Pages

Tuesday, December 31, 2013

බලශක්‌ති අර්බුදයට මොරටු සරසවි සිසුවාගෙන් විසඳුමක්‌ - එකම ජල ධාරිතාවකින් වසර පුරාම විදුලිය!

බලශක්‌ති අර්බුදයට විසඳුමක්‌ ලෙස එකම ජල ධාරිතාවකින් වසර පුරා විදුලිය නිපදවිය හැකි ක්‍රමවේදයක්‌ මොරටුව විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ සිසුවකු වන ඩබ්ලිව්. එම්. අමිල සුරේෂ් ඉන්දික ශිෂ්‍යයා සොයාගෙන ඇත.

මෙම ක්‍රමවේදය බොරතෙල් සඳහා විකල්පයක්‌ ලෙසද භාවිත කළ හැකි බව ඔහු පවසයි. එමෙන්ම එකම ජල ධාරිතාවකින් වසර පුරා විදුලිය නිෂ්පාදනය කිරීම මගින් කලින් කලට විදුලිය නිෂ්පාදනය කිරීමට ඇති බාධා මග හැරෙනු ඇත.

මේ වන විට අමිල සුරේෂ් ඉන්දික ශිෂ්‍යයා විසින් විදුලිය නිෂ්පාදනය කිරීම සඳහා විකල්ප ක්‍රම රැසක්‌ සොයාගෙන ඇති අතර ඒ සම්බන්ධව යම් යම් ආයතන හරහා පරීක්‍ෂණ කටයුතු සිදුකර ඇත. මේ අතර ලංකාවේ බහුලව ඇති වල් පැලෑටියක්‌ වන ගිනිහිරුස්‌ස ශාකය උපයෝගී කර ගනිමින් විදුලිය නිපදවිය හැකි ක්‍රමයක්‌ සම්බන්ධවද පරීක්‍ෂණ සිදුකර ඇත. මේ සම්බන්ධව අප සමග අදහස්‌ දැක්‌වූ අමිල සුරේෂ් ශිෂ්‍යයා.

එකම ජල ප්‍රමාණයක්‌ යොදාගෙන දිගින් දිගටම විදුලිය නිපදවිය හැකි ක්‍රමයක්‌ මා විසින් සොයාගෙන තියෙනවා. මෙම ක්‍රමය වැඩි දියුණු කිරීමෙන් දිය, ගොඩ, අහසේ ගමන් කරන සියලු වාහන ක්‍රියාකරවන්න පුළුවන් වේවි. මා සිතන්නේ මෙය බොර තෙල් සඳහා විකල්ප බලශක්‌ති උත්පාදන ක්‍රමයක්‌ ලෙසයි. මෙම ක්‍රමය මගින් සෘජුවම වාහන ක්‍රියාත්මක කරවීමට අපහසු නම් මෙම ක්‍රමයෙන් විදුලිය නිපදවා එමගින් වාහන ක්‍රියාත්මක කරන්න පුළුවන්. මීට අමතරව පහළ ස්‌ථානවල ඇති ජලය ඉහළ ස්‌ථානවලට ගෙන යැමට මෙම ක්‍රමය යොදාගත හැකි අතර එමගින් කෘෂිකර්මාන්තයට අවශ්‍ය ජලය හා පානීය ජල ප්‍රශ්නයට ස්‌ථිර විසඳුමක්‌ ලැබිය හැකියි.

මම මෙම නව නිපයුම සම්බන්ධව ඌව පළාත් ප්‍රධාන අමාත්‍යතුමාට දැනුම්දී තිබෙනවා. එතුමාගේ උද්යෝගය මට ලොකු ශක්‌තියක්‌ වුණා. ඇත්තටම මා මුලින් සැලසුම් කළ ආකෘතිය තරමක්‌ සංකීර්ණ එකක්‌. දැන් මෙම නිපයුම සරල ආකෘතියකින් ප්‍රායෝගිකව විදුලිය නිපදවිය හැකි ආකාරයට සරල කර තිබෙනවා. මෙය තවත් දියුණු කළ හැකි බව මගේ විශ්වාසයයි. මම පැල්වත්ත සීනි සමාගමේ පුහුණු කාල සීමාවක්‌ අවසන් කර ඇති අතර දැනට හිඟුරාණ සීනි කර්මාන්ත ශාලාවේ අවසාන පුහුණු කාල සීමාවේ ඉන්නේ. මට තාම රැකියාවක්‌ නෑ. මෙම නව නිපයුමට අදාළ පරීක්‍ෂණ කටයුතු සඳහා මගේ ආර්ථිකයට දැනෙන මුදලක්‌ වැය වෙලා තියෙනවා. ඉදිරි වැඩි දියුණු කිරීම් සඳහා ආර්ථික අපහසුකම් තිබෙනවා.

මෙම නව නිපයුම් සොයාගත් ඩබ්ලිව්. එම්. අමිල සුරේෂ් ඉන්දික ශිෂ්‍යයා සියඹලාණ්‌ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ ඇතිමලේ ගැමුණුපුර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ඇතිමලේ ද්විතීයික පාසලෙන් මූලික අධ්‍යාපනය හදාරා ඇති අතර වැඩිපුර අධ්‍යාපනය සඳහා මොරටුව විශ්වවිද්‍යාලයේ ජාතික තාක්‍ෂණ ආයතනයට ඇතුළත්වී ඇත. "අරුණ" නිවාස, ගැමුණුපුර, ඇතිමලේවැව, මොනරාගල යන ලිපිනය මගින් හෝ 0783931544, 0555659520 යන දුරකථන අංකවලට ඇමතීමෙන් අමිලගෙන් වැඩිදුර තොරතුරු දැනගත හැක.

මොනරාගල නයන ඉහළගෙදර
http://www.divaina.com/2013/12/30/news10.html

0 comments: