආයතන සහ පුද්ගලයන් 6 ක්‌ ගැන පුවත්පත් දැන්වීමක්‌ මගින් මහජනයාට දැනුම් දෙන ලද්දේය. දෙහිවල වාඩිය පාරේ ඔකඳ ෆිනෑන්ස්‌ සමාගම, ජාඇල පිහිටි නදිනි ෆිනෑන්ස්‌ සමාගම, කුරුණෑගල ඩී. කේ. උදයසිරි, ජාඇල ශ්‍රියාවි හෝමස්‌, පියදාස රත්නායක හෙවත් දඬුවම් මුදලාලි, සක්‌විති රණසිංහගේ සක්‌විති ඉදිකිරීම් සමාගම යනාදිය එසේ නම් කළ ආයතන සහ පුද්ගලයන්ය. ආණ්‌ඩුව කොතරම් අනතුරු හැඟවුවත් වැඩි පොලී දෙන කෙනකු හමුවූ විට ඔහු ළඟ මුදල් තැන්පත් කිරීමට මිනිස්‌සු උනන්දු වූහ. මේ සියලු විපත්වලින් පසුවද පිරමීඩ ව්‍යාපෘතියක්‌ දියත්කළ කාන්තාවක්‌ රත්නපුරෙන් අත්අඩංගුවට ගනු ලැබීය. ඒ අතර වසර 2007 දී හෙළිකෙරුණ මහා පිරමීඩ ජාවාරම වූ Gold quest ව්‍යාපාරයද අප සිහිපත් කළ යුතුමය. එම ආයතනයට මුදල් තැන්පතු සමග අලුත් සාමාජිකයන් හඳුන්වා දෙන විට රන් කාඩ් හෝ රිදී කාඩ් තෑගි කරන ලදී. මේ ව්‍යාපාරය ඇද වැටෙන්නේ ඉන්දියාවේ ජීවත් වූ එහි අයිතිකරු සහ අධ්‍යක්‍ෂ මණ්‌ඩලය පමණක්‌ නොව විධායකයන්ද එම පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමෙනි. වසර 2012 වන විට Gold quest සමාගම අලුත් නමකින් මෙරටට පැමිණි බව කියනු ලැබේ. යුද්ධයෙන් පසු නැගෙනහිර පළාතට ගිය මේ නව සමාගම විදුලි බලය නැති ධීවර ගම්මානවලට සූර්ය බල විදුලි උත්පාදන පද්ධති විකිණීමට පටන් ගත් අතර එම අලෙවිය පිරමීඩ ක්‍රමයකට සංවිධානය කළේය. සමාගම චීනයෙන් රුපියල් 15,000 ක්‌ වටිනා සූර්ය විදුලිබල පද්ධති රුපියල් 43,000 ත් 61,000 ත් අතර මිලට අලෙවි කළේය. සමාගම ඒවා අලෙවි කළේ තම සාමාජිකයන් හරහාය. මෙකී සාමාජිකත්වය පිරමීඩ ක්‍රමයේ සංවිධානයකි. හම්බන්තොට සහ තිස්‌සමහාරාම ප්‍රදේශවාසීන් ලුමිනස්‌ ඇඩ්වර්ටයිසිං සහ පැනෝරා ඇඩ්වර්ටයිසිං යන ආයතන දෙකෙහි මුදල් තැන්පත් කරන විට සක්‌විති රණසිංහද දඬුවම් මුදලාලිද, ගෝල්ඩන් කී සමාගමද අමතක කර දමා ඇති බව පෙනී යයි. මනුෂ්‍යයා යනු තම වළ කපා ගැනීමට අවශ්‍ය උපකරණ සියතින්ම මිලදී ගන්නා අමුතු සත්වයෙකි.

වෘත්තියෙන් ගොවියකු වූ හම්බන්තොට පී. ජී. පියසේන (අන්වර්ථ නාමයකි. වයස 34 කි) පුරා අවුරුදු 10 ක්‌ යල මහ දෙකන්නයම කුඹුරු වැඩ ඉතා හොඳින් කරගෙන සිට ට්‍රැක්‌ටරයක්‌ අත්පිට මුදලට ගනී. ඉන්පසු ගේ දොර හදා ගන්නා ඔහු පස්‌ අවුරුද්දක්‌ පෙම් කළ තරුණිය සමග මඟුල් කෑමට සූදානම් වෙයි. මුදල් වවන ලුමිනස්‌ ආයතනය ගැන ඔහුට දැනගන්නට ලැබෙන්නේ මේ අතරය. ඉදිරියේ දී සිදුවන මඟුලට මෙන්ම ඉදිරි ජීවිතයේ සුවපහසු පැවැත්ම ගැනද සිතන ඔහු ට්‍රැක්‌ටරය රුපියල් හත් ලක්‍ෂයකට උකස්‌ තබා මුළු මුදලම ලුමිනස්‌ ආයතනයේ තැන්පත් කරයි. ඔහුට ලැබී තිබූ ආයෝජන සැලසුමට අනුව පළමු අවුරුද්ද තුළ පොලියත් සමගම මුදල් ගෙවා ට්‍රැක්‌ටරය බේරා ගැනීමට හැකි බව ලුමිනස්‌ තැරැව්කරුවෝ ඔහුට කීහ. දෙවැනි අවුරුද්දේදී තැන්පතුව වූ ලක්‍ෂ 5 එහෙම පිටින්ම ලැබෙන නිසා එය යළි යළිත් ආයෝජනය කරමින් ගොවිතැන් පැත්තකට දමා බිරියත් සමග සුවපහසු ජීවිතයක්‌ ගත කිරීම ඔහුගේ අරමුණ විය. එමතුද නොව හය මාසයකට සැරයක්‌ මත්තල සිට කොළඹට ගුවනින් ගොස්‌ ඊළඟ ෆ්ලයිට්‌ එකෙන් මත්තලට පැමිණීමට හැකි බව ඔහු පෙම්වතියට කීවේය.

ලුමිනස්‌ සහ පැනෝරා සමාගම් තැන්පතු පැකේජ වෙනුවෙන් තැන්පතුකරුවන්ට ගාස්‌තු ගෙවුවේ අන්තර්ජාලයෙහි ප්‍රචාරය වන දැන්වීම් බැලීම මූලික කරගෙනය. උපන් ගොවියකු වූ පියසේන අන්තර්ජාලයෙන් දැන්වීම් බලන්නට නොදනී. ඒ නිසා තැරැව්කරුවකු අල්ලාගෙන එම කටයුත්ත කළ ඔහු තැරැව්කරුට මසකට රුපියල් 5000 ක්‌ ගෙව්වේය. මුල් මාසයේදී තැන්පතුව වෙනුවෙන් ඔහුට කිසිදු ප්‍රතිලාභයක්‌ ලැබුණේ නැත. දෙවන මාසයේදී දැන්වීම් බැලිල්ල වැරදුණ නිසා ඔහුට මුදල් නොගෙවන ලද්දේය. තුන්වැනි මාසයේදී දැන්වීම් හරියාකාරව බැලුවත් ඔහුට මුදල් ලැබී තිබුණේ නැත. ආයෝජන සමාගමට ගිය ඔහුට දැනගන්නට ලැබුණේ දැන්වීම් බැලීම වෙනුවෙන් පිටරටින් මුදල් නොලැබීම නිසා ප්‍රතිලාභ ප්‍රමාද වන බවය. මේ සිවුවන මාසයයි. පියසේන හාර මාසයකින් ට්‍රැක්‌ටර් උකස්‌කාරයට පොලී ගෙවා නැත. එතැනට පොලිය 5% ගණනේ මාස හතරට රුපියල් ලක්‍ෂයකි. මේ මඟුල පස්‌සේ දිව යැම නිසා ඔහුට කන්නයක්‌ කුඹුරු වැඩ කර ගන්නටද බැරි විය. පියසේනගේම ට්‍රැක්‌ටරය මේ දිනවල කරන්නේ උකස්‌කාරයාගේ ඉඩම්වල වැඩය.

පැනෝරා ආයතනයේ මුදල් තැන්පත් කළ අයද මේ ආකාරයෙන්ම ජීවිත කඩාකප්පල් කරගෙන සිටිති. තැන්පතුකරුවන්ගේ මුදලින් පැනෝරා ආයතනය දැමූ විශාල සුපිරි වෙළෙඳසලකට කඩා පිනු තැන්පත්කරුවෝ පසුගියදා එහි තිබූ භාණ්‌ඩ තැන්පතු පොලී වශයෙන් පැහැරගෙන යැමට තැත් කළද පොලිසිය මැදිහත්ව එම උත්සාහය වළක්‌වනු ලැබීය. මේ කතන්දරය මෙතනින් නිම නැත. මහජනතාවගේ ප්‍රශ්නය මෙකී ආයෝජන ව්‍යාපෘතිවල අයිතිකරුවන්ට පැන යැමට ඉඩදී අත්අඩංගුවට නොගන්නේ මන්ද යන්නය.

අනුර සොලමන්ස්‌, හේමන්ත රන්දුණු
http://www.divaina.com/2013/12/29/feature06.html

Pic Source

0 comments: